ඊයේ මම ගියා කොලඹ හෝටලයක තිබිච්චි කොටහලු මගුල් උත්සවයකට. මේක මගේ ටිකක් දුරින් නෑයෝ වෙන කෙනෙකුගේ මිණිපිරියක් කොටහලු වීමේ ප්‍රීතිය සැමරීම සඳහා ගත්ත එකක්. සෙනග හෝටලෙන් කපලා එකක්. අහන්න දෙයක්ද මචං මේ දුර නෑයෙක් වෙච්චි මටත් එන්න කියාපු එකේ. නිකං ඉන්න එකේ මමත් ඉතිං ගියා අපේ නෝනා දීපු ප්‍රසන්ට් එකත් අරගෙන.
මචංලා විස්වාස කරන්නේ නෑ ඒකට කරලා තිබුනු වියදමක්. මගේ නෑයාත් මං වගේම වයසක පොරක් නිසා කවුරුත් වැඩිය කතාවට එන්නේත් නෑ මගේ ලඟින්ම සෙට් වෙලා පටන් ගත්තා උගේ කතාව. පුතායි ලේලියි මේකට කරපු වියදම්, හෝටලයට එන්න කලින් ගෙදර තිබුනු පාටියේදී කෙල්ලට ලැබිච්චි තෑගි ගැන එහෙම දුන්නු නයි පාර අහලා මට හිතුනා අර මුචලින්ද මොන රජෙක්ද මූනේ නාග රාජයා කියලා. මට හිතුනා අහන්න කෙල්ලට බෙන්ස් එකක් අරං දුන්නේ නැද්ද කියලා අර පහුගිය දවස් වල කුරුණෑගල පැත්තේ ඔනරබල් කෙනෙක් කරා වගේ. ඒ උනත් ආයිමත් පොරව වයින් කර ගත්තොත් අහන් ඉන්න වෙන්නේ මටම නිසා සද්ද නැතුව හිටියා.
මට මතක් උනා මීට අවුරුදු විස්සකට විතර ඉස්සර මම රත්නපුරයේ වැඩ කරන කාලයේ දවසක් මගේ නෝනා මට කෝල් එකක් දීලා කිවුවා ඉස්කෝලෙන් පණිවිඩයක් එව්වා කියලා අපේ දුව ඇටේන් වෙලා කියලා මගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා. මම කිවුවා ගෙදර එක්ක ඇවිත් පෑඩ් එකක් අන්දවලා ආයිත් ඉස්කෝලෙට ගිහිං බාර දෙන්න කියලා. ඔයා නම් හරිම තාත්තා කෙනෙක් තමයි ඔය වගේ තාත්තලා කෙහෙල් ගහකිනුත් කපා ගන්න පුලුවන් කියලා ෆෝන් එක තියපු සද්දෙට මගේ කණ මෙවුවා වෙලා ගියා. ගෑනි හිතුවා මම කතාව අහපු ගමන් කඩා ගෙන බිඳ ගෙන කොලඹ එයි කියලා. මම ඊට දවස් දෙකකට විතර පස්සේ වීක් එන්ඩ් එකට ගෙදර ආවා. මම හිතාගෙන ගියේ නෝනා මගේ ඔලුව කයි කියලා. ඒත් එයා කිවුවා අන්න දුව එයාගේ කාමරයේ ඉන්නවා මේ බදාදාට තමයි නැකතට එලියට ගන්න තියෙන්නේ ඔයා එදාට ගෙදර එන්න කියලා. පස්සේ මම නැකැත් කාරයා හම්බ වෙන්න ගිහිල්ලා විස්තර කියලා යන්තම් සඳුදාට නැකත ඇඩ්වාන්ස් කරවා ගෙන ආවා ඌට ගානකුත් දීලා. මෑන් කිවුවා මහත්තයා ඉතිං රාජකාරි ගොඩක් කරන්න තියෙන කෙනෙක් නිසා කරලා දෙනවා නැත්තං කීයටවත් කරන වැඩක් නෙමෙයි මේක කියලා. ඕන නං මට පොරට කියලා නැකත සෙනසුරාදාට උනත් දා ගන්න තිබුනා. ඉතිං සඳුදා උදේ කෙල්ලට පොඩි තෑග්ගකුත් දීලා පොඩි වීඩියෝ පාරකුත් දාලා මම ගියා රත්නපුරයට. උත්සව ගත්තේ නැති හින්දා අපේ සමහර නෑයෝ හිතනවා ඇති අපෙ කෙල්ල තාම පොඩි එකී කියලා.
මම මේ කතාව අර පොරට කිවුවාම මෑන් කියනවා අනේ දොස්තර මහත්තයා (ගමේ නෑයෝ මට කියන්නේ එහෙමයි. කොච්චර කිවුවත් නෑ කම කියන්නේ නෑ) මම ඉස්සෙල්ල අරහෙම කිවුවාට මේ මොන විකාර වැඩද. අපේ පුතාට වඩා ලේලිට ඕන කරලා තියෙන්නේ ලොකු කම පෙන්නන්න. දොස්තර මහත්තයා හිතනවා ඇති මේ ගොල්ලන්ට හුඟාක් සල්ලි තියෙනවා ඇති කියලා. එහෙම නෑ අපේ පුතා ඉතාලියේ ගිහින් අවුරුදු දහයක් ඉඳලා ගෙනාපු සල්ලි තමයි ඔය කියලා. මට තේරුම් ගියා අපේ මිනිස්සු මේ ලෝකෙට පෙන්නන්න මොන තරම් බොරුවක්ද කරන්නේ කියලා. මගේ පොර අර මුචලින්ද වගේ කයිය ගැහුවේ තමන්ගේම හිතට විරුද්ධව. හදිසියේ මමත් කිවුවා නම් ඔවු ඔවු ඒ කාලේ අපේ දුවගේ එක ගත්තෙත් මෙහෙමයි කියලා සමහර විට පොර කියන්න තිබුනා අපේ පුතාට නම් ඕන කරලා තිබුනේ මේක ඉතාලියේම කරන්න, ඒ උනත් එහෙම උනා නම් හැමෝටම එන්න බෑ නේ කියලා. මෙන්න මේ විදිහට අපේ මිනිස්සු කී දෙනෙක් මේ වගේ සෝබන වැඩ කරලා පස්සේ දුක් විඳිනවා ඇත්ද. එකෙක් ගොන් වැඩක් කරාම අනිත් එවුන්ට ඕන ඊට එහා ගොන් වැඩක් කරන්න. පව් ඕයි. මේවාට ඉස්සර මිනිස්සු කිවුවේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා. මම හිතන්නේ අරූටත් ආයිත් ඉතාලියට ගිහිල්ලා ඉන්න වෙයි කෙල්ල බන්දලා දෙන දවස වෙනකම්. අනේ පව් බං.
අර මම කලින් දවසක කියාපු මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ මරණ ගෙදරදී මේ පුරුදු ගැනත් කතා කලා. මම කිවුවේ මම එදා හුඟාක් දේවල් ඉගෙන ගත්තා කියලා. ඉස්සර මිනිස්සු තමන්ගේ දුවෙක් වැඩි වියට පත් උනාම ගෙදර උත්සවයක් ගන්න එකේ තේරුම ඔන්න දැන් අපේ ගෙදරත් දීග දෙන වයසේ කෙල්ලෙක් ඉන්නවා කියන එක අනිත් අයට දන්වන්න. එතකොට තමයි අහල පහල ගම් වල මගුල් කපුවෝ විවාහ යෝජනා අරගෙන එන්නේ. අර ටී බී ඉලංගරත්න මහතාගේ විලම්බීත කියන පොතේ එක තැනක තිලකගේ අම්මා කියනවා "අර ලුවිස් ගුරුන්නාන්සේගේ කෙල්ලත් වැඩිවිය පැමිණුනා කියලා සෙදෝහාමි පහු ගියදා කිවුවා. නරකද කපු මහත්තයා එහාට යැවුවොත් කියලා" මේවා මට මතක තියෙන්නේ අපි හුඟක් පුංචි කාලේ අපේ අම්මා ගෙනත් දුන්නු පොත් කියවලා. දැන් ඉන්න ඈයෝ කියවන මිල්ස් ඇන්ඩ් බූන්ස් වගේ ඒවායේ ඕවා නෑ මචං.
මම අර අපේ පොර එක්ක මගේ අදහස කියපු නිසා ඌත් ඇත්ත කිවුවා. වෙන එකෙක් අර නයි පාර අහගෙන හිටියා නම් ඌටත් ඕන වෙන්න ඉඩ තිබුනා උගේ මිණිපිරියටත් එහෙම එකක් කරන්න සල්ලි තියෙනවා නම්. අන්තිමට මේකත් අර කසාද බඳිනවා වගේ එකක් වෙනවා. අද කසාදයක් බඳින්න ගියාම ඊට එහා. වියදම් කරන්නේ හිටු කියලා. පුලුවන් එකා එහෙම කරන කොට අනිත් අයටත් ඕන වෙනවා ඒකම කරන්න. ඊට පස්සේ නය ගෙවනවා මැරෙන කම්.
මීට අවුරුදු තිස් හතරකට ඉස්සර මම කසාද බැන්දේ.අවුරුදු පහක් ෆැකල්ටියේ වේලිලා ෆයිනල් ඉයර් එකේදී ෆස්ට් ඉයර් බඩ්ඩකට සෙට් උන නිසා තවත් අවුරුදු පහක් වේලෙන්න උනා ඒකී අවුට් වෙන කං. එහෙම ඉඳලා බදින්න ගියාම ඔය ප්‍රශ්නේම ආවා.මම කිවුවා මගුල් කන්න ඕන එකෙක් ඉන්නවා නම් වියදම් කරගෙන ඒවා කරන්න. මම උදවුවක් හැටියට සූට් එක මහ ගන්නම් කියලා. ඉතිං ඒවා ඒ හැටියටම උනා.මනමාලිට අන්දන්න ඒ කාලේ හැරිස් කියලා එකෙකුට රුපියල් දහ දාහක් දීලා තිබුනා. අද පොර ලක්ෂ දෙකක් ගන්නවාලු.
ඉතිං මම නෝනාට කිවුවා අන්දන්න හැරිස්ට දහ දාහක් දෙනවා නම් ගලවනවාට මට පන්දාහක් වත් ඉල්ලලා දෙන්න. මට ප්ලැබ් එක කරන්න යූ කේ වලට යන්නත් තියන නිසා කියලා. ඒ උනාට මට ලැබිච්චි ලබු ගෙඩියක් නෑ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී