මිනිසා දියුණු වෙලාලු ඒත් ලෝකේ අවුල් වෙලාලු.
මේක ඒ කාලේ මුලු සමාජයේම තිබුනු සුමට බවේ ලක්ෂණයක්. ඒ කාලේ මිණීමැරුමක් ගැන අහන්න ලැබුනේ බොහොම කලාතුරකින්. ඒකත් කොලඹ වගේ තැන් වලින්. එහෙම මිණීමැරුමක් වුනාම ඒ කාලේ කවි කොල ගහනවා ඒක විස්තර කරලා. කවි කොල කාරයෝ බස් වලට ඇවිත් ඒවා විකුනණවා. අපි ඉස්කෝලේදී ගහ ගෙන කියලා ආරංචි වුනොත් අපේ තාත්තාත් මට ගහනවා. ඉස්කෝලේ යන්නේ ගහ ගන්නද කියලා. ඊට පස්සේ මාත් එක්ක යනවා අර ගහ ගත්ත එකාගේ ගෙදර. ගිහිං ඒකාගේ තාත්තා එක්ක කතා කරලා යාලු කරවලා දෙනවා. ඊලඟට ඉස්කෝලේ ගියාම අපි ආයිත් යාලුයි. ඒ නිසා පිහි වලින් ඇන ගන්න උවමනා වුනේ නෑ. ඒ වගේම අලුත් පන්තියකට ගියාම තාත්තා මාව එක්ක ක්ලාස් ටීචර්ගේ ගෙදරට ගිහින් ටීචර් එක්ක කතා කරලා කියනවා මොනවා හරි වැරැද්දක් කලොත් හොඳට දඬුවම් කරන්න කියලා.
මට මතකයි එක දවසක් ඉස්කෝල වත්තේ පොල් ගහකට නැගලා අහු වෙලා අපි දෙන්නෙක් ප්‍රින්සිපල් ලඟට ගෙනිච්චාම වැරැද්දට හේතුව අහලා ඊට පස්සේ ටිකක් ඉන්න කියලා ප්‍රින්සිපල්ගේ වැඩ එහෙම ඉවර වෙලා අපි දෙන්නාව ගෙන්නලා කකුල් වල පිටි පස්සට වේවැල් පාරවල් පහක් විතර ගැහුවා. එහෙම කරේ හිතේ කිසිම ආවේගයකින්, තරහවකින් නෙවෙයි. අපිව හදන්න හොඳ චේතනාවකින්. කවදාවත් ගුරුවරයෙක් ලමයෙකුට දඬුවම් කරා කියලා කෑ ගහන දෙමවුපියන් ඒ කාලේ හිටියේ නෑ. කොහෙන් හරි ආරංචි උනත් කිවුවේ උඹ එහෙනං මොකක් හරි වැරැද්දක් කරන්න ඇති. නැත්තං ටීචර්ට පිස්සු තියනවාද ළමයින්ට ගහන්න කියලා. ඒත් දැන් කාලේ ගුරුවරයෙක් එහෙම දඬුවමක් දුන්නොත් තාත්තලා යනවා පොලිසි. ඉතින් ගුරුවරුත් තොපිට ඕන නම් හැදියල්ලා නැත්තම් තොපි මකබෑ වෙයල්ලා අපි ටියුෂන් එකක් කරගෙන හැදෙනවා කියලා ඉන්නවා. ඒ විදියට ගුරුවරු තමන්ගේ වගකීම අත හැරලා ඉන්නවා. දෙමවුපියනුත් ළමයින්ට උගන්නන්න මහන්සි උනාට උන් හොඳ මිනිසුන් කරන්න මහන්සි ගන්නේ නෑ. ඒවායේ ප්‍රතිපල මාතර අර ළමයා සැලසුම් සහගතව ඇවිත් අනිත් ළමයාට පිහියෙන් අනින හැටි රූප රාමු වලින් හොඳට පෙනුනා. ඊට පස්සේ ඒ වගේම සිද්ධි දෙකක් වුනා.
ඊ ලඟට දේශපාලඥයෝ දෙන්නේ ඉතාම නරක ආදර්ශ. උන් ඉස්කෝල වලට ඇවිත් ගුරුවරුන්ගේ විදුහල්පති වරුන්ගේ ආත්ම ගෞරවය නැති විදියට ළමයින් ඉස්සරහා හැසිරෙනවා. දැන් බෝධිසත්වයෙක් වගේ ඉන්න කැලණියේ ගැමුණු එක පාරක් ඉස්කෝලෙකට ගිහින් ප්‍රින්සිපල්ට ගහන්නත් ගියා. තුට්ටු දෙකේ ඇමතිලා ගුරුවරුන් දණ ගස්සවනවා. මහ ඇමතියෝ ළමයි උන්ට බුලත් නොදුන්නාම බලෙන් විදුහල්පති ගෙන්න ගෙන වන්ද ගන්නවා. ඉතින් ළමයි ගුරුවරුන්ට සලකයිද ගරු කරයිද ඒ ගොල්ලා කියන දේ අහයිද. ඉතින් නීති ගරුක සමාජයක් හැදෙයිද බං.
ඒ කාලේ අපේ රටේ තිබුණු සුමට බව සමාජයේ හැම තැනකම අපි දැක්කා. පාරේ, රැස්වීම් වල, සංගීත සංදර්ශන වල පොලිසියේ, පාර්ලිමේන්තුවේ වගේ තැන් වල අපි ඒ සුමට බව දුටුවා. වෙන එකක් ඕන නෑ 1971 කැරැල්ලත් 1988/89 කැරැල්ලට සාපේක්ෂව සුමටයි. ඒ කියන්නේ 88/89 වගේ මිනිස්සු කපලා කොටලා කෑලි තැන් තැන් වල දාලා තිබුනේ නෑ. කෙලින්ම වෙඩි තියලා දාලා තිබුනා. අපි කවදාවත් 1971 දී පාරේ, ගඟවල් වල මිණී පිච්චෙනවා, පා වෙනවා දැක්කේ නෑ. 1971 දී මිණී මැරුවත් 88/89 කාලේ වගේ ම්ලේච්චත්වයක් තිබුනේ නෑ. ඒ වගේම කොටි බෝම්බ පිපිරීම් වලදී කුඩු පට්ටම් වුනු මිණී, වහල වල් උඩ තිබුණු මිනිස් බෝම්බ වල ඔලු වගේ ඒවා. ඒ වගේම මාධ්‍ය වලිනුත් මේ ප්‍රචන්ඩත්වය උලුප්ප උලුප්ප පෙන්නලා ඒක සාමාන්‍ය දෙයක් කලා.
ඉතින් පොරවල් කියනවා 1977 න් පස්සේ රටේ ලොකු දියුණුවක් තියනවා කියලා. මට නම් පේන්නේ එන්න එන්නම ප්‍රචන්ඩත්වය, ම්ලේච්චත්වය දියුණු වෙනවා කියලා. ඒ ඇරෙන්න වෙන දියුණුවක් මම නම් දකින්නේ නෑ. ඇස් ඇර ගෙන හිටියොත් මහ පාරේ, විශ්ව විද්‍යාල, පාර්ලිමේන්තුව වගේ තැන් වල මේක හොඳට දකින්න පුලුවන්. එහෙනම් අපි මොකෙන්ද දියුණු වෙලා තියෙන්නේ.
පොඩ්ඩක් අහලා බලපල්ලා එඩ්වඩ් ජයකොඩිගේ මිනිසා හඳට ගියාලු කියන සිංදුව. මේකෙන් කියන්නේ පරස්පරය. මිනිසා දියුණු වෙලාලු ලෝකය අවුල් වෙලාලු කියලා.ඒ වගේම දන් දෙනවා ඒ වගේම දුගියෝ වැඩි වෙනවා කියලා. පින් දෙනවා නම් දුගියෝ වැඩි වෙන්න බෑ වගේම මිනිසා දියුණු වෙලා නම් ලෝකය අවුල් වෙන්න බැහැ. එහෙනම් අපි මේ දියුණුව කියන්නේ වෙන මොකක්ද එකකට. ඒ වගේම පින් කියන දේ කාටවත් දෙන්නත් ගන්නත් බෑ. ඒක තමන් කර ගන්න ඕන දෙයක්.
Comments
Post a Comment