ඉස්සර අපි පුංචිකාලේ අපේ ගම් වල මිනිස්සුන් වැඩි හරියකගේ රස්සාව උනේ වී ගොවිතැන. ගමේ හැමෝම වගේ පිරිමි කුඹුරු වැඩ කරනවා. ඒ අයගේ ලොකු එකමුතු කමක් තිබුනා. එක සැරේකට කට්ටිය සේරම එකතු වෙලා එක්කෙනෙකුගේ කුඹුරේ වැඩ ඉවර කරනවා. ඊලඟ දවසේ අනිත් එක්කෙනාගෙ. කුඹුරු වපුරන කොටත් ගොයම් කපන කොටත් ගොයම් පාගන කොටත් එහෙමමයි. ඉතින් සල්ලි දීලා වැඩට මිනිස්සු ගන්න ක්‍රමයක් තිබුනේ නෑ ඒ දවස් වල. ඒ වගේම පිරිමි හැමෝගේම ඉනේ දිය ලනුවක් කියලා එකක් තිබුනා. වයස අවුරුදු 8 - 10 වෙන කොට දාන ඒක මැරෙන කම්ම තියෙනවා. ඒක තියෙන්නේ ඕනම වෙලාවකට අමුඩය ගහ ගන්න. ඒ වගේම අමුඩ ලේන්සුවක් හැම තිස්සෙම කරේ හරි ඔලුවේ බැඳ ගෙන හරි තිබුනා. ඉතිං ඕනම වෙලාවක වැඩක් කරන්න ඕන උනොත් අමුඩය ගහ ගෙන සරම ලිහලා දාලා වැඩ කරනවා. පිටි පස්සෙන් ගිහින් බැලුවාම ඇඟේ මුකුත් නෑ වගේ පේන්නේ. මම කියන්නේ බොරු කියලා බොලාට හිතෙනවා නම් බලන්න හුලවාලි කියන පිචර් එක. ඒකේ ගාමිනී ෆොන්සේකා ඉන්නව අමුඩෙ ගහ ගෙන. මිනිහා කැමරාවට පස්ස හරවලා යන කොට නියමයි. ඉතිං ඒ කාලේ මමත් හරි ආසාවෙන් හිටියා දිය ලනුවක් ඉනේ බැඳ ගන්න. ඒත් ඒකට ගෙදරින් ඉඩ ලැබුනේ නෑ. මොකද අපේ තාත්තාගේ ඉනෙත් දිය ලනුවක් තිබුනේ නැති නිසා.
ඒ වගේම ඒ කාලේ අද වගේ කෘමි නාශක වල් නාශක කුඹුරු වලට ගැහුවේ නෑ. ඒවා ගැන අහලාවත් තිබුනේ නෑ. කුඹුර වපුරලා ඉවර වෙලා නියරවල් වල තැන් තැන් වල රොඩු ගොඩවල් එකතු කරලා තියනවා. එහෙම කරන්නේ මකුළුවන්ට බෝ වෙන්න. ඒවායේ බෝ වෙන මකුළුවෝ ගොයම් පැල ලොකු වෙන කොට ඒවාට ගිහිල්ලා ඒවායේ මකුළු දැල් බඳිනවා. මේවායේ කුඹුරට එන කෘමියෝ පැටලිලා විනාශ වෙනවා. නැචුරල් බැලන්ස්. ඉතිං උදේ පාන්දර කුඹුරට ගියාම හරිම ලස්සනයි. කුඹුරේ හැම තැනම තියෙන මකුළු දැල් වල පින්න රැඳිලා ඒවාට ඉර අවුව වැටුනාම පුංචි දේදුනු හැම තැනම. ඒත් දැන් අපි ගමට ගියාම ඒවා දකින්න නෑ. කෘමි නාශක නිසා මකුළුවෝ හැදෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ඒ කාලේ හිටපු පොඩි මාලුවෝත් නෑ. ඒ නිසා මදුරුවෝ බෝ වෙනවා.ඒවාටත් වෙනම ස්ප්‍රේ කරන්න වෙනවා.මේවා තමයි කෘමි නාශක වල ප්‍රතිඵල.
ඒ වගේම ඒ කාලේ ඒ ගොවියෝ දැන ගෙන හිටියා තව ක්‍රමයක් ගොයමට එන කීඩෑවන් වඳ කරන්න. ඒක කෙම් ක්‍රමයක් කියලයි ඒ ගොල්ලෝ කිවුවේ. මේකෙදි කරන්නේ දවල්ට පොල් අතු, පොල් පිති, පොල් හනසු. පොල් ලෙලි, කොලපු පුච්චලා ඒ අලු අරගෙන මුට්ටියක දාලා තියලා උදෙන්ම ගිහින් ඒවා ගොයමට ඉහින එක. මේ අලු හරිම සිනිඳුයි. හරියට අපි අපි නෙවෙයි ගෑනු උන්ගේ මූනේ ගාන පව්ඩර් වගේ. හැබැයි මේ අලු ඉහින්න යන්න ඕන අමු නිර්වස්තරෙන්. අමුඩය වත් අඳින්න බෑ. ඒක තමයි කෙම. ඉතිං කට්ටිය ගිහින් ඒ විදියට අලු ඉහලා ආවාම කීඩෑවෝ විනාශ වෙනවා. ඉතිං අපේ කුඹුරු වලට අලු ඉහිනවා බලන්න යන්න මම ඒ කාලේ ෆුල් ට්‍රයි කලත් මට ගෙදරින් ඊට ඉඩක් ලැබුනේ නෑ. ඇත්තම කියනවා නම් මට බලන්න ඕන උනේ අලු ඉහින එක විතරක්ම නෙවෙයි.
ලොකු ළමයෙක් උනාට පස්සෙත් මම මේ හෙලුවෙන් යන කෙම් ක්‍රමය මොකක්ද කියලා දිගින් දිගටම හිතුවත් මට ඒක පිටු පස තියෙන විද්‍යාත්මක පදනම දැන ගන්න අවුරුදු පනහක් විතර ගියා. ඒ මීට අවුරුදු දහයකට විතර ඉස්සර මිය ගිය මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ මළ ගෙදරදී. ඒ මහතා ලංකාවේ හිඟන්නන් ගැන පර්යේෂනයක් කරන්න හිඟන වෙස් අර ගෙන කොලඹ නගරයේ පාරවල් වල මාස ගානක් ඉඳලා ශ්‍රී ලංකාවේ යාචකයෝ කියලා පොතකුත් ලිවුවා. එදා රෑ එතන හිටියා මහාචාර්ය මැන්දිස් රෝහණධීර, කාලෝ ෆොන්සේකා, සූරිය ගුණසේකර, ශිරාන් දැරනියගල, ජේ ආර් පී සුරයප්පෙරුම වගේ අය. මමත් එතෙන්ට සෙට් වෙලා ඒගොල්ලන්ගේ කතා අහ ගෙන හිටියා පැය ගනනක්. මම එදා හුඟාක් දැන ගෙන නොසිටි දේ ඉගෙන ගත්තා. වැරදිලා වත් දෙශපාලකයකුගේ මළ ගෙදරක ගියා නම් ඒකට එන එවුන්ගෙන් අහ ගන්න වෙන්නේ වෙන වෙන දේවල්. ඉතිං මේ හෙලුවෙන් යන කෙමේ යට තියෙන විද්‍යාත්මක පදනම මේකයි. ඔතන වෙන්නේ අර සියුම් අලු ගොයමේ තියන පිනි වල දිය වෙලා කීඩෑවන්ගේ ශ්වසන නාලිකා බ්ලොක් කරනවා. එතකොට හුස්ම ගන්න බැරිව උන් මැරෙනවා. මේ හින්දා අලු ඉහින වෙලාවට ගොයමේ පින්න තියෙන්න ඕනමයි. පින්න තියෙන්නේ උදේට නිසා ඉර පායන්න කලින් වැඩේ කරන්න ඕන. ඉතිං හෙලුවෙන් යන කොට අනිවාර්යයෙන්ම කලුවරේ යන්න වෙනවා. එලිය වැටෙන්න කලින් ආපහු එන්නත් වෙනවා. පස්සට ඉර එලිය වැටෙන කම් නිදා ගෙන ඉඳලා ගිහින් අලු ඉස්සාට වැඩක් නෑ.ඔන්න ඕක තමයි කෙම. මම හිතන්නේ මේක මුලින්ම හොයා ගත්ත අපේ මුතුන් මිත්තන් හේතුව දැන ගෙන ඉන්න ඇති. පහුවෙන කොට හේතුව අමතක වෙලා කෙමක් වෙන්න ඇති.
මට මේ ටික ලියන්න හිතුනේ මේ දවස් වල ග්ලයිපොසිලේට් තහනම ඉවත් කරන්න යන එකට තදින්ම විරුද්ධ වෙලා ඉන්න අපේ අතුරලියේ රතන වහන්සේ මතක් වෙලායි. ග්ලයිපොසිලේට් තහනම අයින් කරන එක ගැන මම මොකුත් කියන්න යන්නේ නෑ. හැබැයි මම එකක් දන්නවා. ඕවා මෙහාට ගෙන්වන සී අයි සී වගේ බහු ජාතික සමාගම් සෑහෙන කාලෙක ඉඳලා ලොකු වලියක් කරා තහනම අයිං කර ගන්න. උන් කෝටි ගනං දෙන්න ලැස්ති උනා ඒ කාලේ ග්ලයිපොසිලේට් වකුගඩු රෝග ඇතිකරනවා කියලා හොයා ගත්ත අනුරාධපුර යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර්ට. ඊට පස්සේ එයාට මරණ තර්ජන එල්ල කලා. එයා ඒවායින් සැලුනේ නැහැ. මම හිතන්නේ දැන් ආන්ඩුවේ ඉන්න කවුරු හරි ලොක්කෙක් අර කෝටි ගානට සැලිලා ඇති. ගාන හම්බ උනේ නැති කට්ටිය විරුද්ධ වෙනවා ඇති. කොහොම උනත් දැනටමත් ඒකට පක්ෂව කතා කරන අය ඉන්නවා.
කොහොම හරි ඔය තහනම දිගටම තියා ගන්න නම් රතන වහන්සේටත් සිද්ධ වෙනවා අර කෙම් ක්‍රමය පටන් ගන්න. හැබැයි ඒක කරන්න සිවුරයි අඳනයයි පන්සලේ තියලා එන්න වෙනවා. එහෙම උනොත් ඒ අසිරිය බලන්න මම යන එක සක්කරයාගේ පුතා වයිමාට වත් නවත්වන්න බෑ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී