ඊයේ හවස මම හත ගහලා ගෙදර ගිහින් වොශ් පාරක් දාලා ප්ලේන්ටී එකකට සෙට් වෙලා ඒක ටිකක් නිවෙන්න තියලා තියෙද්දී මැස්සෝ දෙතුන් දෙනෙක් ඇවිත් ගේම ඉල්ලන්න පටන් ගත්තා. ඊට පොඩ්ඩකට කලින් ශරීර කෘතිය කරන්න ටොයිලට් එකට ගිය වෙලාවෙත් ඔය පොරවල් ටික එතන හිටියා මට මතකයි. උන් අර කෝප්පේ වටේට වහන්නත් වුනා. මම දැන් අවුරුද්දක විතර ඉඳලා කිරිපිටි බොන එක සම්පූර්ණයෙන්ම නතර කරලයි තියෙන්නේ. ඇයි බං ඒවායේ තියන දහජරාව ගැන දැන දැනත් කොහොමද බොන්නේ. හිස් බඩටම ගහන්නෙත් ප්ලේන්ටීයක්ම තමයි. ඉතින් කොහොම හරි මේ මැස්සන්ට කෝප්පේ වහන්න දෙන්න බැරි නිසා ඒක කඩදාසියකින් වහලා තියලා එදාම ගෙදරට ගෙනත් තිබුණු උම්බලකඩ කෑලි බෝතලයකින් කුඩු ටිකක් අරගෙන අර කෝප්පෙ ලඟින් තිබ්බා. මම හිතුවා මැසි පොරවල් ටික හිටු කියලා ඇවිත් ඒවාට සෙට් වෙයි කියලා. ඒ උනත් එහෙම වුනේ නෑ. මෙසෙ උඩ හිටපු පොරවල් දෙක තුනත් අයින් වෙලා ගියා. මම ෆුල් සැටිසෙන් ප්ලේන්ටීය ගහලා හිස් කෝප්පෙ මේසෙ උඩින් තිබ්බාම මැස්සෙක් ඇවිත් ආයිමත් ඒක උඩ සෙට් උනා. එතනම පහලින් උම්බලකඩ තිබුනත් ඌ ඇහැක් ඇරලා ඒක දිහා බලන්නේ නැතුව අර කෝප්පේ ගෑවිලා තියන සීනි වලට සෙට් උනා. මම දැන ගත්තා හේතුව. උන්ට අපිට වඩා අනතුරු ගැන ඉවක් තියනවා. ඒ නිසා ඌට තේරෙන්න ඇති අර උම්බලකඩ කෑවොත් කේස් කියලා. ඒත් අපි කිලෝ ගනන් අරගෙන ඇවිත් ගහලා අරිනවා මරු උම්බලකඩ කිය කිය. මම ඒකේ විඩියෝ කෑල්ලක් දානවා. ඒත් රෙකෝඩ් වෙලා තියෙන්නේ පැත්තට. ඔලුව අංශක අනූවක් හරවලා බැලුවාම හරි විදියට පේනවා.
මම හිතන්නේ අද කරවල උම්බලකඩ වගේ දේවල් වේලන කොට ඒවාට ඔය ෆෝමලින් වගේ විෂ දානවා කුණු වෙන එක වලක්වන්න. ඉස්සර මාළු කඩවල් වලට ගියාම ෆුල් මැස්සෝ පිරිලා. ඒත් අද වෙන කොට මැස්සෝ නැත්තේ ඒවායේ විතරයි. මාළු වලට අනිවාර්යයෙන්ම ෆෝමලින් දානවා. මොකද අයිස් කුට්ටියකින් කරන දේ එක ෆෝමලින් හැන්දකින් කර ගන්න පුලුවන්. ඉතින් බිස්නස් එකෙන් ලාබ ගැනීම එකම අරමුණ වුනු කාලෙක මාළු කාරයා බලන්නේ මිනිස්සුන්ට මොන විසක් හරි කවලා තමන්ගේ ගාන කපා ගන්නයි. මේක කරවල මාළු විතරක් නෙවෙයි අනිත් හැම ආහාර ද්‍රව්‍යකම තියනවා. එලවලු ගත්තත්, පලතුරු බොහොමයකත් එහෙමයි. ඉස්සර පලා කොල වල තියන පණුවෝ කාපු කොල අද දකින්නවත් නෑ. අද මාකට් වල තියන පලා කොල හරියට හවසට වැඩ ඇරිලා ගෙදර යන්න පාරට එන කෙල්ලෝ වගේ ෆුල් ෆ්‍රෙශ්. ඇයි යකෝ ඉස්සර කාලේ වැඩ ඇරිලා ගියපු ගෑනු ගියේ මැරිලා වගේ. ඒත් අද උදේට වැඩට එනවාටත් වඩා ෆුල් මේක් අප් එක දාලයි යන්නේ. කොටින්ම උදේට ඔෆිස් එකට එන එකා නෙවෙයි ආපහු යන්නේ. සාමාන්‍යයෙන් අඩුම ගණනේ විනාඩි තිහක් වත් උන් ගන්නවා මේක් අප් එකට. ඉතින් මේවා දැකින පාරේ ඉන්න කොල්ලොත් පැනලා සෙට් වෙනවා. උන් දන්නේ නෑ හුඟ දෙනෙකුගේ එලිය පොශ් උනාට ඇතුල හිස් කියලා.
ඕකම තමයි අර මම කියපු පලා කොල වලට කරන්නෙත්. හිටු කියලා හොඳම කෘමි නාශක ඉහිනවා. ඉතින් පණුවෙක් අහලකට එන්නේ නෑ. අර විස තියෙද්දිම ඒවා කපනවා මොකද ඒවායේ ඉෆෙක්ට් එක ගියාට පස්සේ කපන්න හිටියොත් පණුවෝ සෙට් වෙනවා. මේ කොල ගෙනත් මිටි බැඳලා ෆුඩ් සිටි වල ගෙනත් තිබ්බාම ඒවා දිලිසි දිලිසි තියනවා දැක්කාම මිනිස්සු ගිහින් ෂා හොඳ කොල ටික කියලා ගෙනත් කනවා හරියට අර කොල්ලෝ කෙල්ලන්ගේ මේක් අප් එකට වහ වැටෙනවා වගේ. මම නම් කොල කඩෙන් ගන්නවා නම් ගන්නේම පණුවෝ කාලා හිල් තියන කොල. මොකද පණුවා කනවා කියන්නේ ශුවර් එකටම කිසිම විෂක් නෑ කියන එකයි. ඒත් ඒ වගේ ඒවා දැන් හොයන්න අමාරුයි. සමහරුන්ට ඕක කිවුවාම ඊයා පණුවෝ කාපුවා කන්නේ කොහොමද කියලා ඇඹරෙනවා. ඇත්තම කියනවා නම් පණුවෙක් අපට කැවුනොත් ඒකෙන් ඇඟට ටිකක් හරි පෝෂණයක් ලැබෙනවා මිසක් නරකක් වෙන්නේ නෑ. සමහර රටවල් වල පණුවෝ, කෘමියෝ කියන්නේ හරිම මිල අධික කෑම ජාතියක්. කොරියාවේදී මම දැක්කා පණුවෝ සීය ගානක් විතර පණ පිටින් අර හොට් පෑන් එකට දාලා හරියට පැස්ටා හදනවා වගේ හදනවා. ඒත් අපිට පණුවෝ කියන්නේ මුස්ලිම් අයට ඌරු මස් වගේ. උන් ඊයා කිය කිය අයින් කරනවා. අපේ බුද්ධාගම් කාරයෝ ෂා රසායි කිය කිය කනවා. ඔක්කොම තියෙන්නේ හිතේ. මට මතකයි එක පාරක් අපි ප්‍රංශයට ගිය වෙලාවේ අපිව නවත්තලා හිටිය හොටෙල් එකේදී මම කිවුවා මම මස් කන්නේ නෑ, කන්නේ වතුරේ ඉන්න එවුන් විතරයි කියලා එලවලු විතරක් කෑවා. ඊට පස්සෙන්ද රෑට මට වෙනම ඩිශ් එකක් තිබුනා. ඒක ෆ්ලැට් වෙන්න පෙති කපලා තිබුණු එකක්. මම මාලු කියලා හිතලා කාලා පස්සේ උන් ඇහුවාම රසද කියලා මම කිවුවා රසයි මොකක්ද ඒ කියලා. උන් කිවුවා ෆ්‍රොග් ඒ කියන්නේ දිය ගෙම්බෝ කියලා.මාත් එක්ක එතන රෙජී රණතුංග මහත්තයාත් හිටියා. එයාට වමනේ යන්න ආවා අරක අහලා. මට නම් එච්චර ගානක් වුනේ නෑ. මොකද ඒ වෙන කොට කාලා ඉවරනේ.
මාතෘකාවෙන් පිට පැන්නාද මංදා. ඉතින් අපි සල්ලි දීලා අරගෙන කන්නේ ඔක්කෝම වස විස. මම කියනවාට ඇපල් ගෙඩියක් අරගෙන පිහියකින් ඒකේ පිට පැත්ත හූරලා බලන්න සුදු පාටට එන කුඩු. මේවා සේරම ඇපල් වලට ඉහින්නේ පණුවන්ගෙන්, කෘමීන්ගෙන් ආරක්ෂා කර ගන්න. ඉතින් මේවා බඩට ගියාම. ඉස්සර කිවුවේ An apple a day keeps the doctor away කියලා. ඒත් දැන් කියන්න වෙන්නේ an apple a day keeps the health away .කියලා. මම මේ නිසා ඇපල් කනවා නම් කන්නේ හොඬට ලෙල්ල හූරලා දාලා. එතකොට රසෙත් වෙනසක් තියනවා. කෙලින්ම කෑවොත් අමුතු බෙහෙත් රසක් එනවා. ඕවාට ගහලා තියන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය අනුව ඒවාට නොම්මරයක් තියනවා. ඒක ගෙඩියේ පිට පැත්තේ තියනවා. මුකුත්ම ගහලා නැති ඒවා හරි මිළයි. මම දන්න තරමට ඒවා අපිට ලැබෙන්නේ නෑ. ඒකෙත් පොඩි විඩියෝ කෑල්ලක් දානවා අද උදේ හිස් බඩම ගත්ත.
අපි පොඩි කාලේ ගමේ ඉන්න කොට මට මතකයි උදේට ආත්තම්මා මල්ලකුත් අරගෙන ගෙදර වත්ත වටේ ඇවිදලා දවල්ට කන්න ඕන කරන එලවලු, පලා ජාති, පලතුරු ගේනවා. කුඹුරෙන් වී ටික එනවා. ඒ කාලේ අපි මාලු කෑවේ සතියකට දවස් දෙකක් විතර තමයි. ඒ ගේන්නෙත් අහංගමට ගිහින් අලුත් මාලු කිසිම විසක් නැති. ඒ කාලේ ෆ්‍රිජ් නැති නිසා එදාම උයලා ෆ්‍රෙශ් ෆ්‍රෙශ් කනවා. ආත්තම්මා, සීය, තාත්තා, අම්මා සේරම අවුරුදු අණූ ගානක් ඉඳලා තමයි නැති උනේ. කිසිම බෙහෙතක් ගත්තෙත් නෑ. ඒත් මම මේ වෙන කොට ඉන්නේ වලේත් ගැට්ටේ. ඔන්න පරම්පරා දෙකක වෙනස. ඒත් අපිටත් පස්සේ පරම්පරාවේ වැඩි දෙනෙක් අවුරුදු 40 වෙන්න කලින් මොනවා හරි ලෙඩකට බෙහෙත් ගන්නවා. මම මේවාට හේතු කියලා ඒ කාලේ පෝස්ට් සෑහෙන ගණනක් කලා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී