දැන් අවුරුද්දක ඉඳලාම මගේ හොඳ බොක්කක් වෙච්ච දොස්තර මහත්තයෙක් මට කියනවා "මචං බොට දැන් 60 පැනලානේ. ඉතින් නරකද පොඩි චෙක් අප් එකක් දාගත්තොත්" කියලා. මෑන් මට වැඩිය අවුරුදු 15 විතර බාල ස්නායු පිලිබඳව ස්පෙෂලිස්ට් කෙනෙක්. මම අවුරුද්දක් විතරම ගනං ගන්නේ නැතුව හිටියත් මේ ඊයේ පෙරේදා මරණ ගෙදරකදි හම්බ වෙලා කතා කරන කොට අර චෙක් අප් එක ගැන ආයිත් වද කලාම මම පොරට කිවුවා මම ඒවා ඔක්කොම පහුගිය දවස් වල කර ගත්තා. මගේ හාර්ට් එක ටොප් එකට දුවනවා ලබ් ඩබ් ගගා, කිඩ්නියත් හොඳට තියනවා, ලිවර් එක අප්සෙට් වගේ දැනිලා මේ ඊයේ පෙරේදා ඒක මාරු කරගන්න කියලා රීකන්ඩිෂන් එකකුත් අරගත්තත් බලන කොට අවුල තිබුනේ අර පිත්තාශයේ ගලක් තිබිලා ඉතින් ඒක පිත්තාශය පිටින්ම අරං දැම්මා ඒ නිසා ප්‍රශ්නයක් නෑ කියලා. පොර ඇහුවාම ගත්ත ලිවර් එකට මොකද කලේ කියලා මම කිවුවා ඒක අර දන්න එකෙකුට දුන්නා කියලා උයාගෙන කන්න.

එතකොට මගේ යාලුවා ඇහුවා මොලේ සම්බන්දව පරීක්ෂා කලේ නැද්ද කියලා. මම කිවුවා ඒක පරීක්ෂා කරන්න අවශ්‍ය වුනේ නෑ කියලා. මෑන් කිවුවා මම හිතනවා මේ වයසට ඒකත් කර ගන්න එක හොඳයි. කොලඹ හොස්පිටල් එකේ ඉන්නේ උඹේ යාලු අයනේ. ඒ නිසා ගිහින් ඕකත් කරගෙන ඒ රිපොර්ට් මට ගෙනත් පෙන්නන්න කියලා. ඉතින් මම ගිය සිකුරාදා රේඩියෝලොජි ඩිපාර්ට්මන්ට් එකේ යාලුවෙකුට කියලා එම් ආර් අයි, ඊ ඊ ජී, අරවා මේවා සේරම කර ගත්තා. ඒවා ගෙනිහින් අර යාලුවාට දුන්නාම පොර ඒවා පැයක් විතර බලලා කිවුවා මම හිතුවා හරි. මම දැන් අවුරුද්දක විතර ඉඳලා උඹ අර ෆේස් බුක් එකේ දාන ඒවා බලනවා. ඒකෙන් තමයි මට තේරුණේ උඹට ලොකු මොලේ අමාරුවක් තියනවා කියලා. මම කිවුවාම මට එහෙම එකක් නෑ කවුරුවත් මට එහෙම කියලත් නෑ කියලා මෑන් කිවුවා ඔහොම තැනක් නොතැනක් නොබලා හැම එකම ලියන්නේ මොලේ මඥ්ඥං වෙච්ච එවුන්. මේ කාලේ විතරක් නෙවෙයි හැම කාලේම ඔය වගේ එවුන් ඉඳලා තියනවා. දැන් ඒවා හොයා ගන්න ක්‍රම තියන නිසා තමයි අහු වෙන්නේ කියලා. මීට අවුරුදු 1500 කට විතර ඉස්සර සීගිරියේ අච්චර ලස්සන කැටපත් පවුරේත් කුණුහරුප ලියා තියෙන්නේ උන්. අද අපි ඒවායේ වටිනා කම ගැන කතා කලත් ඒ කාලේ උන් රජ්ජුරුවන්ට අහුවෙලා හිස් ගැසුම් කන්නත් ඇති කියලා. ඊලඟට අපේ කාලේ බස් සීට් එකේ පිටිපස්සේ, කෝච්චියේ, ගස් ගල් වල, පබ්ලික් ටොයිලට් ඇතුලේ කුරුටු ගී ලිවුවෙත් උන් තමයි කියලා. ඒත් ඒවා දැක්කේ ටික දෙනෙක් විතරයි. අනික කවුද ලිවුවේ කියලා දන්නේ නෑ. ඒත් උඹ මේ ලියන එකෙන් මුලු රටම දැන ගෙන ඉවරයි උඹ මොලේ මඥ්ඥං වෙච්ච එකෙක් කියලා ඒ උනත් මීට වඩා ලොකු දෙයක් වෙන්න කලින් අඩු ගණනේ දැන් වත් අල්ල ගත්ත එක ලොකු දෙයක් කියලා.

ඔහොම එකක් මම කවදාවත් අහලා තිබුනේ නැති නිසා මම ඇහුවාම දැන් ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා පොර මට මාර ලෙක්චර් එකක් දුන්නා.මගේ තියෙන්නේ මොලේ වයර් මාරු වෙලා වගේ වැඩක්ලු. කරන දේ නෙවෙයිලු කෙරෙන්නේ වෙන දෙයක්ලු. ඒත් මම හිතන්නේ මම කරන එකම තමයි කෙරෙන්නේ කියලාලු. මම කිවුවාම මට මේ මුකුත් තේරෙන්නේ නෑ කියලා පොර කිවුවා "දැන් මෙහෙම හිතපන්, උඹ ගෙදරදි රෑට බඩගිණි වෙලා ගිහින් කෑම කාමරයේ ස්විච් එක දානවා. ඒත් පත්තු වෙන්නේ ටොයිලට් එකේ ලයිට් එක. ඉතින් උඹ නිදිමතේම ගිහින් කෑම කියලා හිතලා ඒකේ තියන දෙයක් කාලා එනවා. මොකද උඹ හිතනවා උඹ කෑම කාමරයේ ලයිට් එක දැම්ම නිසා පත්තු වෙන්න ඇත්තේ ඒ ලයිට් එක තමයි කියලා, අන්න ඒ වගේ තමයි මොලේ වයර් මාරු උනාමත් කියලා දැන්වත් බොට තේරුණාද" කියලා. එතකොට තමයි මට කේස් එක තේරුණේ.

පස්සේ මිනිහා මුලු සෙනසුරාදා හවස් වරුවේම මාව එක එක ගැජට් වලට හයි කර කර අර මොලේ මාරු වෙලා තිබිච්චි සේරම ඒවා හැදුවා. කොච්චර හොඳ බොක්කද කියනවා නම් එයා එදා ප්‍රයිවට් ලෙඩ්ඩු එක් කෙනෙක් වත් ගත්තේ නෑ. මම කිවුවාම අපරාදේ උඹට පාඩුවක්නේ මම නිසා උනේ, මම ඒ ගාන දෙන්නද කියලා ඌ කිවුවා ඕක මොකක්ද වැඩිම උනොත් ලක්ෂ එකහමාරක් ඇති. ඒ වගේද බං අපේ යාලු කම. ඔන්න ඕක අමතක කරලා දාපන්, තව මාසයකින් විතර කෝල් කරලා කියපන් කොහොමද කියලා, ඒ අතරේ මමත් ෆේස් බුක් එකෙන් උඹව මොනිටර් කරන්නම්කෝ කියලා කියලා. ඇත්තටම මට පුදුම හිතුනා මෙහෙම යාලුවෝ අද ඉන්නවාද කියලා. අද ඉන්න උන් හුඟාක්ම අර බෝතලේ තියන කොට වට වෙන ඒත් සේලයින් බෝතලේට එකෙක්වත් නැති එවුන්නේ.

කොහොම හරි මම ෆුල් සැටිසෙන් ගෙදර ආවා වයර් ටික හරියට සෙට් කර ගත්ත එක කොච්චර දෙයක්ද කියලා හිත හිත. ඇයි බං කෑම කාමරයේ ස්ව්ච් එක දැම්මාම ටොයිලට් එකේ ලයිට් එක පත්තු වුනා කමක් නෑ කියමුකෝ. කට හෝදගෙන එන්න පුලුවන්නේ. ඒත් නෝනාගේ කාමරේ ස්විච් එක දැම්මාම සර්වන්ට් කෙල්ලගේ කාමරේ ලයිට් එක පත්තු වුනොත් මාර ගිණි විජ්ජුම්බරයක්නේ බං වෙන්නේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී