දරුවන්ගේ ඛේදවාචකය හෙවත් පහේ ශිෂ්‍යත්වය

ඊයේ සෙනසුරාදා මම කපලා එකක් නිදා ගෙන රහට හීනයකුත් බලා ගෙන ඉන්න අතරේ හවස 3ට විතර මගේ හොඳම යාලුවා තේ එකකුත් අරගෙන ඇවිල්ලා හීනියට මගේ කෙස් නැති ඔලුව අතගාලා නැගිට්ටවලා මගෙන් ඇහුවා අනේ අද මට අර අම්මගෙ දානෙට බඩු වගයක් ගන්න යන්න තියෙනවා ඔයාට පුලුවන්ද ඩිස්පැන්සරියට ගිහිං ලෙඩ්ඩු ටික බලලා එන්න කියලා. ඉතිං මම නැගිටලා සරම හදාගෙන තේ එක එහෙම බීලා වොෂ් එකක් දාලා ගියා බියගම ඩිස්පැන්සරියට. ගිහිල්ලා ලෙඩ්ඩු ටික බැලුවා. ඒ පැය හතර ඇතුලත අවුරුදු දහයේ විතර පොඩි එවුන් පස් දෙනෙක් අර ගෙන ආවා එක එක ලෙඩ කියා ගෙන. මුලින්ම ගෙනාපු කෙල්ලගේ කණක් රිදෙනවා කියලයි ගෙනාවේ.පොඩි එවුන් ගේන හැම වෙලාවකම මට මගේ ළමයින්ගේ පුංචි කාලේ උන්ගෙන් පේනවා. මම ඉතිං පටන් ගන්නේම උන්ට විහිලුවක් කරලා ඔලුව එහෙම අතගාලා යාලු වෙලා තමයි. මේ කෙල්ලත් ඒ වගේ යාලු කර ගෙන හොඳට බැලුවත් මට ඒකිගේ කණේවත් උගුරේ වත් කිසිම ලෙඩක් අහු උනේ නෑ. අපේ මිනිස්සුන්ගේ වැඩක් තියෙනවා බේත් දුන්නේ නැත්තම් උන් වෙන තැනකට යනවා. ඉතිං මම කෙල්ලව එක්ක ආපු තාත්තාට කිවුවා බය වෙන්න දෙයක් නෑ හෙට වෙන කොට හරි යයි කියලා පැනඩෝල් ටිකකුයි තව විටමින් පෙත්තකුයි දුන්න. යන ගමන් තාත්තා කිවුවා මෙයාට හෙට ශිෂ්‍යත්ව විභාගේ තියනවා කියලා.කෙල්ලට බනින්න ගත්තා බොරුවට උදේ ඉඳන්ම කණේ ඇඟිල්ල ගහ ගෙන පාඩම් කලෙත් නෑ මම බලා ගන්නම්කෝ විභාගේ පාස් උනේ නැත්නම් කියලා.
ඒක අහලා මට මාර දුකක් ඕයි ආවේ. අනිත් ලෙඩ්ඩුන්ට පොඩ්ඩක් ඉන්න කියලා මම එලියට ඇවිත් අර තාත්තාට පැත්තකට කතා කරලා කිවුවා මොකක්ද අර කියපු ගොන් කතාව. ඔයා දන්නවාද ඔය දරුවාගේ හිතට මොන තරම් කම්පනයක් ඇති වෙන්න ඇද්ද, දැන් හෙට ළමයා යන්නේ මොන තරම් බයකින්ද, දන්න ඒවාවත් ලියා ගන්න බැරි වෙයි කියලා. තව කරුණු පැහැදිලි කරලා දීලා කිවුවා දැන් යන ගමන් කෙල්ලට කියන්න කියලා දුවේ ඔයා බය වෙන්න එපා, ඔයා ෂුවර් එකටම විභාගේ පාස් වෙනවා. ඒ හින්දා මයෙ පුතා දන්න දේවල් හොඳට ලියලා එන්න කියලා.ඒ වගේම ඔයාට ලොකු ඉස්කෝලෙකට යන්න ලකුණු මදි උනොත් මම ඔයාව කොහොම හරි හත වසරෙදි හොඳ ඉස්කෝලෙකට දාන්නම් කියලා. එතකොට මෑන් කියනවා දැන් අවුරුදු එක හමාරක ඉඳන් පංති යවනවා. ඊට අමතරව මාස හයක් ඉඳන් ගෙදරට ටීචර් කෙනෙක් ඇවිල්ලා ඉගැන්නුවා ලොකු බලාපොරොත්තුවකින්. ඉතින් මෙහෙම බොරු ලෙඩ ගන්න කොට තරහා යන්නේ නැද්ද කියලා. මට වෙලාව නැති උනත් මම අර පොඩි කෙල්ල ගැන හිතලා මම කිවුවා දැන් ඔයා ඔය වයසේ ඉන්න කොට විභාග පාස් කරන්න උවමනාවක් තිබුනාද. සෙල්ලම් කරන එක නේද කලේ. ඉතින් මේ වයසේ ලමයි එහෙමයි. එයාට පුලුවන් හැටියට කරන්න දෙන්න. එහෙම නැතුව ඔහොම කරන්න ගියොත් ඔය ළමයා මානසික ලෙඩෙක් වෙන්න පුලුවන් කියලා. මෑන් කිවුවා නෑ නෑ එහෙම වෙන්න විදියක් නෑ අපේ පරම්පරාවේ පිස්සෝ කවුරුත් නෑ ඩොක්ටර් කියලා. මට තේරුනා මූට මල පැන ගෙන එන්නේ කියලා. තව කියන්න ගියා නම් ඌ මට මීට අවුරුද්දකට කලින් නැති වෙච්ච මගේ අම්මාවත් මතක් කරලා දෙයි කියලා බය වෙන්න එපා ඔය බෙහෙත් වලට ලෙඩේ හොඳ වෙයි කියලා පිටට එකකුත් ගහලා ඇතුලට ආවා. වැරදිලාවත් ඌ ඊට පස්සේ එතෙන්ට බෙහෙත් ගන්න එන එක නැවැත්තුවොත් මට යාලුවාගෙන් බර බරේ ලැබෙනවාමයි ඔයා ගියොත් ඉතිං ඔය වගේ වැඩක්ම තමයි කරලා එන්නේ. සති දෙකක් ඔයා ගියොත් මට ඕක වහන්නයි වෙන්නේ කියලා. කොහොම උනත් මම රෑ ගෙදර ඇවිත් කිවුවාම එයා කිවුවා මහ ගොන් තාත්තා කෙනෙක්නේ ඔයා එහෙම කියපු එක හොඳයි කියලා.මට ඉතිං ෆුල් සැටිස්.
ඔය කේස් එකෙන් පස්සෙත් සැරින් සැරේ මම අර මුලින් කිවුවා වගේ තව ඔය වයසේ ළමයි හතර දෙනෙක් ගෙනාවා. උන් දෙන්නෙකුට පපුව රිදෙනවා කියලා. අනිත් එක්කෙනා බඩ රිදෙනවා කියලා. බලන කොට මේ ළමයි එක් කෙනෙකුටෙවත් කිසිම ලෙඩක් තිබුනේ නෑ.අර මුල් කේස් එක මතක නිසා මම අම්මලාගෙන් ඇහුවා මෙයා හෙට ශිෂ්‍යත්වෙට යනවාද කියලා. එතකොට ඒගොල්ල හැමෝම කිවුවේ ඔවු ඩොක්ටර් කොහොම හරි එක වේලෙන් හොඳ වෙන්න බෙහෙත් දෙන්න කියලා. වෙන වෙලාවක නම් මම කියනවා අන්න අර කොහේද තැනක ඊශ්වර දෙයියන්ගේ බලයෙන් අත තියලා ලෙඩ හොඳ කරන එකෙක් ඉන්නවාලු ඌ ලඟට යන්න කියලා. ඒත් විහිලු කරන වෙලාවක් නොවන නිසා මම පොඩි බෙහෙත් ටිකක් දීලා ලාවට ප්‍රශ්න ටිකක් ඇහුවා. ඒ ගොල්ලා කිවුවෙත් දැන් සෑහෙන කාලෙක ඉඳලා පංති යවනවා මේක කර ගන්න බැරි උනොත් මේ ලොකු ඉස්කෝලෙකට දාගන්නේ කොහොමද, ප්‍රින්සිපල්ලාට දෙන්න අපිට කොහේද මහත්තයෝ සල්ලි. මේක තමයි එකම චාන්ස් එක කියලා.අන්තිමට ගෙනාපු කෙල්ලට නම් බඩ යනවා කියලයි ගෙනාවේ. ඒකත් හුඟක් වෙලාවට විභාගයට තියෙන බයට හැදිච්ච එකක් වෙන්න පුලුවන්. එයාටත් මම බෙහෙත් ටිකක් දීලා යැවුවා. මම අර පස්සේ ආපු හතර දෙනාගෙන් සල්ලි ගන්න එපා කියලා ඩිස්පෙන්සර් කෙල්ලට කියලා අම්මලාට කිවුවා ඔන්න ශිෂ්‍යත්වෙට මගෙනුයි මැඩම්ගෙනුයි තෑග්ගක් කියලා. ඉස්සර බියගම ඩී එම් ඕ වෙලා හිටි නිසා යාලුවාට කවුරුත් කියන්නේ මැඩම් කියලා. අර පරම්පරාවේ කාටවත් පිස්සු නැති එකාගෙන් විතරයි සල්ලි ගත්තේ කලින් දැනගෙන හිටියේ නැති නිසා ශිෂ්‍යත්ව කතාව.
ඔන්න ඕකයි තත්වය. අර ළමයි සේරටම තිබුනේ බය. විභාගයටත් වඩා පේල් වෙලා ගෙදර එන්න තියන බය. පැය හතරට අපේ තැනට පස් දෙනෙක් ආවා නම් රට පුරා ඔය වගේ දේවල් කොච්චර වෙන්න ඇත්ද. ඒ අයගෙන් තුන් දෙනෙක් හවස බෝධි පූජා කරන්නත් ළමයින්ව එක්ක ගිහිල්ලා.
මම මේ කතාව මූණු පොතේ ලියන්න හිතුවේ අද අපේ අධ්‍යාපන ක්‍රමයට වෙලා තියන අන්තිම දුක්ඛදායක තත්වය පෙන්නන්නයි. මේ ක්‍රමය නිසා අපේ රටේ පුංචි දරුවන් මොනතරම් පීඩනයකට පත් වෙලා තියනවාද. අවුරුදු නවයේ දහයේ පොඩ්ඩන්ගේ ලමා කාලය මේ කෙහෙල් මල් ශිෂ්‍යත්වයක් නිසා උන්ට අහිමි කරලා තියෙනවා. උන්ව රොබෝලා කරලා තියෙනවා. උන්ට උගන්වන්නේ සිරස් අතට උඩට යන්න මිසක් තිරස් අතට තියන අනිත් දේ ගැන අවබෝධයක් ලබන්න නෙවෙයි. අපි පොඩි කාලේ ඔය ශිෂ්‍යත්ව ක්‍රමයක් තිබුනේ නැති නිසා අපිට අවුරුදු 14 ක් විතර වෙනකම් ලමා කාලය අත් විඳින්න ලැබුනා. ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් දවල්ට කාලා හවස 6 ට විතර අම්මා කෝටුවකුත් අරගෙන ඇවිල්ලා "හා හා දැන් ඉතිං ගිහිල්ලා ඇඟ හෝදගෙන පාඩම් කරන්න කියන කන්ම අපි හිටියේ අපේ ලෝකයේ.ඊ ලඟට සෙනසුරාදා ඉරිදා. ඒ කාලේ අපිට දවස හරි දිගයි. ඒ ලෝකය හරිම සුන්දරයි. ඊට පස්සේ ජීවිතයේ මොන තරම් දේවල් ලැබුනත් අර සුන්දරත්වය ඒ එකකවත් නෑ.
මට මතක් වෙනවා මඩොල් දූව චිත්‍රපටියේ වික්ටර් රත්නායක මහත්තයා කියන 'කොහේද කොහේද අපේ ලොවක්" කියන සිංදුව. මේක ඇහෙන කොට මම හිතෙන් ආයිමත් මගේ ඒ ලෝකයට යනවා.අහලා නැති අයට අහන්න මම ඒ ලින්ක් තුනක් දානවා. ඒවායින් තුන්වෙනි එකේ අර පොඩි පැංචෝ පැංචියන් ඉන්න විදියට තමයි අපි ඒ කාලේ හිටියේ. ඇත්තෙන්ම මේ සිංදුව රස විඳින්න පුලුවන් පොඩි කාලයේ ඒ ලෝකයේ හිටපු එවුන්ට විතරයි. පොඩි කාලයේ ලැබූ ඒ අත් දැකීම් නිසා මම මගේ මුලු ජීවිතයම විඳවන්නේ නැතුව වින්දා. අදටත් එහෙමයි. මොන කරදර ආවත් අපි විඳවන්නේ නෑ. මෑතකදී අපෙන් වියෝ වුනු මගේ මිත්‍ර ආරියසේන ගමගේ මහත්තයා අර තරම් සුන්දර කෙනෙක් උනෙත් මේ නිසායි. මිය යන්නට දවස් දෙකකට කලිනුත් හිටියේ ඉතාම සමබර සිතකින්. එදා මට කිවුවා "මචං එදිරි මං හදාපු සරදියෙල් ගමෙන් එන ආදායමත් එක්ක මට රජෙක් වගේ ඉන්න තිබුනා. ඒත් ටිකට් එක ආවානේ" කියලා හිනා වුනා. සිනා මුසු මුහුණින් මරණයට මුහුණ දුන් අපේ කාලයේ උදාර මිනිහෙක්. මම මේ උදාහරණයක් හැටියට ගත්තේ ජීවිතය සම්පූර්ණයෙන්ම විඳපු මිනිහෙක්ව.විඳවන ලෙඩක් තිබිලාවත් විඳෙවුවේ නැති විත්තිය මුහුණු පොතේ එතුමාගේ යාලුවෝ දන්නවා. මමත් කවදාහරි මගේ මරණයට මූණ දෙන්නේ එහෙමයි. අපට එහෙම කරන්න පුලුවන් වෙලා තියෙන්නේ අපි අපේ ජීවිතය ඒ තරම් බැරෑරුවට නොගෙන ෆුල් සොමියේ හිටපු නිසායි.වැරදිලාවත් හිට්ලර් ඇවිත් ගෙස්ටපෝ එකට දැක්කුවොත් නම් ඉතිං විඳවන්න වෙනවා.
ඒත් අද මේ අහිංසක දරුවන්ට එහෙම ජීවිතයක් ගත කරන්න ඉඩ දීලා තියෙනවාද මේ කාලකන්නි අධාපන ක්‍රමය. මේ සමාජ ක්‍රමය තුල දොස්තර, ඉන්ජිනේරු වගේ රස්සාවල් වලට අනවශ්‍ය තත්වයක් දීලා තියෙනවා. මෙහේ දොස්තරලාට හිතෙන් කොහොම උනත් ගතින් වඳින තත්වයක් ඇති කරලා තියෙනවා. එංගලන්තය වගේ රට වල දොස්තර කියන්නේ තවත් එක රස්සාවක් විතරයි. ඒ නිසා කවුරුවත් තමන්ගේ දරුවන් දොස්තරලා කරන්න මැරෙන්නේ නෑ.1986 දී මම රුසියාවට ගිය වෙලාවේ දැක්ක එහේ දොස්තරට වැඩිය පඩි ලැබෙනවා ඉස්පිරිතාලේ කම්කරුවාට. දොස්තරට තියෙන එකම වාසිය තමයි අර අනිවාර්ය හමුදා සේවය නැති එක. මම දන්නේ නෑ දැන් කොහොමද කියලා.
ලංකාවේ දෙමවුපියන් තමන්ගේ දරුවන් දොස්තරලා ඉන්ජිනේරුවන් කරන්න හිතේ තියාගෙන ඒකට පලවෙනි ඉසවුව වෙන හොඳ ඉස්කෝලෙකට දා ගන්න ශිෂ්‍යත්වයට දරුවා මරවණවා. පහේ පන්තියේ ඉන්න ළමයි උදේ ගියාම ගෙදර එන්නේ රෑ වෙලා. සමහර පංති තියෙනවා පටන් ගන්නේ උදේ පහට. එක පංතියේ ඉන්නවා ලමයි දාහක් විතර. සමහර උන් නිදි කිරා වැටෙනවා. පව් ඕයි. ඒ නිසා ඉස්සර අපට වගේ නෙවෙයි උන්ට දවස කොටයි. කොච්චර මැරෙවුවත් අර චාන්ස් එක ලැබෙන්නේ මම හිතන්නේ සීයට දහයකට විතරයි. අපේ රටේ අවුරුද්දකට උපත් ලක්ෂ තුන හමාරක් හතරක් අතර ප්‍රමාණයක් වෙනවා. ඔයින් ලක්ෂ තුනක් ශිෂ්‍යත්වෙ කලොත් 10% ක් කියන්නේ 30000ක්. මම හිතන්නේ නෑ එච්චර ගානකට ලොකු යයි කියන ඉස්කෝල ලැබෙයි කියලා. ඒ ලැබුනත් දෙලක්ෂ හැත්තෑදාහක් අවුරුදු දහයේදී අපේක්ෂා භංගත්වයට පත් වෙනවා. මෙයින් කීදෙනෙක් මානසික කම්පනයකට පත් වෙනවාද. අර මගේ ලඟට ආපු කණේ අමාරුව හැදිච්චි ලමයාගේ තාත්තා වගේ තාත්තලා තව කොච්චර ඇත්ද දරුවන්ට තර්ජනය කරපු. ඒ දරුවන්ට මොනවා වෙයිද. ශිෂ්‍යත්වය පාස් උනත් අර කට් ඕෆ් Cut off ලකුණු ගත්තේ නැත්තම් ලොකු ඉස්කෝලෙකට යන්න බෑ. ලංකාවේ තියන ජනප්‍රියම පාසල් දහයෙන් එකකට යන්න නම් ලකුණු දෙසීයෙන් එකසිය අසූවකට වැඩිය ගන්න ඕන. ඒවාට 3000 ක් ගත්තා කියමු එතකොට අනිත් අය.
1947-48 දී අධ්‍යාපන ඇමති වෙච්ච නිදහස් අධ්‍යාපනයේ පියා කියලා අඳුන්නපු ආචාර්ය සී ඩබ්ලිවු ඩබ්ලිවු කන්නන්ගර මහතා මධ්‍ය මහා විද්‍යාල 55ක් හදලා බලාපොරොත්තු වුනේ ගම්බද ඉස්කෝලවල දක්ෂ ලමයි හයේ පන්තියට පහේ ශිෂ්‍යත්වයෙන් ඇතුල් කරවන්න. ඒ කාලේ ඒ 55 ඇති වුනත් මේ වෙන කොට තියෙන ජාතික පාසල් ගාන 300 ක් විතර ඇති.මේවායිනුත් ගොඩක් නමට ජාතික පාසල්. මෙයින් එකකට 100 ගානේ ගත්තත් 30000 යි ගන්න පුලුවන්.1971දී මම උසස් පෙල විභාගය කරද්දී විභාග කරපු මුලු ගණන හැට දහසක් විතර ඇති.මේ අවුරුද්දේ උසස් පෙලට තුන් ලක්ෂ විසි පන් දාහක් ඉන්නවාලු. ඒකට හේතුව උනේ ඒ කාලේ සාමාන්‍ය පෙල පාස් කට්ටියට රස්සාවල් ඕන තරම් තිබුන නිසා උන් ඒවාට ගියා. ඒත් අද සාමාන්‍ය පෙල පාස් වෙච්ච එකෙකුට යන්න පුලුවන් පාර්ලිමේන්තුවට විතරයි.මේ අවාසනාවන්ත කතාවේ ඉතුරු ටික හෙට.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී