මෙල්බර්න් වලට ගිය මගේ පුතා මට උපන් දිනයට කියලා පහු ගිය දවස් වල හෙන කොලිටි සෙට් අප් එකක් එවලා තිබුණා. ඉතින් වෙලාව තිබුන එකේ ඊයේ ඒක හයි කරගෙන හා පුරා කියලා එෆ් එම් නාලිකාවක පොසොන් දිනය වෙනුවෙන් විකාශය කල කොලිටි බණක් ඇහුවා. මම හිතන්නේ මගේ කොල්ලා සාධාරණව හම්බ කරලා තාත්තාට තෑග්ගක් හැටියට උතුම් චේතනාවෙන් එවපු එක නිසා වෙන්න ඕන මට එහෙම කොලිටි බණක් මුලින්ම අහන්න ලැබුනේ.
නෑ නෑ බය වෙන්න එපා මම ඒ කියපු බණ කියන්න යනවා නෙවෙයි. ඒත් වටිනා ධර්ම දේශනාවකට පස්සේ උන් වහන්සේ කිවුවා දැන් දශක කීපයකට කලින් පටන් අරගෙන එන්න එන්නම තීව්‍ර වෙන වෙසක් දවසේ අපේ මිනිස්සු කරන විකාර වැඩ දැකලා උන් වහන්සේ හරිම කම්පාවකින් හිටියේ කියලා. ඔලු බක්කන්, මහ හඬින් නලා නාද කරමින් විකාර ඇඳුම් ඇඳගෙන පාරේ යන අන් අයට කරදර කරමින් යන මෝටර් සයිකල් කරුවන්, පාරේ යන වාහන බලෙන් නවත්වන දන්සැල් කරුවන් වැනි තවත් බොහෝ දේ. බෞද්ධයින් වශයෙන් කල යුතු දාන ශීල භාවනා වෙනුවට මේ විකාරය එන්න එන්නම වැඩි වූ බවත් ඒත් පහු ගිය වෙසක් දිනය ඉතාම සාමකාමීව පැවැතුනු බවත් නියම බෞද්ධයින් පුරුදු පරිදිම විහාරස්ථාන වලට ගොස් ආගමික කටයුතු වල යෙදුණු බවත් පාරවල් වල තිබුණු සාමකාමී හා නිස්කලංක බවද ඒ සඳහා උපකාරී වූ බවද උන් වහන්සේ පැවැසුවා. අවසානයේ උන් වහන්සේ පැවැසූ දෙය මගේ සිත් ගත්තා. වෙනත් අරමුණක් වෙනුවෙන් අප්‍රේල් 21 දා ත්‍රස්තවාදී නායක සහරාන් විසින් කරන ලද ක්‍රියාවේ ප්‍රථිපලයක් ලෙස පසුගිය වෙසක් දිනයේ එම සාමකාමී බව සිදු වූ බැවින් ඒ කරුණ සම්බන්ධයෙන් ඔහුට පින් ලබා දිය යුතු බවත් නමුත් ඔහු දැන් සිටින්නේ එම පින් ලබා ගත හැකි තැනකදැයි තමන් වහන්සේ නොදන්නා බවත්ය. දානයට කහින, දේශපාලකයින්ට කඩේ යන, ආර්යාවන්ට තවත් දරුවන් දෙන්නයි රජුන්ට උපදෙස් දෙන, හිට්ලර්ලාට ආරාධනා කරන ජුගුප්සා ජනක කහකඩයින් අතර එෆ් එම් නාලිකාවකින් පොසොන් දිනයේ එවැනි සත්‍ය කරුණක් ප්‍රසිද්ධියේ පැවැසීමට තරම් එඩිතර භික්ෂූන් වහන්සේලා තවමත් අප රටේ සිටින බව මට එයින් පසක් වුනා. අපේ ආගම් වහලුන්ගෙන් උන් වහන්සේගේ මෑණියන් හට එල්ල විය හැකි අවලාදයන් වැලැකීම සඳහා මම උන් වහන්සේගේ නම නොකියමි.

නමුත් කණගාටුවට කරුණ වන්නේ ඊයේ පොසොන් දින නැවතත් එලෙසම වෙසක් දින කල නොහැකි වූ ආගම් නාඩගම සිදු වී ඇති බව දැන ගැනීමයි. නිස්කලන්කව සිටීමට අවශ්‍ය වූ බැවින් ඊයේ මුලු දවසම නිවසට වී සිටි මට සවස 7 ට පමණ මගේ ඥාතියකු පැවැසුවේ ඔහු මේ වන විට ගාල්ලේ සිට පැමිණෙමින් හොරණ ප්‍රදේශයේ සිටින බවත් තව පැයකින් පමන කෝට්ටේ පිහිටි අප නිවසට පැමිණිය හැකි බවත් රාත්‍රියේ අප නිවසේ නවතින බවත්ය. ඒ අනුව මට සහ යාලුවාට සූදානම් කර තිබූ යාචක රාත්‍රී ආහාරයට අමතරව ආහාරද ඔහු වෙනුවෙන් පිලියෙල කර බලා සිටි මුත් රාත්‍රී 10 වන තුරුද ඔහු පැමිණියේ නැත. මේ වන විට මගේ බඩේ සිටින පණුවන්ද රාත්‍රී ආහාරය ඉල්ලමින් යාඥා කරමින් සිටි බැවින් කෑමට සුදානම් වන විටම නිවසට පැමිණි ඥාතියා පැවැසුවේ මහරගම නගරය පසු කිරීමට ඔහුට පැය දෙකකට වඩා ගිය බවය. පොසොන් දිනයේ නැවැතත් පරණ සෙල්ලම් පටන් ගෙන ඇති බව මා දැන ගත්තේ එවිටය. මහරගම හන්දියේම තොරණක් ගසා ඇති බැවින් පාර මුලුමනින්ම අවහිරව තිබූ බවද එකම පොලිස් නිලධාරියකු පමණක් එහි සිටි බවත් මගේ ඥාතියා පැවැසීය.

මා කුඩා කාලයේ අපගේ මිනුවන්ගොඩ සිටින කතෝලික ඥාතියක්ලුගේ නිවසට නත්තල් දින යේදී යන විට එදින පැවතුනු උත්සව හේතුවෙන් මා මගේ මෑණියන්ගෙන් ඇසුවේ නත්තල් දින යනු ජේසු තුමා කුරුසියේ ඇන ගසා මැරූ දවස නම් එදිනට කතෝලික අය මෙසේ සතුටු වන්නේ ඇයි දැයි යන්නය. හොඳ බෞද්ධයකු වූ එහෙත් ආගම් වහලකු නොවූ මගේ මව පැවැසුවේ ඔවුන් කරන්නේ මොනවාදැයි ඔවුන්ම නොදන්නා බවත් ඒවා මෝඩ ක්‍රියා බවත්ය.පසු කලෙක මා කොලඹ ඇක්වයිනාස් විද්‍යාලයේ උසස් පෙල සඳහා උගෙනිමින් සිටින කල නත්තල් දිනයේදී මෙම ප්‍රශ්නය මා සමග ඉගෙනීම ලැබූ කතෝලික මිතුරියකගෙන් ඇසූ විට ඇය පැවැසුවේ නියම කතෝලිකයින් එසේ නොහැසිරෙන බවත් ඔවුන් එදිනට පල්ලියට ගොස් යාඥා කරමින් ආගමික කටයුතු වල නියැලෙන බවත්ය. එවිට මා කීවේ බෞද්ධයින් නම් එසේ නොකරන බවත් ඔවුන් එදිනට පන්සල් වලට ගොස් ආගමික කටයුතු වල යෙදෙන බවත් රාත්‍රී කාලයට දරුවන්ද සමග ගෙවල් වල පහන් කූඩු හා බකට් දල්වා සතුටු වන බවත්ය. එමෙන්ම සමහරු රාත්‍රී කාලයේ තොරණ් බැලීම සඳහා යන බවත්ය. ඒ 1971 දෙසැම්බර් වලදීය.

නමුත් අද වන විට නත්තල් දිනටත් වඩා උත්සව අසිරියක් ගන්නේ වෙසක් දිනයයි. දන් සල් පවත්වන අය එය අවසාන වීමෙන් පසු බීමත්ව එම දන්සල අසලම නටමින් විකාර කරන අයුරු මා කොතෙකුත් දැක ඇත්තෙමි. මගේ දරුවන් කුඩා කලදී ඔවුන් සමග රාත්‍රී වෙසක් බලන විට මා මේ විකාරද ඔවුන්ට පෙන්වා ඒවායේ ඇති වැරැද්ද පහදා දුන්නෙමි. වරක් එකල අවුරුදු 12ක් පමණ වූ මගේ දියණිය මගෙන් ඇසුවේ "බුදු සාදු පිරිණිවන් පෑවේ වෙසක් දවසක නම් එදිනට අපි කරන්න ඕන දුක් වෙන එක නෙවෙයිද තාත්තා " කියා. එය ඊට වසර විසි ගණනකට පෙර මා විසින් මගේ මවුගෙන් අසා සිටි ප්‍රශ්නයට වඩා වෙනස් වූවක් වීමෙන් පෙනෙන්නේ මේ කාලය තුල බුදු දහම යටපත් වී බුද්ධාගම ඉස්මතු වී ආකාරයයි. මෙය ඉතා ඛේදජනක තත්වයකි.

ඉතින් අර ස්වාමීන් වහන්සේ ධර්ම දේශනය අවසානයේ කී දේ මා සිත් ගත්තේ මේ හේතුව නිසා. සහරාන් ඇතුලු අයගේ ක්‍රියාව නිසා පසුගිය වෙසක් දිනයේ ආගම් කටයුත් යටපත් වී ගොස් දහම් කටයුතු ඉස්මතු වූ ආකාරයෙන් මට පෙනී ගියේ එම කණ්ඩායම විසින් දේශපාලන අරමුණක් වෙනුවෙන් කල ක්‍රියාවේ වක්‍ර ප්‍රතිපලයක් වූයේ බුදු දහමට තැනක් ලැබීමයි. එහෙත් ප්‍රභාකරන් වරක් පවසා ඇති පරිදි අප ජනතාවගේ මතකය පවතින්නේ සති දෙකක් පමණක් බැවින් නැවතත් එම බුද්ධාගම් කරුවන්ගේ ක්‍රියාවන් මෙම පොසොන් දිනයේදී වඩාත් ප්‍රබල ලෙස මතුවී පෙනුණි.

මා ආරක්ෂක මෙවලම් පැලැඳ ගෙන සිටින බැවින් ආගම් වහලුන්ගේ පහර දීම් වලින් හානියක් නොවනු ඇත. කැමැති පමණින් පහර දෙත්වා.
**********************************************************************
මගේ යාලුවෙක් මේ දැන් මාව දැනුවත් කලා ජේසස් උපන්නේ නත්තල් දින බවත් කුරුසියේ ඇන ගැසුවේ වෙනත් දිනකදී බවත්. ඒ අනුව මගේ ප්‍රකාශ නිවැරදි විය යුතුය.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී