මම මේ දවස් වල වැඩ කරන තැන පිරිසිදු කරන්න ඉන්නේ අබාන්ස් කියන ආයතනයේ අය. මම උදේ 6.15 ට යනකොටත් සමහරු වැඩ. එක දවසක් උදේ මම වැඩ කර කර ඉන්න කොට ගෑනු දෙන්නෙක් දුව ගෙන ඇවිත් කිවුවා "අනේ ඩොක්ටර් අපේ එක්කෙනෙකුට හොඳට අමාරුයි වැටිලා ඉන්නවා" කියලා. එතන වැඩ කරන අයට බෙහෙත් කරන එක මට අයිති නැති උනත් මම පහලට ගියා පඩි පෙල දිගේ. යනකොට එක ගෑනු කෙනෙක් ඉන්නවා හොඳටම හති. අනිත් අය හිතලා තියෙන්නේ පණ අදිනවා කියලා. රෝග ඉතිහාසයක් අහ ගන්න තරම් තත්වයක නෙවෙයි එයා හිටියේ ඒ වෙලාවේ. මම ලෙඩාව බලලා වහාම මේ බේත ගෙනත් දෙන්න කියලා ඉන්ජෙක්ශන් එකකුයි ඉන්හේලර් එකකුයි ලියලා දුන්නා. විනාඩි විස්සකින් විතර ඒ බෙහෙත් කරලා යන්තම් ගෑනි ගොඩ දා ගත්තා. ඊට පස්සේ විස්තර අහලා මම වැඩ කරන කාමරයට ගෙන්න ගෙන බලලා අනිත් අවශ්‍ය බෙහෙතුත් දීලා යැවුවා.
ඊට දවස් පහකට විතර පස්සේ උදේ හතට විතර ගෑනි ආවා තේ එකකුත් අර ගෙන. මම ඇහුවාම මේ මොකද මම තේ ඉල්ලුවේ නෑනේ කියලා කිවුවා නෑ නෑ සර් මේ අපට හදා ගන්න දීලා තියන ඒවායින් ගෙනාවේ කියලා. මම ඉතින් ස්තුති කරලා ගත්තා. ඊට පහුවදාත් මේකි තේ අරගෙන ආවාම මම කිවුවා මට ඔහොම තේ ගේන්න එපා. මට තේ ගේන කෙනෙක් ඉන්නවා මම එයාට සල්ලි දෙනවා ඒවාට කියලා. තුන් වෙනි දවසෙත් ගෙනාවාම මම තදින් කිවුවා මට මෙහෙම ගේන්න එපා. මට මේ වැඩ කරන කොම්පැනියෙන් නිකං තේ බොන්න අයිතියක් නෑ කියලා කිවුවාම මේකි කියනවා මම මැරෙන්න හිටපු වෙලාවේ ඩොක්ටර් ඇවිත් බෙහෙත් නොකලා නම් මට මොකද වෙන්නේ. අබාන්ස් එකට කියලා ඒ ගොල්ලා එන කම් හිටියා නම් මම මැරිලා. ඉතින් මට වෙන උදවුවක් කරන්න බැරි නිසායි මම මෙහෙම කෙරුවේ. මම කිවුවා ඒ උනත් මට අයිතියක් නැති එකක් ගන්නවා කවුරු හරි දැන ගත්තොත් ඒක මට හරි නෑ ඒ නිසා ගේන්න එපා කියලා පොරොන්දු කරවා ගත්තා තවත් නොගෙනෙන බවට.
ඔන්න බලාපල්ලා පොඩි මිනිසුන්ට උදවුවක් කරපුවහම උන්ගේ තියන කෙලෙහි ගුණ දන්නා ගතිය. මම ආණ්ඩුවේ වැඩ කරන දවස් වල දහස් ගණනක් ඔය වගේ උදවු කරලා ඇති ඒ උනත් ඒ බව මතක තිබුනේ සුලු පිරිසකටයි.මට පොඩි කාලේ මගේ තාත්තා කියලා දීපු එකක් තමයි පුතේ ඕනම කෙනෙකුට කරන්න පුලුවන් උදවුවක් කරන්න. හැබැයි කරපු ගමන්ම ඒක අමතක කරන්න මොකද ඒ උදවු ගත්ත අයම දවසක ඔයාට රිදවන්න පුලුවන් නිසා, ඒ වගේම ඔයාට කවුරු හරි උදවුවක් කලොත් මැරෙන කම් ඒක මතක තියා ගන්න කියලා. ඒ නිසා මම උදවු කරපුවා මම මතක තියා ගෙන ඉන්නේ නෑ. මේ වගේ කෙනෙක් අර වගේ දෙයක් කරාම තමයි මට මතක් වෙන්නේ උදවුවක් කලා කියලා.
ඊට පස්සේ ඊයේ උදේ මේ මනුස්සයා ආවා මාව හම්බ වෙන්න කැස්ස හැදිලා බෙහෙත් ටිකක් ලියව ගන්න කියලා. ඉතින් මම ඒ වැඩේ කරලා දීලා ඇහුවා දැන් මේ බෙහෙත් වලට අබාන්ස් එකෙන් සල්ලි දෙනවාද කියලා. මෙයා කිවුවාම නෑ කියලා මම ඇහුවා මාසෙකට කීයක් පඩිය ගෙවනවාද කියලා. එතකොට කිවුවා අතට හම්බ වෙන්නේ දාසය දාහයි කියලා. විස්තර අහලා බැලුවාම පානදුරේ ඉඳලාත් රු විස්සක දුර යන්න ඕනලු. රු. අටසීයක් එතෙන්ටම මාසෙකට. බම්බලපිටියේ ඉඳන් පානදුරේට යන්න කෝච්චියේ සීසන් තියනවාලු. උදේ හතේ ඉඳන් හවස හය වෙන කම් වැඩලු. හරිම අමාරුවෙන්ලු ජීවත් වෙන්නේ. මම ඇහුවාම දැන් ඉතින් ලේසි වෙයිනේ මහින්ද මහත්තයා ආවානේ කියලා ගෑනි කිවුවා එහෙම උනොත් හොඳයි හැබැයි රනිල් මහත්තයා එලවපු එක නම් හොඳයි කියලා. මම ඇහුවාම ඇයි කියලා ගෑනි කියනවා එයා බැංකුවේ සල්ලි කෝටි ගනන් හොරකම් කරපු නිසානේ මේ සේරම කියලා. මම ඇහුවාම එතකොට මහින්ද මහත්තයා හොරකම් කරලා නැද්ද කියලා ගෑනි කිවුවා ඒ බොරු එහෙම කරලා තිබුනා නම් රනිල් මහත්තයා අල්ල ගන්නවානේ කියලා. මම එතනින් එහාට කතා කරන්නේ නැතුව රු 500 ක් දීලා කිවුවා ඔය බෙහෙත් වලට 300ක් විතර යයි ඉතුරු මට ගෙනත් දෙන්න කියලා ගෑනි කිවුවා එපා ඩොක්ටර් මට නිකම් බෙහෙත් ලියලා දුන්නානේ. ඩර්ඩන්ස් එකට ගියා නම් රු දෙදාස් පන්සීයක් ගන්නවා බෙහෙත් ලියලා දෙන්න කියලා. ඒත් මම බල කරාම ඒක අරගෙන මට හවස රු 210 ක් ගෙනත් දුන්නා.
මම වැඩ කරන තැන ලොක්කාට මාසෙකට රු මිලියනයකට වඩා ලැබෙනවා. වාහන ඩ්‍රයිවර් පෙට්‍රල් ලැබෙනවා. පොරට මම අර බෙහෙත් ටික ලියලා දුන්නා නම් ඌට යන්නෙත් රු 290 යි. රු දාසයදාහක් ගන්න එකාටත් ඒ ගානම දෙන්න වෙනවා. මේක සාධාරණද බං. ඒ වගේම කඩෙන් ගන්න සීනි, පිටි, හාල් වගේ අත්‍යවශ්‍ය දේ වලටත් අර ගෑනිත් අර ලොක්කාත් ගෙවන්නේ එකම ගානමයි. මේ බඩු වල මිලෙන් සෑහෙන ගානක් බදු නිසා අර දෙන්නාගෙන්ම එකම බදු මුදල කපා ගන්නවා. මේක සාධාරණද බං. අර නාගානන්ද මහත්තයා කියන විදියට අල කිලෝ එකක් වරායට එන කොට වෙන්නේ රු 12 යිලු. ඉතිරි ඔක්කොම බදු. ඒක ඇත්ත වෙන්න ඇති මොකද මීට මාස 6 ට විතර ඉස්සර අපි ඉන්දියාවෙන් අල ගත්තේ කිලෝවක් ඉන්දියන් රුපියල් පහකට.එහෙම නම් අනිත් ඒවාට ගහන බදුත් ඒ වගේම වෙන්න ඇති. රු. සීයක ෆෝන් කාඩ් එකක් ගත්තම ඒකෙන් රු 40 ක් ආණ්ඩුවේ බදු කියලා කොම්පැනි කාරයෙක් කිවුවා.මගේ ගිය මාසේ ෆෝන් බිල රු. 728 යි. ඒකෙන් බදු 239 යි. ඩයලොග් කාරයාගේ කුලිය රු.330 යි. එතකොට 30% කට වැඩිය බදු. අර මිලියනයක් පඩි ගන්න එකාත් දාසයදාහක් පඩි ගන්න එකාත් එකම බද්ද ගෙවන්න ඕන ෆෝන් එකට.මේක සාධාරණද බං. අපේ ගෙදර වැඩට ඉන්න එක්කෙනාට අපි මාසෙකට 30000 ක් දෙනවා කෑමත් එක්ක. එතකොට එයාට 30000 ඉතිරියි. නමුත් අරුන්ට එහෙම කරන්න බෑ උන්ට ගෙවල් වල වැඩ තියන නිසා. අනික අද මාසෙකට රු. 30000 ක් ඉතුරු කරන්න නම් කීයක් හම්බ කරන්න ඕනද. ඒ අතින් ගෙදරක වැඩට යන එක ආණ්ඩුවේ රස්සාවකට යනවාට වඩා හොඳයි.
අඩු ආදායම් ලබන එකා ජීවත් වෙන්න දඟලත්දී තියන එකා කැපී පේන්න දඟලනවා. බලාපල්ලා පාරේ යන වාහන දිහා. සල්ලිකාර පොරවල් වාහන ගන්නේ තරඟෙට ඒ අතරේ දුප්පත් එකා බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා හරි යන්න දුවනවා තරඟෙට.හොඳට මිනිස්සුන්ගේ ලේ උරා බොන දොස්තරලා අඩුවෙල් ලේ බොන එවුන්ගෙන් කැපී පේන්න පෝච්, බීඑම් ඩබ්ලිවු, බෙන්ස් වගේ ඒවායේ යනවා. උන් ඒවා ගන්නේ උන්ගේ පොහොසත් කම පෙන්නන්නයි. මේක සාධාරනද බං. අර දාසය දාහක් හම්බ කරන එකා වගේ එවුන්ගෙන් 2500 ක් අරගෙන මෙහෙම කරන එක. දේශපාලුවෝ කියන්නේ කොහොමත් නූගත් මුල ඉඳන්ම හොරු. නමුත් දොස්තරලා එහෙමද. ඊලඟට නීතිඥයෝ. උන් ලඟට එන එවුන්ගේ ගෙවල් දොරවල් උගස් කරලා ගන්න සල්ලි කිසිම හිරිකිතයක් නැතුව අරගෙන ඒවායින් මහන්තත්තෙ පෙන්නනවා. මගේ යාලු අපේ කාලේ නීතිඥයෙක් කිවුවා ඒකාලේ ෂුවර් එකටම පරදින නඩු උන් බාර ගන්නේ නැතුව කියනවාලු මේක උඹට දිනන්න බෑ කියලා. ඒත් අද ඉන්න උන් එහෙම දැන දැනත් ඒ නඩු බාර ගෙන අන්තිම වෙන කන්ම ඌව සුද්ද කරනවාලු. සමහර දොස්තරලත් ඉන්නවා හොඳ කරන්න බෑ කියලා දැන දැනත් අන්තිම මොහොත වෙන කම් ඔපරේෂන් කරනවා. අන්තිමට මිලියන් ගානක් ගෙවලා අරූ මැරිලා යනවා. මේ ලඟදී මූණු පොතේ යාලුවෙකුත් පිලිකාවකින් මැරුණා. මැරෙන්න සතියකට ඉස්සෙල්ලාත් ඔපරේෂන් එකක් කලා ලංකා හොස්පිටල් එකේ. මිලියන තුනක් ගෙවලා මැරුණා. මේ සේරමලා අර මම කලින් කිවුව ඒවාට ගෙවන්නේ එකම බදු. දුප්පත් එකා ගෙවන ගානම. මේක සාධාරණද. මේවා වෙනස් වෙන්න ඕන නැද්ද.
මහ බැංකුවත් සුද්ද කරපු රනිලා වෙනුවට ඊට හපන් වැඩ කරපු අප්පච්චි ආවාම මේ සේරම හරියයි කියලා කවුරු හරි කියනවා නම් ඌට වඩා ගොනෙක් තවත් නෑ. ඒ වගේ එවුන්ට යන්න හොඳම තැන තමයි පාර්ලිමේන්තුව.
මේකට මේ ධනවාදී ක්‍රමය තුල කරන්න තියෙන හොඳම දේ මොකක්ද කියන්න අද ඉඩ මදි. ඒ නිසා ඒක හෙට බලමු. හැබැයි ඒක නිවැරදි විසඳුම නෙවෙයි. නිවැරදි විසඳුම ඊට වඩා හුඟක් දුරයි.


මගේ පෝස්ට් එකට ආපු කමෙන්ට්ස් දෙක තුනක් දැක්කාම මට මතක් උනා ඉස්සර අපේ ආත්තම්මා කියලා දීපු කතාවක්. එක විලක හිටපු හංසයෙක් දවසක් අනෝතත්ත විලට පියාඹ ගෙන ගිහිල්ලා දවස් කීපයක් නැවතිලා ඉඳලා ආපහු තමන් හිටපු විලට ගිහිල්ලා ඒකේ හිටපු අයට අනෝතත්ත විලේ අසිරිය කියන්න පටන් ගත්තා. අවට හිටපු සේරම සත්තු බොහොම ආසාවෙන් අනෝතත්ත විලේ අසිරිය අහගෙන ඉන්නවාලු. විල වටේට තියන මල් වල ලස්සන, සුවඳ, ඒවායේ ඉන්න සමනල්ලු, ඈතින් වටේට ඉඳගෙන බවුන් වඩන තාපසයින්, රහතුන් වහන්සේලා, ලස්සන සුරංගනාවියන් කියන ගීත වගේ තව නොයෙක් දේවල්. සත්තුත් නොයෙක් විදියේ ප්‍රශ්න අහනවාලු. ඒ අතරේ හිටපු කොකෙක් ඇහුවාලු අනෝතත්ත විලේ කුඩමසුන් ඉන්නවාද කියලා. අර තරම් වටිනා තැනක් ගැන කියද්දී ඌට ඕන වුනේ විලේ ඌට කන්න කුඩ මසුන් ඉන්නවාද කියන එක විතරයි.
යමක් යමෙකුට තේරෙන විදියට සන්නිවේදනය කරන ක්‍රම තියෙනවා. ඒකෙදි තමා ඉස්සරහා ඉන්න ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂනය එහෙම නැත්නම් අවධානය තමාගේ මාතෘකාව මත රඳවා ගැනීම අවශ්‍ය වෙනවා. කතාවක් කියන කොටත් එහෙමයි. අර උම්මග්ග ජාතක පොත පටන් ගන්නවා වගේ තවද එක් සමයෙක් හි ශාක්‍යසිංහ වූ, සමන්තබද්‍ර වූ, අසම සම වූ, ත්‍රයිලෝක තිලක වූ, ත්‍රිභූවන චූඩා මාණික්‍ය වූ කියලා පටන් ගත්තා නම් කවුරුවත් කියවන්නේ නෑ. ඒ නිසා මම යමක් පැහැදිලි කරන විට අනුගමනය කරන ක්‍රමයක් තියනවා. මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශන කරන කොටත් ඔය වගේ ක්‍රමයක් අනුගමනය කල නිසා පැය තුනක් වුනත් හැම කෙනෙකුගේම අවධානය නොකැඩී තියා ගන්න මට පුලුවන් උනා.
මගේ කතාව ලියන කොට ගෑනි යන වචනය වෙනුවට මොකක් යෙදිය යුතුව තිබුනේද කියලා මම පසුව කල්පනා කලා. ස්ත්‍රියද, ගෑණු කෙනාද, බවලතාද, නෝනාද, නෝන මහත්තයාද, මැතිනියද කියලා පාවිච්චි කලා නම් කියන්න වෙන්නේ එක්කෝ උදේ හතට විතර මේ ස්ත්‍රිය ආවා තේ එකක් අරගෙන කියලා, නැත්නම් මේ ගෑණු කෙනා ආවා තේ එකක් අරගෙන, අර බවලතා ආවා තේ එකක් අරගෙන කියලායි. අනිත් තුන මම හිතන්නේ නෑ ගැලපෙයි කියලා. අර විදියට කිවුවත් මම අනිත් පාවිච්චි කරලා තියෙන වචන එක්ක ගැලපෙන්නේ නෑ. එහෙම නම් ඒවාත් වෙනස් කරන්න වෙනවා.
//හිමිදිරියේම මෙම ස්ත්‍රිය තේ පැන් බඳුනක් රැගෙන මා සමීපයට එලඹ කල්හි එම්බා ස්ත්‍රිය තී කිනම් කරුණක් නිසා මෙය මා කුටියට රැගෙන ආවාහුදැයි විචාල කල්හි සමාවුව මැනැවි වෙදනාණෙනි අප බොහෝ සේ දුක්ඛිත වම්හ එබැවින් කෙලෙහිගුණ දැක්ම සඳහා මෙසේ දීමට මා සිත් නැමුනේ වම්හයි ඇය කීවාහුය//.
මේවගේ කතාව පටන් ගත්තා නම් කවුරුවත් වැඩි දුර ඒක කියවන්නේ නෑ.එතකොට මට කියන්නට අවශ්‍ය දේ කියා ගන්න ලැබෙන්නේ නෑ. අනික මගේ හොඳම යාලුවා වත් මම සමහර තැන් වලදී ගෑණි කියලා හඳුන්වලා තියෙනවා බොලාට මතක ඇති. ඔය විදියට මිනිහා කියලා කිවුවොත් පිරිමි අය තරහා වෙන්න පුලුවන් . ඒ නිසා මම ගෑණි කියන වචනය යෙදුවේ ඒ ගෑණිට අපහාස කරන්න නෙවෙයි. අනික මම ඒ ගෑණිගේ මූනට ගෑණි කියලා කිවුවේ නෑ නේ. ඒ නිසා බොලා ඔන්න ඕක ඔච්චර ගනන් ගන්න එපා. මම බොලාට බොලා කියන එක ගැන බොලාගේ කාටවත් තාම අප්සෙට් එකක් උනේ නැති එක ගැන මට සතුටුයි. අනිත් එක ගරු කිරීම තියෙන්න ඕන ක්‍රියාවෙයි. එහෙම නැතුව කතාවේ නෙවෙයි. ඔය අපේ හාමුදුරුවනේ කියලා හාමුදුරු වරු ඉස්සරහා ගරුවට කතා කරන අය ඊට පස්සේ හාමුදුරු වරු ගැන කතා කරන හැටිත් මම දන්නවා.
ඒ නිසා මගේ වචන භාවිතය ගැන අමනාප වෙන්න එපා කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා. ඒ වගේම ඒ නිසා හිත රිදිච්චි අයගෙන් මම ඉල්ලනවා මීට පස්සේ එහෙම රිද්දවා ගන්න එපා කියලා. හැබැයි මේ රට විනාස කරපු මහජන දේපල කොල්ල කාපු එවුන්ට නම් මම කිසිම දාක ගරු සරුවක් කරන්නේ නෑ. මොකද ඒ වගේ ගරු කිරීමක් ගන්න උන්ට අයිතියක් නැති නිසා.
අර කතාවේ ඉතුරු ටික මම හෙට නැත්නම් අනිද්දාට දානවා. මොකද අද රෑ මගේ දෙවෙනි එකා මේ දේශපාලුවෝ විනාශ කරපු රට අතහැරලා යනවා. මාස ගානක් තිස්සේ කියලා කියලායි ඌව කැමති කරවා ගත්තේ අපිව දාලා යන්න. මොකද අපි නියම කාලේ නොගිය එකේ විපාක අද අපි විඳින නිසා. එහෙම යවා ගන්න බැරි උන් වෙනුවෙන් මොනවා හරි කරන්න ඒ අතරේ පුලුවන් උත්සාහයක් ගන්නවා. අවාසනාව කියන්නේ අපිට ඒ වෙනුවෙන් තියන උවමනාව උන්ට නැති එකයි.


Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී