සෙනසුරාදායි ඉරිදායි මගේ හොඳම යාලුවාගේ ඩිස්පැන්සරියේ ලෙඩ්ඩු බලන්න ගියේ මම. ඉතින් සෙනසුරාදා හවස අවුරුදු නවයක පොඩි කොල්ලෙකුත් එක්ක ගෙන එයාගේ තාත්තා ආවා බෙහෙත් ගන්න. ඇවිත් වාඩි වෙනවාත් එක්කම කොල්ලාට කැස්සක් ඇවිත් එතකොටම ඌ අතින් කට වහ ගත්තා. ඒක කැස්සත් එක්කම ඉබේටම ආවා. මට හරියට සතුටු හිතුනා ඒක දැකලා. මම දැන ගත්තා මොකටද බෙහෙත් ගන්න ආවේ කියලා. ඔක්කොටම කලින් මම කොල්ලාව මගේ ලඟට අරගෙන උගේ ඔලුව අතගාන ගමන් ඇහුවා කවුද පුතාට පුරුදු කලේ අර විදියට කැස්ස එනකොට අතින් කට වහ ගන්න කියලා. කොල්ලා කිවුවා ඉස්කෝලේ ටීචර් කියලා. මම ඇහුවාම මොකක්ද ඉස්කෝලේ කියලා කොල්ලා බියගම තියන ඉස්කෝලෙක නමක් කිවුවා. මම කිවුවා හරිම හොඳයි පුතේ ඔය ලෙඩ ගොඩකම විෂබීජ තියෙන්නේ උගුරේ, ඉතින් කහින කොට තමයි ඒවා එලියට ඇවිත් වෙන අයට බෝ වෙන්නේ, දැන් පුතා ඔය විදියට අතින් කට වහ ගෙන කහින නිසා පුතාගෙන් ලෙඩේ කාටවත් හැදෙන්නේ නෑ. ඒ නිසා පුතා හරි හොඳයි කියලා කිවුවා ඉස්කෝලේ ගියාම ටීචර්ට කියන්න මම එයාට ස්තුති කරා කියලා. එතකොට අර තාත්තා කිවුවා ඕවා ඉගැන්නුවාට වැඩක් නෑ ඩොක්ටර් ඒ ඉස්කෝලෙන් ලමයි ශිෂ්‍යත්වෙ පාස් වෙන්නේ හරි අඩුවෙන් ඕවා නම් ඕන දවසක ඉගෙන ගන්න පුලුවන් ඒ උනාට ශිෂ්‍යත්වේ පාස් උනේ නැත්නම් ආයේ කරන්නද කියලා.
බලපන් අර කොල්ලා කොයි තරම් අධෛර්යමත් වෙන්න ඇතිද තමන්ගේ තාත්තා ඌ කරපු දේ අගය නොකරන කොට. මගේ පුරුද්දක් තමයි කාගේ හරි හොඳ දෙයක් දැක්කාම ඒක අගය කරන එක. විශේෂයෙන්ම පොඩි ලමයි කරන හොඳ දේවල් අගය කරන කොට උන් වැඩි වැඩියෙන් හොඳ දේ කරන්න පෙලෙඹෙනවා. මම බෙහෙත් ලියලා තුංඩුව අතට දෙන ගමන් තාත්තාට කිවුවා එහෙම කියන්න එපා බලන්න ඔයාගේ පුතාට මේ ලෙඩේ හැදුනේ පන්තියේ ලමයකුගෙන් වෙන්න පුලුවන්. කාගෙන් හැදුනත් ඒ එක්කෙනාට ඔයාගේ පුතාට තියන මේ පුරුද්ද තිබුනා නම් අද ඔයාට මෙහෙම බෙහෙත් අරන් දෙන්න වෙන්නේ නෑ කියලා. ඔයා සතුටු වෙන්න ඕන ඔයාගේ පුතා නිසා වෙන අයට මේ ලෙඩේ නොහැදෙන එකට කියලා. ඒ උනාට ඌට ඒක හීනෙන් ගිය පඩයක් තරම් වත් උනේ නෑ. ඒ කාලේ ඔය වගේ දෙයක් අපේ තාත්තාට කිවුවා නම් තාත්තා මාව කරේ තියා ගන්නවා. මම අර ගොන් තාත්තාට ක්ලේම් කරන්න බිලකුත් ලියලා දීලා ඩිස්පෙන්සර්ට කිවුවා එයාගෙන් සල්ලි ගන්න එපා ඒක මගෙන් මේ පුතාට තෑග්ගක් කියලා තාත්තාට කිවුවා කොල්ලාට ඒකෙන් මොනවා හරි අරගෙන දෙන්න ඒ වගේම ටීචර්ටත් චොකලට් එකක් යවන්න කියලා. ඒ උනත් මට පස්සේ බය හිතුනා ඕයි ටීචර් අනං මනං හිතයිද කියලත් මං ගැන චොක්කො එකක් යැවුවාම. අර සාජන්ට උදවු කරාමත් සමහර පොරවල් කමෙන්ට්ස් දාලා තිබුනානේ ඇයි සාජන් විතරද හිටියේ උදවු කරන්න කියලා.
කොහොම හරි මම කියාගෙන ආවේ අර තාත්තාට කිසි සතුටක් තිබුනේ නෑ මම එයාගේ පුතාගේ ක්‍රියාව අගය කරපු එක. පොරට ලොකු වුනේ ශිෂ්‍යත්වෙ.ඔන්න බලපල්ලා රටකට වෙලා තියන විනාශයක්. අම්මලාට තාත්තලාට ඕන ළමයින්ට විෂයයන් උගන්නන්න විතරයි. උන්ව සම්පූර්ණ මිනිහෙක් කරන්න කිසිම උවමනාවක් නෑ. ඉස්සර අපි ගමේ ඉස්කෝලේ යන කාලේ වහලේ බාල්ක වල ලියලා තිබුනේ හොඳ අවවාද තියෙන වාක්‍ය. උඩ පැන්නොත් බිම වැටේ, පනින්ට පෙර සිතා බලනු, වැඩි මහලු අයට සලකන්න, පයින් යන්නෝ දකුණින් යෙත්වා වගේ දේවල්. පන්තියෙදීත් ඒවා පෙන්නලා උගන්වනවා. මට මතකයි ඉස්සර මම මාතර රාහුලේ ඉගෙන ගන්න කාලේ පාරේ එක්කෙනා පස්සේ එක්කෙනා එන්නේ නැතුව ආවාම හෙඩ් මාස්ටර් බලන් ඉඳලා උන්ගේ කෙන්ඩා දෙකට වේ වැලෙන් ගහනවා. අපි හොස්ටල් එකේ හිටපු නිසා අපි ගුටි කෑවේ නෑ. ඒ වගේම ගාල්ලේ මහින්දෙට යන කොටත් ප්‍රිෆෙක්ට්ලා දාලා තියනවා එහෙම එවුන්ව අල්ලන්න. ඒ නිසා අපි පුරුදු වුනා පාරේ අයිනෙන් එකා පස්සේ එකා යන්න. අද වුනත් මම පයින් යන කොට යන්නේ පාරේ අයිනෙන් කොච්චර පාර ඉඩ තිබුනත්. අර කොල්ලාගේ අත කැස්සත් එක්ක කටට එනවා වගේ පාරට බහින කොටම අයිනට යැවෙනවා ඉබේම.
ඒත් දැන් බලාපල්ලකෝ ඉස්කෝලයක් ඇරුනාම ලමයි යන්නේ හරහට දහය පහලොව. වාහනයකට යන්න බෑ ඒ වෙලාවට පාරේ. ඒ වගේම අවුරුදු 40/45 ලොකු මිනිස්සුත් පාරේ යන්නේ උන් විතරක් යනවා කියලා හිතා ගෙන. මම දවසක් ඇර දවසක් පයින් එන නිසා පේනවා පේමන්ට් එකේ උන් යන්නේ හරහට. පස්සෙන් එන එකෙකුට උන්ව පහුකර ගෙන යන්න පාරට බහින්න වෙනවා. ඒක ඊට වඩා භයානකයි ත්‍රී වීල් කාරයෝ අරිට හපන් නිසා. ඉස්සර මම අරුන්ගේ මැදින් දෙපැත්තට තල්ලු කරගෙන යනවා. ඒත් දැන් මම එහෙම කරන්නේ නෑ. මොකද මට මල පනිනවා විතරයි අරුන් හැදෙන්නේ නෑ. ඔක්කොටම හපන් ගෑනු උන්ව තල්ලු කරන්න බෑනේ බං. ඊලඟට හුඟාක් කොල්ලෝ කෙල්ලෝ පාරේ ඇවිදින්නේ ෆේස් බුක් බල බල. නැත්තම් එස් එම් එස් කොට කොට. මල පනිනවා ඕයි. මුල් කාලයේ මම උන්ගේ ඇඟේ හැප්පිලා උන්ගේ ෆෝන් හිටං බිම වැටිලා තියනවා. ඒත් දිගටම ඕක කරන්න ගියොත් දවසක මටත් කන්න වෙයි කියලා මම දැන් ඒක කරන්නෙත් නෑ. ඉතින් ඔන්න බලපල්ලා අද පාරේ වාහනයක් එලවා ගෙන යන්න බෑ. අශීලාචාර ඩ්‍රයිවර්ලා නිසා. පයින් යන්න බෑ අශීලාචාර මිනිස්සු නිසා. ඉතිං මේකෙන් පේන්නේ පොඩි කාලයේ මුන්ට හොඳ සිරිත් කියලා නොදීපු එකයි. හැබැයි තව එකක් තියෙනවා මේවායේ වැරැද්ද පේන්නේ අපේ පරම්පරාවේ අයට විතරයි. අපි ටික ගියාට පස්සේ ඕක සාමාන්‍ය දෙයක් වෙයි. කාටවත් ගානක් නැතිවෙයි.
මම මේ කිවුවේ පොඩි දෙයක් විතරයි. අපේ රටේ තියන මේ ටාස්ක් ඔරියන්ටඩ් එඩියුකේෂන් සිස්ටම් එක නිසා වෙලා තියන හානිය. අසම්පූර්ණ මිනිස්සු හැදිලා තියන හැටි. උන් කරන දේ. සමාජයේ ඉන්න කොට මේ වගේ ඒවා මම සෑහෙන්න දකිනවා හැම තැනකම. ඒවා ගැන කියන්න ගියොත් ඩර්ටි පොලිටික්ස් වලට එන්න වෙනවා. ඒවා කතා කරනවාට වඩා හොඳයි කට ගිහිං මහයියාවේ බෝක්කුවේ උලා ගන්න එක.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී