අපේ පොලිසිය

ඉස්සර මම අන්තිම වසරේ මෙඩ්ඩා කාලේ සෙට් වෙච්ච කෝට්ටේ හිටපු මගේ යාලුවෙකුගේ ගෙදරට යනවා හවසට තෙලක් බෙදා ගෙන ඉන්න. පේරාදෙණියේ ඉගෙන ගත්ත මෑන් මට වඩා අවුරුද්දක් සීනියර් උනත් මිනිහා හිටපු කෘෂිකර්ම පීඨයේ ඉගෙන ගන්න කාලය අවුරුදු 4 ක් වගේම වෛද්‍ය පීඨයේ අවුරුදු 5 ක් වීම නිසා ඒ වෙන කොට පොර කොලඹ රස්සාවක් කරමිනුයි හිටියේ. මෑන්ට මට වගේ නෙවෙයි ගොඩාක් යාලුවෝ හිටියා. පේරාදෙණියේ එවුන්ට තියන ලොකු වාසියක් තමයි එහේ හැම ජාතියකම පීඨ තියන නිසා එක එක ෆීල්ඩ් වල යාලුවෝ ඉන්නවා. ඒ නිසා අවුට් වෙලා ගියාම උන්ට බැංකුවකට ගියත්, වෙන විශ්ව විද්‍යාලයකට ගියත්, පොලිසියකට ගියත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඉස්පිරිතාල වගේ හැම තැනකම යාලුවෝ ඉන්නවා. අපිට එහෙම නැහැ. කොලඹ විශ්ව විද්‍යාලය තිබුනත් අපි හිටියේ වෙනම නිසා අපිට ඉන්නේ වෛද්‍ය යාලුවෝ විතරයි. ඒ නිසා අපිට අර වගේ යාලුවෝ අඩුයි.
ඒ නිසා මගේ ඒ කියපු යාලුවාගේ ගෙදරට හවසට ඒ වගේ යාලුවෝ කීප දෙනෙක් එනවා. එයාගේ අම්මාත් ඒ එන එන එක්කෙනාට තේ ගෙනත් සංග්‍රහ කරනවා. සමහර අම්මලා එහෙම නෑනේ. මම දන්නවා සමහර අම්මලා ඉන්නවා මේ මොන කරදරයක්ද මේ යාලුවෝ නිසා මට තේ හදලා ඉවරයක් නෑ වගේ කතා කියලා දරුවන්ගේ යාලුවෝ ගෙදර එන එක වලක්වන. අපේ ගෙදරට ඔය වගේ යාලුවෝ සෙට් උනා නම් හැමදාම අපේ අම්මා ශුවර් එකටම අරහෙම කියනවා. නමුත් අර යාලුවාගේ එහෙම නෑ. ඒකත් එක හේතුවක් උනා කට්ටිය එහාට එකතු වෙන්න. මොකද තමන්ගේ ගෙදර වගේම හැඟීමක් ඇතිවෙන නිසා. ඒ වගේම එයාගේ තාත්තා ඒ වෙන කොට පෙන්ෂන් අරගෙන හිටියත් වැඩ කොල්ලා වගේ ඕනම වයසක කෙනෙක් එක්ක ෆිට් වෙන්න පුලුවන් හැකියාවක් තිබුනා.
ඉතිං අපි එකතු වුනාම කරන්නේ අර ස්ක්‍රබල් කියන වචන හදන සෙල්ලමක්. ඒකෙන් හුඟාක් ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න පුලුවන්. කඩ්ඩ හොඳට පොලිෂ් වෙනවා.කට්ටිය ඩික්ෂනරි එක තියාගෙන වචන හදනවා තරඟෙට. ඒ කාලේ කොම්පුටර්, මොබයිල් ෆෝන්, ඉන්ටෙර්නෙට්, රූපවාහිනී, ෆේස් බුක් වගේ මිනිස්සුන්ගේ වටිනා කාලය කා දමන ඒවා තිබුනේ නැති නිසා අපි කෙරුවේ ඔය වගේ දේවල්.
ඔය එන අය අතරේ හිටියා පොලිසියේ වැඩ කරපු එස් අයි කෙනෙක්. මැන් ඒ කාලේ නාරාහේන්පිට පොලිසියේ ඕ අයි සී. මිනිහාගේ ගෙදර තිබුනේ ජුබිලි කණුව හන්දියේ. මිනිහා කෝට්ටෙට ආවේ එයාගේ පොලිසියෙන් දීලා තිබුණු බයික් එකේ. එයාගේ නම මෙතන කියන්නේ නෑ. ඒ අතරෙ තව යාලුවෝ දෙන්නෙක් හිටියා ජුබිලි කණුව හරියේම ගෙවල් තියන. ඉතින් ස්ක්‍රබල් ගහලා ඉවර වෙන කොට සමහර දාට රෑ 10 11 වෙනවා. මම මගේ ස්කූටර් එකේ හොස්ටල් එකේට යනවා. අර පොලිස් පොර අර දෙන්නාව එක පාරට බයික් එකේ දාගෙන යන්නේ නෑ ඒක නීති විරෝධීයි මිනිස්සු දැක්කොත් ඒක හරි නෑ කියලා එකෙව ගිහිං බස්සලා ඇවිල්ලා අනිත් එකාව අරන් යනවා. මම කියලා තියෙනවා ඇයි බං ඔය තඩි බයික් එකේ තුන් දෙනෙක් නෙවෙයි හතර දෙනෙක් උනත් දාගෙන යන්න පුලුවන්නේ මොකද මම සමහර ඔය වගේ වෙලාවල මගේ පොඩි ස්කූටර් එකේ තුන් දෙනා ගිහින් තියනවා කියලා. එතකොට පොර කිවුවේ උඹලා කලා වගේ නෙවෙයි මම පොලිසියේ ඉඳගෙන පොලිස් බයික් එකක එහෙම ගෙනියන එක කියලා.
ඒ වගේම තව දවසක් හවස නාරාහේන්පිට පොලිසිය ඉස්සරහා බස් හෝල්ට් එකේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි පොඩි ලව් ටෝක් එකක් දාගෙන ඉන්න කොට ඩ්‍රින්ක් එකක් දාලා වැඩි වෙච්ච පොරක් උන් දෙන්නාට කචල් එකක් දාලා කෙල්ලගේ අතින් ඇදලා. මුන් දෙන්නා අඬා ගෙන පොලිසියට ගියාම ඒ වෙලාවේ එතන ඩියුටි හිටපු අපේ යාලුවා විස්තර අහලා පොලිසියෙන් යවලා අරූව ගෙනල්ලා බලන කොට පොර ඒ පොලිසියේම සාජන් කාරයෙක්. පොර මින්හාට කණට එකක් ගහලා කෙලින්ම කූඩුවට දාලා තියනවා. අරූ බීලා හිටියත් ඩියුටි ඕෆ් වෙලාවේ නිසා ඒ ගැන මොකුත් නොකර අරුන් දෙන්නාගේ කැමැත්තත් ඇතුව ඒක ඉවර කරලා තියනව. අරූව වෙරි හිඳෙන කම් කූඩුවේ තියලා පස්සේ දවසේ තමයි එලියට දැම්මේ. මේක ඒ කාලේ පත්තරෙත් දාලා තිබුනා. මම මේ කියන යාලුවාගේ තාත්තාත් පොලිසියේ හිටපු බොහොම අවංකව වැඩ කරපු අයි පී කෙනෙක් 1971 ජේ වී පී කැරැල්ල කාලේ නාවලපිටිය පොලිසියේ ලොක්කා වෙලා ඉඳිද්දී පොලිසිය ඇතුලේදීම සාජන් කෙනෙක් අතින් අත් වැරදීමකින් වෙඩි වැදිලා මැරිලා තියනවා. තාමත් එතන ඒ ගැන කියන පිත්තල පුවරුවක් බිත්තියේ හයි කරලා තියනවා.
ඊට අවුරුද්දකට විතර පස්සේ මෑන්ව මාරු කලා කලුතර දිස්ත්‍රික්කයේ පොලිසියකට. එතකොට මමත් දොස්තරෙක් වෙලා පොලොන්නරුව ඉස්පිරිතාලේ වැඩ කරනවා. ඒත් සතියක් ඇර සතියක සෙනසුරාදා අර පුරුදු යාලුවාගේ ගෙදරට සෙට් වෙනවා. එක දවසක් අර පොලිස් යාලුවා බොහොම හිතේ අප්සෙට් එකෙන් කිවුවා මචං දැන් මම ඉන්නේ දිගටම පොලිසියේ ඉන්නවාද නැත්තම් අයින් වෙනවාද කියලා හිතා ගන්න බැරුවයි කියලා. අපි ඇහුවාම මිනිහා කිවුවා මිනිහා ගියපු හැටියේම එතන ලොකා මිනිහාට කිවුවාලු කසිප්පු කාරයෝ අල්ලන්න යන කොට අහවලානුන්ට කලින් කියලා යන්න අහවල්ලුන්ට නොකියා ගිහිං අල්ලන්න කියලා මොකද උන්ගෙන් අපට කිසි වාසයක් නැති නිසා කියලා. අනික අන්ත් එවුන් මෙහේ මන්ත්‍රී තුමාගේ සපෝටර්ලා ඒ හින්දා උන් ඇල්ලුවාම වෙන්නා නිකං අපි සවුත්තු වෙන එක විතරයි මොකද අර මන්ත්‍රී ඇවිත් කිවුව ගමන්ම නිදහස් කරන්න වෙනවා කියලා. එතකොට අපේ පොර කිවුවාම සර් අපි අල්ලපු ගමන්ම උන්ව මහේස්ත්‍රාත්ට දාමු මන්ත්‍රියා කියන්න කලින් කියලා අරූ කිවුවාලු එහෙම කලොත් අපිට මෙතන ඉන්න බෑ ඒ වගේම වෙන තැනකට ගියත් එතනත් කරන්න වෙන්නේ ඔහොමමයි ඒ නිසා කාගේත් හොඳ හිත තියා ගෙන ඉන්නවා කියලා. තමුසේ නාරාහේන්පිට ඉන්නකොට වගේ නෙවෙයි මෙහේ කියලාත් කිවුවාලු.
ඒ කාලේ වෙන කොට මම දේශපාලනය කියන්නේ මොකක්ද කියලාවත් දැන හිටියේ නෑ. ජේ ආර් ඇවිත් විවෘත කරපු ආර්ථිකය නිසා රටට ආපු පිට රට බඩු දැකලා ඒවා ගන්න හැටි කල්පනා කර කර ඉන්න කාලේ මේ යකා කියපු දේ බරක් පතලක් තේරුනේ නෑ. ඒත් මගේ යාලුවා කිවුවාම උඹ වෙන මොකක් හරි එකක් හොයා ගනින් කියලා ඌ කිවුවා උඹලාට වගේ උපාධියක් තිබුනා නම් මම මේකේ එක මොහොතක් ඉන්නේ නෑ කියලා. එතකොට තමයි මම දැන ගත්තේ අර පොරගේ තාත්තාගේ කේස් එක. තාත්තට කරන සැලකිල්ලක් විදියට තමයි පුතාට එස් අයි පෝස්ට් එක දීලා තියෙන. ඒ නිආ ඌ වැඩි දුර ඉගෙන ගන්න යන්නේ නැතුව පොලිසියට ගිහිං.ඒ නැති උනත් ඌ පෝරිසාදයා වගේ උස මහත දැක්කම බය හිතෙන ජාතියේ එකෙක්. මම පෝරිසාදව කලින් දැකලා නැති උනත් ඌ ගැන අපේ ආත්තම්මා කියලා තියෙන හැටියට මූට ඒ ලක්ෂණ තිබුන නිසායි මම එහෙම කිවුවේ. ඉතින් මූ කිවුවා කොහොම උනත් මට අද හෙටම තීරණයක් ගන්න වෙනවා පොලිසියේ ඉන්නවාද නැත්නම් යනවාද කියලා.පොලිසියේ ඉන්නවා නම් මේ ජරා යක්ක්කු කියන දේවල් කරන්න වෙනවා ඒත් මට ඒකට හිත හදා ගන්න බෑ කියලා. එහෙම කලොත් ඒක මගේ තාත්තාගේ නමටත් කරන අගෞරවයක් කියලා. මම කිවුවා වරෙන් ඇලහැර පොලිසියට අපි පතලක් එහෙම කරගෙන ඉඳිමු කියලා.
එක පාරක් මාතලේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මාව මාසයකට බකමූණ හොස්පිටල් එකට යැවුවා එතනට වෙන කෙනෙක් දාන කම්. ඒ කාලේ එහෙම බලෙන් දැම්මාම බැන බැන හරි යනවා මිසක් අද වගේ ජී එම් ඕ ඒ එකට ගිහින් කියන්නේ නෑ. මොකද එහෙම කිවුවත් ඒ කාලේ ඒකේ හිටපු එවුන් ඒවාට අත දාන්න ගියේ නෑ. ඉතින් ඔහොම බකමූනේ ඉන්න කොට මට දැන ගන්න ලැබුනා ඉස්සර එකේ වැඩ කරපු මොර ඇටයා කියන කම්කරුවෙක් තමයි අහවල් මැණික් මුදලාලි කියලා. ඒ කාලේ බකමූන පොලිසියේ හිටපු ඕ අයි සී මහත්තයාත් අර මගේ කෝට්ටේ යාලුවාගේ යාලුවෙක් නිසා මමත් පොරට සෙට් උනා. එක දවසක් සිකුරාදා හවස එයා මට එන්න කිවුවා රෑ කෑමට එයාගේ ගෙදරට මින්නේරියේ මන්ත්‍රී මෙරිල් සිල්වා මහත්තයා එනවා එයාට අඳුන්වලා දෙන්න කියලා. මෙරිල් සිල්වා කිවුවේ මින්නේරි දෙයියෝ කියලා ඒ කාලේ හඳුන්නපු සී පී ද සිල්වාගේ මල්ලී. මම කිවුවා ඉන්න නම් කැමතියි ඒත් හෙට උදේ මම කොලඹ ඉන්න ඕන ඒ නිසා අද හවස යනවා කියලා. මෑන් කිවුවා හෙට උදේ කැමති වෙලාවට මාව යවන්නම් ඒ නිසා ඉන්න කියලා. එදා රෑ මෙරිල් සිල්වා හම්බ උනාම එයා මට බල කලා මැදිරිගිරියේ ඩී එම් ඕ හැටියට එන්න කියලා. මම බලමු කියලා ශේප් උනා. පස්සෙන්දා උදේ 5 වෙන කොට අලුත්ම ෆොර්ඩ් කෝටිනා එකක් ආවා මාව කොලඹ එක්ක යන්න. බලන
කොට ඒක අර මොර ඇටයාගේ කාර් එකක්. මම ඒ මුදලාලිගේ නම කියන්නේ නෑ මෙතනදී. පලාතටම හිටපු පෝසතා.

මෙන්න මේක මතක් වෙලා තමයි මගේ යාලුවාට කිවුවේ බකමූනට එන්න කියලා. ඒත් මෑන් ආවේ නෑ. මමත් පස්සේ ගාල්ලට මාරු වෙලා ගියා මගේ කෝට්ටේ යාලුවාත් මාතර රුහුණු විශ්ව විද්‍යාලයේ ලෙක්චරර් කෙනෙක් වෙලා ගියා එච්චරයි. ඔහොම ගිහිල්ලා 88/89 කලබලත් ඉවර වෙලා අර මස් වැද්දෙක් අල්ලපු වරදට මාව ගාල්ලේ අධ්‍යක්ෂ කමින් අයින් කරලා කොලඹ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් වෙලා වැඩ කරන කාලයේ මම දැක්කා රූපවාහිනියේ පෙන්නුවා මුස්ලිම් කොල්ලෝ දෙන්නෙක් බැංකුවට දාන්න ගෙනියපු සල්ලි ගන්න උන්ව මරලා දාලා තියනවා. අපි දැකපු ඒවායේ හැටියට ඒක මහ දෙයක් නූනත් උන්ගේ අත් වලට මාංචු දාලා තිබුනා. මම කලින් කිවුවානේ මම අවුරුදු තුනට මිනී 1500 ට වැඩිය කපලා තියෙනවා කියලා. ඉතින් දවසක් මම මිණී මැරුම් නඩුවක සාක්ෂි දෙන්න ගිහින් ඉන්න වෙලාවක මට ඇහුනා අර ඒ කාලේ අපේ යාලු පොලිස් මෑන්ගෙ නම කියලා විත්ති කූඩුවට නගිනවා. මට එක පාරට පොරව අඳුන ගන්නත් බැරි උනා.අවුරුදු 15 කට විතර පස්සෙනේ. පස්සේ මිනිහා කූඩුවෙන් බසාලා අර කූඩුවට දාපු වෙලාවේ මම එතනට ගිහින් නම කියලා කතා කලත් බන්ධනාගාර නිලධාරීන් ඒකට ඉඩ දුන්නේ නෑ. පස්සේ හොයලා බලන කොට මෑන් ඒ එස් පී කෙනෙක් වෙලා තදින්ම කැසිනෝ වලට ඇබ්බැහි වෙලා සල්ලි ගන්න මිනිහාගේ වයිෆ්වයි මාමයි මරලා ඊටත් පස්සේ අර කොල්ලෝ දෙන්නාවත් මරවලා සල්ලි ගන්න. පස්සේ මිනිහා අවුරුදු ගානකට හිරේට ගියා. ඊට පස්සේ අද වෙන තුරු ආරංචියක් ලැබුනේ නෑ. මට හරිම දුක හිතුනා බං ඉස්සර මහ රෑවත් තුන් දෙනෙක් බයික් එකේ නොගෙනියපු, තමන්ගේම සාජන්ව කූඩු කරපු අච්චර නීතිගරුක කෙනෙකුට කොහොමද මෙහෙම උනේ කියලා.
උබලා හිතන්නේ ඒක කොහොම උනා කියලාද

අර මගේ යාලුවා කිවුවානේ මම තව දුරටත් පොලිසියේ ඉන්නවද නැද්ද කියලා හිතා ගන්න බැරුවයි ඉන්නේ කියලා. මම හිතන්නේ මිනිහා අන්තිමට තීරණය කරන්න ඇති මම රස්සාව කර ගෙන පොලිසියේම ඉන්නවා කියලා. ඒ අනුව හැඩ ගැහිච්ච නිසා තමයි අවුරුදු 15 ක් වගේ කාලයකදී එස් අයි ඉඳලා ඒ එස් පී වෙන්න ඇත්තේ. එහෙම නොවුනා නම් අර කලින් වගේ හිටියා නම් දිගටම එස් අයි ම වෙන්නත් තිබුනා නැත්තම් වැඩිම උනොත් අයි පී කෙනෙක් තමයි. ඉහල නිලධාරීන්ටත් පලාතේ දේශපාලකයන්ටත් කීකරුව වැඩ කරන්න ඇති. එහෙම නැත්තං අර තෙබුවන සාජන් වගේ තමයි ඉන්න වෙන්නේ. මිනිහා අවුරුදු 23 ක් ගිහිල්ලත් තාම සාජන් කෙනෙකුට වඩා ඉහලට යන්න බැරි වෙලා තියෙන්නේ අර වගේ කීකරුව හිටියේ නැති නිසා බව පේනවානේ.

ඒත් අපේ මිනිහා ඉඳලා තියෙන්නේ අන්ත දෙකක. ඒකනේ ඒ කාලේ 1977 දී තමන්ගේම පොලිසියේ හිටපු සාජන්ව කූඩුවට දැම්මේ. ඒ එක අන්තයක්. ඊට පස්සේ කැසිනෝ වලට ඇබ්බැහි වෙලා සල්ලි ගන්න මිණීමරණ තරමට නරක් උනා.දේශපාලනයත් එක්ක බැඳිලා තියෙන දේවල් තමයි කැසිනෝ, සූදු, ගණිකා නිවාස, වයින් ස්ටෝර්ස් වගේ දුසිරිත්. තමන්ගේම නෝනයි එයාගේ තාත්තයි මරන්න මොන තරම් සාහසික වෙන්න ඕනද. ඒ අනිත් අන්තය. ටිකක් බැලන්ස් වෙලා ගියා නම් මිනිහාගේ තිබුනු දක්ෂ කමත් ඕනම යකෙක් බය වෙන පෝරිසාද ලුක් එකත් කැප විමේ හැකියාවත් නිසා හොඳ තැනකට එන්න තිබුනා. ඕකනේ බුද්ධ ධර්මයේත් කියලා තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න කියලා. මම හිතන්නේ මිනිහා මැද මාවතේ යවන්න සුදුසු උදවු කරන්න ඒ දවස් වල කෙනෙක් හිටියේ නෑ. ඒ කාලේ අපිත් බොහොම අත්දැකීම් අඩු අවුරුදු 25/26 ක විතර අය.

හැබැයි දැන් අවුරුදු 35 ක් ආණ්ඩුවේ ඉඳලා මට හොඳ අත් දැකීම් තියනවා ඕනම කෙනෙකුට දෙන්න අහන්න කැමති නම්. අන්න ඒ නිසායි අර තෙබුවන පොලිස් සාජන්ට උදවු කරන්න මම ඉදිරිපත් වුනේ. මිනිහාත් වැරදි පැත්තට යන එක නවත්තන්න මින්හාට හයියක් වෙන්න. මිනිහා තනි වෙලා නැති බව පෙන්නන්න. මට හරිම සතුටුයි මගේ එෆ් බී යාලුවෝ හුඟාක් දෙනා මේ වෙන කොට ඉදිරි පත් වෙලා තියනවා මුදල් වලින් උදවු කරන්න. දැනටමත් රු. 40300 ක් මට එවලා තියනවා. තව 40000 කුත් 15000 කුත් හෙට ලැබනවා. මගේ 40000 ත් එක්ක එට දවසේම 95000 ක් තියනවා. මම හිතන්නේ සතිය අවසාන වෙන කොට 250000 ක් පන්න ගන්න පුලුවන් වෙයි. ඒ ඇතිවෙයි මම හිතන්නේ සාජන් ගේ පවුලේ අයට. අපි කීප දෙනෙක් ගිහින් සාජන්ගේ නෝනාට ඒක බාර දෙමු. මම මුදල් පරිත්‍යාග කරපු අයගේ ලිස්ට් එකක් ශෙයා කරන්නම්.

ඒ වගේම ඒ කාලයේම එකට ස්ක්‍රබල් ගහලා ප්ලේන්ටිය ගහලා ඒ එස් පී හැටියට පොලිසියට ගිහින් අන්තිමට පොලිස් පති දක්වා ගියපු තවත් යාලුවෙක් ගැන මම පස්සේ කියන්නම්. ඒඩ්ස් මර්ධන වැඩ සටහෙනේදී එයා අපට පුදුම සහයෝගයක් දුන්නා. වැඩට දක්ෂයෙක් වුනු එයා මැද මාවතේ ගිහින් ඉහලටම ගියා. හැබැයි අපේ රටේ මැද මාවතේ යන කොට ටිකක් කුණු ගෑවෙනවා. ඒත් කුණු වළට නොවැටී ගැට්ට දිගේ ගානට යන සිස්ටම් එක අපේ අනිත් යාලුවා දැන ගෙන හිටියා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී