ඊයේ අරුණ පත්තරේට අපේ හසිතයා මා ගැන තවත් තොරතුරු එලි කරන බව කලින්ම දැන ගෙන හිටපු නිසයි ඊට කලින්දා මම පෝස්ට් එකක් දැම්මේ මම කොහොමද කොළඹ අධිකරණ වෛද්‍ය වරයෙක් වෙලා ආවේ කියලා. ඉතාමත් කෙලෙහි ගුණ නොදන්නා ආකාරයට මාව ඒ විදියට ගාල්ලෙන් අයින් කෙරුවේ අකුරටම රාජකාරිය කල නිසයි. ඒ මට කරපු දේ නිසා ඉන් පස්සේ කිසිම රෝහල් අධ්‍යක්ෂ කෙනෙක් ගියේ නෑ වෙලාවට වැඩට එන්නේ නැතිව පුද්ගලික සේවයේ යෙදෙන දොස්තරලාව අල්ලන්න. ඒකෙන් අද වෙන කොට වෙලා තියන දේ මම කියන්න ඕන නෑ. හැබැයි මම පසු කාලේක සබරගමුවේ පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙලා ගියාට පස්සේත් ඔය වගේ එකෙක්ව අල්ල ගත්තා කඩා පණින හමුදාව යවලා. එතකොට මම පලාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා නිසා මිනිහාට ගැලවීමක් වුනේ නෑ. පස්සේ විනය පරීක්ෂණයට බයේ මෑන් රටිනුත් පැනලා ගියා. පස්සේ මම එතනින් ආවාට පස්සේ මෑන් කොහොම හරි ආපහු එතෙන්ට ආවා විතරක් නෙවෙයි දැන් ඉන්න පලාත් අධ්‍යක්ෂ මිනිහාට තියන බය නිසා මිනිහාට දුන්නා වෙනත් අයගේ පරීක්ෂණ මෙහෙයවන්නත්. හරියට බරපතල චෝදනා තිබුණු සරත් සිල්වාට චන්ද්‍රිකා ජනාධිපති කාලේ අග විනිසුරු කම දුන්නා වගේ අනිත් අයගේ නඩු අහන්න. ඒ ගැන වැඩි විස්තර මම මගේ කතාවේ ඉතුරු හරිය කියන කොට කියන්නම්.
ඉතින් කොහොම හරි අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් වෙලා එන කොට එතන ප්‍රධානියා හැටියට හිටියේ ලලන්ත ද අල්විස් මහත්තයා. වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්, ගුරුවරයෙක් අපක්ෂපාතී බෙල්ල ගියත් ඇත්ත කියන අධිකරණ වෛද්‍ය නිලධාරී වරයෙක්. එහෙම කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීම මගේ රාජකාරි කාලය තුලදී මට ලැබුණු වාසනාවක් කියලා මම කලිනුත් කිවුවා. ඒ කාලේ හරියට දේශපාලන මිණී මැරුම් සිදු වුනා. පාතාලේ දෙගොල්ලක් හිටු කියලා දෙපැත්තේ එවුන් මරා ගත්තා. ඉතින් බොහෝ වෙලාවට ලලන්තට ඉල්ලීම් ආවා ඒ මරණ පරීක්ෂණ වාර්තා තමන්ට වාසි වෙන විදියට වෙනස් කරලා දෙන්න කියලා එක එක පාර්ශ්ව වලින් විශේෂයෙන්ම රජය පැත්තෙන්. ඒවා නොකරන කොට තර්ජන ආවා. ඒත් එයා හෙල්ලුනේ නෑ. කිසිම දෙයක් වැරදි විදියට කලේ නෑ. එච්චර තර්ජන තියෙද්දිත් එයා ආවේ ගිය කෝච්චියේ. මරදාන ස්ටේශන් එකට පුංචි බොරැල්ලේ ඉඳලා පයින් යනවා. එතන ඉඳන් වැලිසර තිබුණු ගෙදරට කෝච්චියේ යනවා. එයාට රජයෙන් නිල වාහනයක් දීලා තිබුනත් ඒකේ ආවේ නෑ. ඒතරම්ම සිම්පල් මෑන්. ඒත් එයා පෙන්ශන් ගියාට පස්සේ එතෙන්ට ආවේ සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. මිනිහා තමයි අර සුප්‍රසිද්ධ තජුඩීන්ගේ මිණීමැරුම හදිසි අනතුරකින් වුනු එකක් හැටියට වාර්තා වෙනස් කරලා පස්සේ කාලේක කිච වුනේ.අපි හිතුවා මෑන් ඒ කරපු වැඩේට බොහොම දරුණු දඬුවම් ලැබෙයි කියලා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් මිනිහාගේ නම කපලා දාන්නත් තිබුනා හරියට පරීක්ෂණ පැවැත්වුනා නම්. ඒත් වුනේ තජුඩීන්ට ජජ්මන්ට් ඩේ එකට කලින් වලෙන් ගොඩට එන්න වුනු එක විතරයි. මුස්ලිම් ආගමට අනුව ඔවුන් මැරුණාට පස්සේ තව එකම එක ජීවිතයක් තියනවා දිව්‍ය ලෝකයේ හරි අපායේ හරි. ඒක තීන්දු වෙන්නේ ජජ්මන්ට් දිනයට. එදාට දෙවියන් ඇවිත් ගොඩට අර ගෙන තීන්දුව දෙන කම් මැරුණු හැමෝම තමන්ව දාපු වලේ ඉන්නවා.හොඳ වැඩ කරපු අය සුව නින්දකට වැටුනා වගේ ශපාන් එකේත්, පවු කරපු අය තෙරපිලා තද වෙලා වගේ අමාරුවෙනුත් ඉන්නවා. ඒත් තජුඩීන්ව දෙවියන්ට කලින් පොලිසියෙන් ගොඩ ගත්තා නිකම් බොරුවට. රටට පෙන්නන්න පරීක්ෂණ කරනවා කියලා. ඉතින් අපේ මිනිහා කොලඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විශ්‍රාම අරගෙන ගියේ සයිටම් එකේ ප්‍රොෆෙසර් හැටියට. ඒ යන කොට කොලඹ අධිකරණ වෛද්‍ය නිළධාරී ලඟ තිබුන ඉතාම වටිනා වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න පාවිච්චි කරන අස්ථි මෘථදේහ කොටස් හොරකම් කරගෙන සයිටම් එකට ගෙනිහින් තිබුනා. මම මේ ටික කිවුවේ එකම රාජකාරිය කරපු දෙන්නෙකුගේ අන්ත දෙක පෙන්නන්න. වැරදිලාවත් මම ඉන්න කාලේ මිනිහා ආවා නම් එක්කෝ මම එයාගෙන් කනවා, නැත්තම් එයා මගෙන් කනවා. මෙඩ්ඩා කාලේ මෑන් මට වැඩිය අවුරුදු තුනක් යටින් හිටපු කෙනෙක්. වැරදිලාවත් එයා මගෙන් කාලා තිබුනා නම් පසු කාලෙක මටත් වෙන්නේ තජුඩීන්ට වුනා වගේ කාර් ඇක්සිඩන්ට් එකකින් මැරෙන්නයි. ඉදිරි ජනාධිපතිවරණයෙන් පස්සේ මෑන්ට ලොකු තනතුරක් අනිවාර්යයෙන්ම ලැබෙන්න පුලුවන්.එයා විතරක් නෙවෙයි තව ඒ වගේ හුඟාක් අය ඉන්නවා ඒ වගේ උසස් වීම් වලට සුදුසු කම් තියන.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී