මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඒබ්‍රහම් ටී කොවූර් මහතාගේ ලිපි කියවලා තියනවා. මගේ අම්මාට පිං සිද්ද වෙන්න මම හතරේ පංතියේ ඉඳලම දිනමිණ පත්තරේ කියවන්න ගත්තා. අද වගේ නෙවෙයි ඒ කාලේ පත්තරේ කියන්නේ දැනුම් සම්බාරයක්. නිවැරදි සිංහල භාෂාව, අක්ෂර වින්‍යාසය සේරම ඉගෙන ගන්න පුලුවන් පත්තරේ බලලා. මිනීමැරුමක් ගැන අහන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. ඒත් කොලඹින්. ඇක්සිඩන්ට් එකක් උනත් එහෙමයි. කුඩු, ගංජා කසිප්පු වැටලීම් වගේ ඒවා අහන්නවත් නෑ. ඒ වගේම අද වගේ හොරකම් කුපාඩි කම් කරපු දේශපාලනඥයින් ගැන පත්තර වල තිබුනේ නෑ. ඒ කාලේ ලොකුවටම කතා කරපු එකක් තමයි හාර ලක්ෂයේ මංකොල්ලේ. මට මතකයි ඒ කාලේ ඉරිදා සිළුමිණ පත්තරේ නිතරම ලියනවා ගස් කැපීම ගැන. මේ විදියට ගස් කැපුවොත් අනාගතයේ මේ රටේ ඇල දොල හිඳී යාවි කියලා. අද ඒක වෙලා තියනවා. මම ඔය කියන කාලේ මීට අවුරුදු 50 ත් ඉස්සරයි. කොයි තරම් ගස් කපන්න ඇත්ද. ඒ කාලේ අපෙ ගෙදර නාන ලිඳේ වතුර හැමදාම උතුරලා යනවා. ඒ වතුර යන්න අයිනෙන් පොඩි කාණුවකුත් බැඳලා තිබුනා. මේ වෙන කොට ඒක වහින කාලේකවත් උතුරන්නේ නෑ. සාමාන්‍ය කාලෙට තියෙන්නේ පොලොවේ ඉඳන් අඩි එක හමාරක් විතර යටින්. පොලොවේ ජල මට්ටම කොච්චර පහත ගිහින්ද.
අදත් පිට ගියානේ. ඉතින් ඒ කාලේ පත්තරේ ගත්තාම මම අකුරක් ගානේ කියවනවා. ඉස්සෙල්ලාම චිත්‍ර කතාව. ඊට පස්සේ අනිත් ඒවා. අවුරුදු 50 ක් විතර පරණ ඒ චිත්‍ර කතා කපලා එකතු කරපුමා මා ලඟ තාම තියෙනවා. ඒ වගේ කොලිටි කතා දැන් දකින්නවත් නෑ. ඔන්න ඔය පුරුද්දට තමයි මම අර කොවූර්ගේ කතා කියෙවුවේ. යක්කු හොල්මන් කියලා ජාතියක් නෑ, අමුතු දේව බලයක් කියලා දෙයක් නෑ, නැවත ඉපදීමක් නෑ වගේ දේවල් ගැන හරියට කතා කලා එතුමා පත්තර වලින්. වතුර උඩ ඇවිදින කෙනෙකුට, එන්ලොප් එකක් ඇතුලේ දාලා තියන සල්ලි නෝට්ටුවක අංකය හරියට කියන කෙනෙකුට, එයා දෙන හඳහන් දහයක් බලලා ඒකෙන් කී දෙනෙක් මේ වෙන කොට ජීවත්ව ඉන්නවාද, කී දෙනෙක් මැරිලාද කියන කෙනෙකුට තෑගි දෙනවා කියලා විවෘත අභියෝගයක් කරලා තිබුනත් 1979 දී එතුමා මිය යන තුරුම කවුරුත් ඒ අභියෝගය භාර ගත්තේ නෑ. එතුමා හදලා තිබුනා හේතු වාදී සංගමය කියලා එකක්. 1969/70 වෙන කොට ඒකේ හිටපු කාලෝ ෆොන්සේකා කියලා දොස්තර කෙනෙක් කතරගම ගිහිං අරක්කු බීලා, හරක් මස් කාලා, ගිනි පාගන්න පුලුවන් කියලා අභියෝගයක් කරලා තියනවා දැකලා මට මාර ජොලියක් ගියා. එක දවසක් මටත් ගිනි පාගන්න හිතිලා ගෙදර තිබුනු කෙහෙල් ගස් වල වේලිච්ච කොල එකතු කරලා ගිනි තියලා පාගන්න කියලා ලේස්ති වෙන කොට මට වැඩිය අවුරුදු 6 ක් බාල මගේ මල්ලීත් එතෙන්ට ආවාම මම ඌට කිවුවා ගිනි ගොඩ උඩ ඇවිදින්න කියලා. එතකොට ගින්දර නිවිලා අලු විතරයි තිබුනේ. ඌ බය උනාම මම පොර වගේ අර අලු උඩින් ඇවිද්දා. ඒ කාලේ අපි ගමේ ඇවිදින කොට කවදාවත් සෙරෙප්පු දාන්නේ නෑ. වැරදිලාවත් එහෙම සෙරෙප්පු දාගෙන ගියා නම් අද ෆුල් සූට් එකක් ඇඳ ගෙන කුඹුරේ ඇවිදිනවා වගේ විකාරයක් වෙයි. මේ නිසා අපේ යටි පතුල් හරි ඝන කමයි. පස්සේ දවසේ මල්ලිත් ගිනි ගොඩක් ගහලා ඇවිදලා උගේ කකුල පිච්චිලා ඒකට මම ගුටි කෑවා තාත්තාගෙන්.
කොහොම හරි කතරගම කෝවිලේ කපුවාත් කාලෝගේ අභියෝගය බාර අර ගෙන දිනයක් එහෙම දීලා තිබුනා. ඉතින් නියම දවසට කාලෝ එයාගේ කට්ටියත් එක්ක එතෙන්ට ගියාට කපුවාගේ කට්ටිය ඒ ගොල්ලන්ට ගහලා එලවලා දාලා ලොකු කේස් එකක් වෙලා තිබුනා. කපුවා හිතලා නෑ කාලෝ එයි කියලා. ඉතින් ආවාම පොර බය උනා මුන් ගිනි පෑගුවොත් උන් කරන්නේ බොරුව බව එලි වෙයි කියලා එලවලා දැම්මා. පස්සේ කාලෝලා කට්ටිය එකතු වෙලා කොලඹ මෙඩිකල් කොලේජ් එකේ මිදුලේ හැමෝටම එන්න කියලා කට්ටියත් එක්ක ගිනි පෑගුවා. ඒක ඒ කාලේ පොටෝත් එක්ක පත්තරේ තිබුනා. අද වගේ ටෙලිවිෂන් තිබුනේ නෑ නේ ඒ කාලේ. ඒ වගේම දැන් වගේ රේඩියෝ චැනල් තිබුනෙත් නෑ. ඒ හින්දාම අපේ සංස්කෘතියයි භාෂාවයි යස අගේට රැකුනා. අපේ භාෂාව විනාස කරලා දැම්මේ සිරස ටී වී කාරයෝ තමයි.
ඉතින් ඒ කාලේ කාලෝ ෆොන්සේකා කිවුවහම මුලු රටේම හරිම ප්‍රසිද්ද ඒ වගේම ජනප්‍රිය කෙනෙක් වුනා.කොහොම කොහොම හරි මම 1973 දී කොලඹ මෙඩිකල් කොලේජ් එකට ගිය දවසේ පලවෙනි අවුරුදු දෙකේදී අපට උගන්වන්න හිටපු මහාචාර්ය, ආචාර්ය වරු අඳුන්නලා දෙන කොට කාලෝ ෆොන්සේකා කියන නම කියවෙන කොට මම උඩ ගියා වගේ උනා. මම හිතුවේ නෑ එච්චර ඉක්මනට මම හරිම කැමැත්තෙන් හිටපු එතුමාව දකින්න හම්බ වෙයි කියලා. ඉතින් ඒ නම කියන කොට මුලු බැච් එකම එක පාරට හැරිලා එයා දිහාව බැලුවා.
ඊට පස්සේ අපි ඉගෙන ගන්න කොට පිසියොලොගි Physiology කියන සබ්ජෙක්ට් එක සිංහලෙන් උගන්නන්න ආවේ එතුමා. ඒ කාලේ මුල් මාස තුන හැම සබ්ජෙක්ට් එකක්ම ඉංග්‍රීසියට අමතරව සිංහලෙනුත් දෙමලෙනුත් ඉගැන්නුවා. අපි වගේ කඩ්ඩ හොර, හොර නෙවෙයි කඩ්ඩ බැරි උන්ට මේක හරිම උපකාරී උනා. කොලඹින් ආපු එවුන් මේවාට ආවේ නෑ. උන් ඒ වෙලාවට ආතල් එකේ හිටියා. ඇත්තටම කාලෝ නිසා මට ඒ සබ්ජෙක්ට් එක කජු කනවා වගේ උනා. ඒ වගේම ළමයින්ගේ සුබ සාදනය බලන්නත් ඔය ගුරුවරුම හිටියා. මම වැටුනේ කාලෝ බාරව හිටපු ගෲප් එකට. ඉතින් කඩු සම්බන්ධ ප්‍රශ්න වලදී එයා මට හුඟාක් උදවු කලා. පලවෙනි අවුරුදු දෙකෙන් පස්සේ කාලෝ එක්ක අපේ ඔෆිශල් කටයුතු ඉවර උනත් මම ඉඩ තියෙන වෙලාවට ගිහින් එතුමාව හම්බ උනා. එක පාරක් මම මගේ තව යාලුවෙක් වුනු හරේන්ද්‍ර කියලා කෙනෙකුයි එක්ක ගියා බෙලිහුල් ඔය හිටපු යාලුවෙකුගේ ගෙදරට. ඊට පස්සෙන්දා කාලෝ ආවා එයාගේ පවුලේ අයත් එක්ක. මිනිස්සු වට කර ගන්න නිසා කාලෝ ආවේ වෙස් වලා ගෙන. අපි කට්ටියම ලෝකාන්තය බලන්නත් ගියා. ඒ හරේන්ද්‍ර සිල්වා පස්සේ ළමා රෝග පිලිබඳ මහාචාර්ය වරයෙක් උනා
උප්පත්තියෙන් කතෝලිකයකු වුනු කාලෝ ෆොන්සේකා මහතා හුඟාක් බුද්ධ ධර්මය ගැන පැහැදිලා හිටියා. ඒත් ඔහු නැවත උපතක් කියන එක විශ්වාස කලේ නෑ. හුඟාක් බෞද්ධ පොත් පත් ඒ වගේම භක්ති ගීත ලිවුවා. මම අර කලින් කිවුවා වගේ ඒ කාලේ අපි වෙසක් එකට භක්ති ගී කියන කොට කාලෝගේ ඒවාත් කීපයක් කියනවා. ජර්මන් ජාතික බර්ට්‍රල් බ්‍රෙෂ්ට් කියන කවියා බුදුන් වහන්සේගේ දෙසුමක් ඇසුරෙන් ලියපු ලස්සන කවියක් කාලෝ ඒ කාලේ සිංහලට හැරෙවුවා. ඒකට නම දාලා තිබුනේ තන්හාවේ දෝසේ කියලා.ඒක හරිම ලස්සන තේරුමක් තියන කවි පංතියක්. මීට කලින් දවසක ඒක මම ශෙයා කරා මතකයි.
ඊට පස්සේ මට කාලෝ හම්බ උනේ විජය කුමාරතුංගට කටානේදී යූ එන් පී මැරයෝ වගයක් ගහලා තුවාල වෙලා ඇක්සිඩන්ට් සර්විස් එකට ගෙනාපු වෙලාවේ. එයාගේ එක කොලර් බෝන් එකක් කැඩිලා තිබුනා. කාලෝගේ වයිෆ් ගේ ලඟම නෑයෙක් විජය. අපි එතකොට හිටියේ අන්තිම අවුරුද්දේ. යූ එන් පී ආණ්ඩුව තිබුනේ. විජයව මම අඳුන ගත්ත හැටි මම කලින් කියලා ඇති. ඉතින් මෑන් ගෙනල්ලා කියලා දැන ගත්තාම ඒ ලඟම මෙඩිකල් හොස්ටල් එකේ හිටපු මම ඇරලා දාලා එතෙන්ට ගියා. මට මතකයි එවෙලේම වගේ එතනට ආපු රන්ජන් මෙන්ඩිස් කියන නලුවා එතන හිටපු උන්ට ගැහුවා යකෝ මේ වගේ කෙනෙකුටත් තොපි ගහනවද කියලා. මෑන් විජයපපාල මෙන්ඩිස්ගේ බෑනා. උන්ගේ එවුන් තමයි විජයට ගහලා තියෙන්නේ. ගහපු එවුනුත් තුවාල වෙලා ගෙනත් හිටියා. රන්ජන් මෙන්ඩිස් ඒ කාලේ ආපු "කලු දිය දහර" කියන ෆිල්ම් එකේ නැගලා යන රෝල් එකක් කලා. අර "පනම් අටෙන් මට වැඩි කර දුන්න" කියන සිංදුව තියෙන්නේ ඒ ෆිල්ම් එකේ. ඒත් අවාසනාවට මෑන් ලියුකීමියා වලින් අකාලයේ නැති වෙලා ගියා. එදා ඇක්සිඩන්ට් සර්විස් එකේදී තමයි මම දැන ගත්තේ කාලෝගෙයි විජයගෙයි නෑදෑ කම වගේම කාලෝ දැන ගත්තේ මගෙයි විජයගෙයි තිබුනු යාලු කම.
ඊටත් පස්සේ මට කාලෝ හම්බ උනේ විජයව මරපු දවසේ විජයගේ ගෙදරදී. කි. මී දහයක් විතර දිග පෝලිමේ නොඉඳ මට ඇතුලටම ගිහිං බොඩිය බලන්න පුලුවන් උනා.ඒ වෙන කොට කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙක් වුනු මට විජය එක්ක පොඩි දේශපාලන සම්බන්ධ කමකුත් තිබුනා. මොකද ඔක්කොම වමේ පක්ෂයි, ඊ පී ඩී පී එකයි, විජයගේ මහජන පක්ෂයයි එකතු වෙලා එක්සත් සමාජවාදී පෙරමුණ කියලා එකක් හදලා තිබුනේ 1988 දී එන්න තිබුන පලාත් සබා ඡන්දයට තරඟ කරන්න. ඒක අත්සන් කරන්න තිබුනේ 1988 පෙබරවාරි 21. විජය මැරුවේ 16 දා. ඉතින් ඒ පක්ෂ නායකයෝ ගිවිසුම අත්සන් කලේ විජයගේ පෙට්ටිය ඉස්සරහාදී. ඒ වෙලාවේ අත් දෙක උස්සලා ඒකේ නායිකාව හැටියට අත්සන් කරපු චන්ද්‍රිකා පස්සේ රටේත් නොඉඳ පැනලා ගියා.
ඊලඟට ආයිමත් මම කාලෝ එක්ක ලඟින් වැඩ කලේ ඒඩ්ස් මර්ධන වැඩ සටහනේ අධ්‍යක්ෂ වෙලා ආවාට පස්සේ. ඒ වෙන කොට විශ්‍රාම අර ගෙන හිටපු එයා රේඩියෝ වැඩ සටහන් කලා. දවසක් මට කතා කලා ලිංගිකව බෝවන රෝග ගැන කතා කරන්න. මම ඒක ලස්සනට කලාම කාලෝට හරිම සතුටුයි. එයා අතර මගදී ටිකකට ප්‍රෝග්‍රම් එක නවත්තලා කිවුවා මට හරිම ආඩම්බරයි මගේ ගෝලයෙක් වෙච්ච කෙනෙක් මේ විදියට වැඩ සටහන කරන එක ගැන කියලා. අපි දිගටම මාස දෙකක් විතර ඒක කරා සේරම ලිංගිකව බෝවන ලෙඩ ගැන ජනතාව දැනුවත් කලා.
ඒ වගේම මේ මුලු රටම දන්නවා උසාවියෙන් තීන්දුවක් දීලා තියෙද්දිත් අර සයිටම් එකෙන් පාස් වුනු දොස්තරලාට වෛද්‍ය සභාවේ ලියා පදිංචිය දෙන්න කියලා ඒ කාලේ ඒකේ ලොක්ක වුනු එතුමා කිවුවා අපිව ගෙනිහිල්ලා හිර ගෙදර දැම්මත් ඒක කරන්නේ නෑ කියලා.පස්සේ එතනට සෞඛ්‍ය ඇමති ගෙනත් දාපු කෙනාට කොන්ද පණ තිබුනේ නෑ අර වගේ කෙලින් ඉන්න. අපේ රටේ ඉන්න සමහර දොස්තරලාගේ වැඩ නිසා කලකිරිලා ඉන්න ජනතාව මේක දැකලා ආතල් ගත්තත් ඉස්සරහට දොස්තරලාට වෙන්නේ මේ වෙන කොට සංඝ සමාජයට වෙලා තියන දෙයයි. අද සිවුරු උස්ස ගෙන, කුණු හරුප කියා ගෙන, බී ගෙන, වාහන වල රෝද වලට බෙල්ල තියන, බිස්නස් කරන, හදි හූනියම් වගේ බලු වැඩ සේරම කරන හාමුදුරු කියා ගන්නා පිස්සෝ රැලක් සංඝ සමාජයට ඇතුල් උනේ එක පාරට නෙවෙයි. ටික ටික උන් ඇතුලු වෙන කොට සුපේශල ශික්ෂාකාමී හාමුදුරුවරු විරුද්ධ වුනා නම් ඒක නවත්ත ගන්න තිබුනා. මම කියන්නේ අර පඩික්කන් පුරව පුරව ඉඳගෙන දූෂිත දේශපාලකයින්ට පිරිත් නූල් බඳින එක එකම ක්‍රියාව කර ගෙන ඉන්න මහනායකලා ගැන නෙවෙයි. අර ගංගොඩවිල සෝම, බෙල්ලන්විල හාමුදුරුවෝ වැනි අය. දේශපාලකයෝ හරි කැමතියි මේ වගේ අය වැඩි වෙන තරමට. එතකොට හොරු වෙනුවෙන් හිඟමනේ යන්න, පිරිත් නූල් බඳින්න වගේ වැඩ වලට පෝලිමේ එනවානේ. අර දොස්තරලා වැඩි වෙන එකටත් උන් කැමතියි. හැම හංදියක් ගානේ රස්තියාදු වෙන තරමට උන් වැඩි උනාම උන්ගේ සපත්තු ලෙව කන උන් වැඩි වෙනවානේ. දැනුත් අමාත්‍යාංශයේ උඩ තැන් වල ඉන්න එවුන් ලෙව කනවා. ඒත් අරහෙම උනාම සූප්පු කරාවි.
කොච්චර මේ කාලකන්නි දේශපාලනය ගැන ලියන්නේ නෑ කියලා දහිරිය දා ගෙන හිටියත් පොඩ්ඩක් හරි ලියවෙනවානේ. ඒකට හේතුව මම අර අන්තිම එකේ කිවුවා වගේ දේශපාලනය නොගෑවුනු තැනක් මේ රටේ නෑ.ඕනම කානුවක, බෝක්කුවක,කක්කුස්සි කටක මේ ජරාව ගෑවිලා තියනවා. ඒ තැන් වල ඒවා ගාන්න වහල් සැට් එකක් වෙනම ඉන්නවා. එහෙම එකෙකුට මම ඊයේ ලාස්ට් වෝනින් එක දුන්න මගෙන් අයින් වෙන්න නැත්තං මම ඒ වහලාව බ්ලොක් කරලාම දානවා කියලා.
ඉතින් මම මගේ ආදරණීය ගුරුතුමාව හම්බ වෙන්න ලඟදී දවසක එතුමාගේ ගෙදරට ගියා. යන කොට එතුමා එක්කෙනෙකුට සිංහල සිංදුවක් පුරුදු කරනවා. ආ නිමල් කම් කම් කියලා එතුමා මට කතාකරපුවාම ඒ කෙනාත් හැරිලා බැලුවා මූණ පුරා හිනාවකුත් එක්ක. අර මෙඩ්ඩා කාලේ කාලෝ මුල්ම දවසේ දැක්කාම ආපු සතුට වගේ සතුටක් මට ඒ එක්කෙනා දැක්කාම ඇති උනා. ඒ තමයි මම මෑත කාලයේ රූපවාහිණියේ දැකපු හොඳම නිලිය. 2016 දී හොඳම නිලියට හිමි සම්මානය දිනා ගත්ත උමාලි තිලකරත්න. හරිම චාම් ගති පැවතුම් තියන කෙනෙක්. එයා තමයි අපට තේ ඇල්ලුවෙත්. කාලෝගේ ගෙදර එයාට එයාගේ ගේ වගේ. මගේ ඉල්ලීමට උමාලි ලස්සන කවියකුත් කිවුවා. බොලා එයාව දැකලා නැත්තම් මම දාන ලින්ක් එකින් බලාපල්ලා.



Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී