කිසිදා රේන්ද රාල කෙනෙක් නොවන්න.

අපේ රටේ සමහරුන් තමන්ට තිබුණු යම් අධිකාරී බලයක් එක්කෝ විශ්‍රාම ගැනීම නිසා හරි එහෙම නැත්නම් මැතිවරණයකින් පැරදුනාම හරි නැති උනාට පස්සේ ඉහිලුම් දෙන්නේ නැතුව පිස්සන් වගේ හැසිරෙන්නේ ඒ බලය තිබුණු කාලයේ ඔවුන් තමන්ට නීති ප්‍රකාරව ලැබුණු බලයත් ඉක්මවා ගිහින් නොයෙක් නොයෙක් අසීමිත වරප්‍රසාද භුක්ති විඳිමින් හොර කම් කරලා වස්තුව රැස් කරමින් රජ වරුන් විදියට හිටපු නිසායි. ඒ වගේම ඔවුන්ගේ නෑදෑයින් පවා අර තැනැත්තාගේ බලය පාවිච්චි කරමින් නොයෙකුත් වරප්‍රසාද භුක්ති විඳීම නිසා ඒ නිසා උනුත් පිස්සු වැඩ කරන්න පටන් ගන්නවා. නමුත් එසේ නොසිටි අයට තමාගේ බලය නැති වීම කිසි ලෙසකින් වත් දැනෙන්නේ නෑ. එවැනි අයට බලය තිබුණු කාලයේ තිබූ සැලකිල්ලම ලැබෙන අතර බලය අයුතු ලෙස පාවිච්චි කල අයට පසුව ලැබෙන්නේ ගැරහුම්.
අර ඉස්සර කතාවක් තියනවා රේන්ද රාලගේ ගෙදර බල්ලා මැරුනාම මුලු පලාතේම අය ආවා, ඒත් රේන්ද රාල මැරිච්ච දවසේ බල්ලෙක් වත් ආවේ නෑ කියලා. රේන්ද රාල කියන්නේ සුද්දාගේ කාලේ ඒ ඒ පලාත් වල අරක්කු බෙදන්න ටෙන්ඩර් එක ගත්ත පොර. එක එක ප්‍රදේශ වලට එක එක රේන්ද රාලලා ඉඳලා තියනවා. අරක්කු රේන්දය දෙන්නේ අවුරුද්දකට. රේන්දය දෙන දවස් වලට ගොඩාක් දෙනා ඒකට ඉල්ලුම් කරනවා. ඔක්කොම සල්ලි තියන මැරවර බලය තියන අය. උන් මැරවර බලයයි සල්ලියි ඒ වගේම සුදු ජාතික ලොක්කන් එක්ක තියන සම්බන්ධකම් පාවිච්චි කරලා ෆුල් ට්‍රයි කරලා ටෙන්ඩර් එක එහෙම නැත්නම් රේන්දය ගන්නවා. ගත්තාට පස්සේ ගන්න බැරි වුන එවුන් දාන කචල් වලින් බේරෙන්නත් මැරවර බලය පාවිච්චි කරනවා. අද කාලේ ඉන්න දේශපාලකයෝ වගේ තමයි.
ඉතින් රේන්ද රාලට තියන බය නිසා පලාතේ කවුරුත් පොරට සලකනවා වගේ පෙන්නනවා. මෑන්ගේ ගෙදර මොනවා උනත් මිනිස්සු එනවා. කොටින්ම ගෙදර ඉන්න බල්ලා මැරුණාමත් සේරම ගෙදරට එනවා. බලු කුණ බලන්න නෙවෙයි රේන්ද රාලට පේන්න. ඒත් රේන්ද රාල මැරුණාම උගේ මිණිය බලන්න බල්ලෙක් වත් ගිහින් නෑ. මොකද දැන් කාට බය වෙන්නද. කාට මූණ පෙන්නන්නද. හැබැයි මිනිස්සුන්ගේ හිත් වල තිබුනේ නියම ගරුත්වයක් නම් පොර මැරුණා කියලා ඒක අඩු වෙන්නේ නෑ.
මට මතකයි ඔය කොලඹ වෝඩ් ප්ලේස් වල හිටපු රේන්ද රාල කෙනෙකුත් මීට අවුරුදු විස්සකට විතර කලින් මැරිච්ච වෙලාවේ මිණිය වටේ මැස්සෙක් වත් නොහිටපු හැටි. මේ රේන්ද රාල ඒ කාලේ රට විනාසයට ගෙනියන කොට එහෙයි කියපු එකෙක් වත් එතන හිටියේ නෑ. ඒ කාලේ වෙන කොට උන් ඔක්කොම ඊට පස්සේ ආපු රේන්ද රාලගේ වටේ හිටියේ. මේ රේන්ද රාල කරපු බලු වැඩ නිසා පොරගේ එකම පුතාටත් පොරව එපා වුනා. මරණෙට ආවෙත් අන්තිම දවසේ. අද කාලේ ඉන්න වැඩි හරියක් රේන්ද රාලලාටත් කවදා හරි ඔය ටිකම තමයි.
සුද්දාගේ කාලේ රේන්ද රාලලා ගැන දැන ගන්න නම් ගූ ගල් කරලා කඩුල්ල කියන ටෙලිය අරගෙන බලා පල්ලා.මේක ධර්මසේන පතිරාජ මහත්තයා හදාපු නියම ටෙලියක්. මේකෙන් කියවෙන්නේ බණ්ඩාරනායක පෙලපතේ උපත ගැන උනත් අන්තිම එපිසෝඩ් වලට එන්න කලින් ඒක නවත්තන්න සිද්ධ වුනා කියලා ඒ කාලේ එතුමා කිවුවා. ඒ කාලේ තිබුනේ චන්ද්‍රිකාගේ පාලනයක්.
මේ ආත බූත කතා ටික මට කියන්න හිතුනේ ඊයේ කොලඹ ඉස්පිරිතාලේට ඇතුල් වෙලා හිටපු ටික වෙලාවේ අත් දැකපු දේවල් කියන්නයි.
මට මේ වෙන කොට වයස හැටත් පැනලා අවුරුදු පහක් ගිහින් තියන නිසාත් ගොඩක් දුර ඇවිදිනවා වගේම දුවන නිසාත් හිතුනා හාට් එක පොඩ්ඩක් බලවා ගන්න කියලා. පහුගිය මාසයේ මම දන්නා අවුරුදු 50 ක් කෙනෙක් ව්‍යායාම කරන තැන ට්‍රෙඩ් මිල් එකේ දුවද්දී ඒක උඩම මැරිලා වැටුනා. මොකද සාමාන්‍යයෙන් කිසිම රෝග ලක්ෂණයක් නොතිබුනාත් හාට් එකේ නහරයක එක පොඩි තැනක් හීන් වෙලා තිබුනොත් හයියෙන් දුවන වගේ වෙලාවක එතන පොඩි හරි බ්ලොක් එකක් ආවොත් කෙල වෙනවා. හරියට හොඳ පලල පාරක එක තැනක පටු පාලමක් තියනවා වගේ. ඒක එහෙම තිබුනත් වාහන වලට එකම වේගයෙන් යන්න පුලුවන් එතන ස්ලෝ නොකර. ඒත් හදිසියේ වත් මෝටර් සයිකලයක් අර පාලම් ගැට්ටේ හැපිලා බ්ලොක් උනොත් අනිත් කිසිම වාහනයකට එතනින් යන්න බැරුව බ්ලොක් වෙනවා වගේ.එතකොට හාට් එකට යන ලේ නැවතිලා හාට් එක නවතිනවා. ලෙඩා මැරෙනවා.
මෙතෙන්දි සමහරුන්ට හිතෙන්න පුලුවන් ඇයි යකෝ හාට් එකෙන් නේද මුලු ඇඟටම ලේ දුවවන්නේ, අනික හාට් එක පිරිලා තියෙන්නේ ලේ වලින් නිසා මොකටද ඒකට අමුතුවෙන් ලේ කියලා. හාට් එක කරන්නේ ඇඟේ හැම තැනටම ලේ අරං යන එකත් ඒ වගේම ඒ ලේ ආපහු පෙනහලු වලට යවලා පිරිසිදු කරන එකයි. ඒත් ඒ වැඩ ටික කරන්න ශක්තිය ගන්න හාට් එකේ පේෂි නැත්නම් මසල් එකටත් ලේ යන්න ඕන. හාට් එක ඇතුලේ තියන ලේ ගන්න බෑ. හරියට රට පුරා ඩීසල් පෙට්‍රල් ගෙනියන බවුසර් එක දුවන්න වෙනම ඩීසල් ඕන වගේ. එන්ජිමට යන ඩීසල් ලයින් එක බ්ලොක් උනොත් බවුසරය පිරෙන්න ඩීසල් තිබුනත් ඇන්ජිම නවතිනවා වගේ.
ඉතුරු ටික හෙට බලමු. නැත්තං සමහරු ඥරු ඥුරු ගානවා බං දිග වැඩියි කියලා. මම දැන් යන්නත් ඕන. අර ත්‍රීවීල් පාක් එකේ එකාගෙන් දාහක් මාරු කර ගන්නත් තියෙනවා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී