සිරිලියද නැත්නම් සොරලියද
මම පෙරේදා වැඩි වැඩක් නැතුව බකං නිලාගෙන ඉන්න බැරි කමට යූ ටියුබ් එකේ අත පත ගාන කොට අර චාල්ස් සහෝදරයා කියන කෙනාගේ කඳුල කියන වැඩ සටහන අහගෙන හිටියා. ඒක බලන කොට ඔහු කියපු එක කාරණයක් මගේ හිතට වැදුනා. ඒ තමයි වීදි දරුවන් කුඩා කාලයේ කාගෙන්වත් කිසිම ආදර කරුණාවක් ලැබෙන්නේ නැතුව ආදරය සෙනෙහස කියන එක අත් විඳින්නේ නැතුව ලොකු වෙලා ඉන් පස්සේ දන්නේ නෑ ඒවායේ තේරුමවත් කියලා. මේ නිසා ඔවුන් සමහරක් පාතාල නායකයින් වෙන බවත් එවිට දේශපාලන නායකයින් ඔවුන්ගේ මැරවර ක්‍රියා සඳහා මේ අය යොදවා ගන්න බවත්. මට 1993 සිට 1995 දක්වා කොලඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු ලෙස සේවය කරද්දී ඔය කියන ආකාරයේ පාතාලයින් විශාල පිරිසක් හමු වූ බවත් ඔවුන් පිටින් බලන විට සාමාන්‍ය පෙනුමකින් යුතු අය බවත් තවත් බොහෝ දේත් ඔවුන් සමහරක් ඒ කාලය තුල ඝාතනය වූ අයුරුත් මීට කලින් පෝස්ට් වලදී මම විස්තර කලා බොලාට මතක ඇති.
මේක දැකපු වෙලේ මට මතක් වුනා 2010 දී මට හම්බ වුනා එකල ජනාධිපති ආර්යාව වූ ශිරන්ති රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම් වරියක් වූ මා දන්නා තැනැත්තියක්. ඇය පැවැසුවා මේ දවස් වල චීන ව්‍යාපාරිකයින් පෙරට ඇවිත් ඉන්නවා අපට උදවු කරන්න. නමුත් ඒ ගොල්ලන්ට ඒ සඳහා ව්‍යාපෘති නැතුවයි ඉන්නේ කියලා. මම පැනලා කිවුවා අපිට වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. අපිට කරන්න ඕන තරම් වැඩ තියනවා හැබැයි සල්ලි නෑ කියලා.ඒ නිසා අපට උදවු කරන්න කියලා ආධාරයක් ගන්න. මොකද ඒ දවස් වල මගේ හිතේ ලොකු ඕන කමක් තිබුනා කොලඹ ඉන්න වීදි දරුවන්ව දැනුවත් කරන්න වැඩ සටහනක් පටන් අර ගෙන අවදානම් අවස්ථා වලින් බේරෙන හැටිත් ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා වන හැටිත් ඔවුන්ට කියලා දෙන්න. ඉතින් මම මේක අර ලේකම් වරියට කියලා කිවුවා මට මේ වැඩ සටහන කරන්න සල්ලි ටිකක් හොයලා දෙන්න කියලා. පස්සේ එයා කිවුවා මට සති දෙකක් ඇතුලත් ව්‍යාපෘති යෝජනාවක් දෙන්න කියලා. මම වහාම ගිහින් මගේ ආයතනයේ හිටපු ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරියක් සම්බන්ධ කරගෙන සම්පූර්ණ ව්‍යාපෘති යෝජනාවක් ලියලා ගිහින් දුන්නා. ඒක අවුරුදු දෙකකදී කරන්න සැලසුම් කරලා තිබුනේ. මොකද ඒක සාර්ථකව කර ගත්තොත් ඒක පෙන්නලා අපිට තවත් මුදල් ගන්න පුලුවන් ඔය UNICEF, UNAIDS වගේ ඒවායින්. අපි වැඩක් පටන් අරගෙන හොඳට කරලා ඉතුරු හරිය කරන්න ආධාර ඉල්ලුවාම උන් පැනලා ආධාර කරනවා.සම්පූර්ණ වැඩ සටහනටම ඉල්ලුවාට උන් දෙන්නේ නෑ. මොකද උන් දන්නවා මේ රටේදී ඒවාට වෙන දේ.
ඉතින් අර ලේකම් වරිය සතියකට විතර පස්සේ මට කතා කරලා කිවුවා ජනාධිපති මන්දිරයට ඇවිත් ඩෝනර් කෙනෙක්ව හම්බ වෙන්න කියලා. මම ඒ කියපු දවසේ එතනට ගිහින් එතන හිටපු චීන ජාතිකයකුට අර ව්‍යාපෘති වාර්තාව මුල ඉඳන්ම කියලා දුන්න. මෙයා අර Huwawi කියන සමාගමේ ලොක්කෙක්. නම Wang Xin.ඒ සේරම අහගෙන ඉඳලා එයා කිවුවා දවස් දෙකකින් උත්තරයක් දෙන්නම් කියලා. හරියටම දවස් දෙකකට පස්සේ මට උත්තරයක් ලැබුනා ඔවුන් ඩොලර් ලක්ෂ දෙකක් දෙන්නම් කියලා. ඒක රුපියල් වලට හැරෙවුවාම කෝටි තුනක්. ඊට පස්සේ ජනාධිපති ආර්යාව විසින්ම මට ඒ බව දන්නලා ලියුමක් එවලා තිබුනා. මම ගිහින් එතුමියව හම්බ වෙලා අපට කරපු උදවුවට ස්තුති කරලා අර ව්‍යාපෘතිය නම් කලා "තාරුණ්‍යයට වගකීමක්" කියලා. එහෙම කෙරුවේ ඒ කාලේ තිබුණු තාරුණ්‍යයට හෙටක් කියන යෞවන වැඩ සටහනෙනුත් ඉදිරියට උපකාර ගන්න හිතා ගෙන.
දැන් ප්‍රශ්නයක් ආවා මේ සල්ලි කාටද දෙන්නේ කියලා. මොකද මේ ව්‍යාපෘති යෝජනාව සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා නෙවෙයි යැවුවේ. එහෙම යැවුවා නම් ඒකට අවුරුද්දක් වත් යනවා අනුමත වෙන්න. ඒ වගේම සල්ලි එන්නේ මහ භාණ්ඩාගාරයට. ඒ සල්ලි වියදම් කරන්න ඒ සඳහා අය වැයෙන් ප්‍රථිපාදන වෙන් වෙන්න ඕන. එහෙම වුනා නම් ඒක කෙරෙන්නේ නෑ. ඒ පාර චීන සමාගම කිවුවා මගේ නමින් චෙක් එක දෙන්න. මට කිවුවා වෙනම එකවුන්ට් එකක් පටන් ගන්න කියලා. මම කිවුවා ඒක නීති විරෝධීයි කියලා. ඊට පස්සේ බැලුවා අපේ සුභ සාධක සංගමයට ඒ සල්ලි ගන්න. පස්සේ දැන ගත්තා ඒක කරන්නත් බෑ කියලා. අන්තිමට තීරණය කලා අර ජනාධිපති ආර්යාව යටතේ තිබුණු සිරිලිය ගිණුමට ඒ සල්ලි දාලා අපිට අවශ්‍ය වෙලාවට අපි ඉල්ලන ප්‍රමාණය දෙන්නත් ප්‍රගති වාර්තා මාස තුනකට වරක් යවන්නත්.ජනාධිපති ආර්යාව එයාගේ පුද්ගලික මොබයිල් නොම්මරයත් මට දුන්නා ප්‍රශ්නයක් වුනොත් කතා කරන්න කියලා.
ඉතින් අපි බොහොම සතුටින් සති දෙකක් ඇතුලත මහරගම තරුණ මධ්‍යස්ථානයේ ශ්‍රවනාගාරයේදී ජනාධිපති ආර්යාවත්, චීන තානාපතිනියත්, එකල සෞඛ්‍ය අමාත්‍ය තුමාත්, චීන සමාගමේ අයත් ඇවිත් ඒ වැඩ සටහන පටන් ගත්තා. ඒකට අපිට රුපියල් ලක්ෂ 6 ක් වියදම් වුනා. මට මතකයි චීන තානාපතිනිය හරියට වෙලාවටම ඇවිත් පැය එක හමාරක් හිටියා ආර්යාව එනකම්. ඒකට චීන අයගේ හිත නරක් වෙලා තිබුනේ ඒ ගොල්ලන්ගේ තානාපතිනිය රස්තියාදු කරවනවා කියලා. අපි බොහොම අමාරුවෙන් ශේප් කරගෙන හිටියා. පස්සේ සෞඛ්‍ය ඇමතිව හිටපු මෛත්‍රීපාල මහත්තයා ඇවිත් ඇය සමග කතා කර කර හිටියා.
ඊට පස්සේ අපි අනිකුත් පුහුණු කිරීමේ වැඩ අපේ ආයතනයේ මුදල් වලින් කරලා ප්‍රජාව අතරේ කරන්න තියන අනිත් වැඩ වලට සල්ලි ඉල්ලලා යැවුවත් අපට ඒක ලැබුනේ නෑ. අවස්ථා ගණනක් ඉල්ලලාත් ලැබුනේ නැති නිසා මම අර මට දීලා තිබුණු නොම්මරයට ආර්යාවට කතා කරලා කිවුවා මැඩම් අපට අර වැඩ සටහනට සල්ලි තාම ලැබුනේ නෑ කියලා. සල්ලි කියලා කියන කොටම ඇය වෙන කෙනෙකුට කතා කරලා මෙන්න මෙන්න සල්ලි ඉල්ලනවා කියලා එයාට ෆෝන් එක දුන්නා. ආර්යාවට සල්ලි කියන වචනෙත් අකැපයි කියලයි මට හිතුනේ ඒ වෙලාවේ. අර කියපු කෙනා පොරොන්දු වුනා ඊලඟ සුමානේ එවනවා කියලා. ඒත් ලැබුනේ නැති නිසා මම ගිහිං සෞඛ්‍ය ඇමති තුමාටත් පස්සේ යවුවන කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුම තුමාටත් ගිහින් කිවුවා මේ සල්ලි ගන්න උදවු කරන්න කියලා. කොහොම කරලාවත් අපට ඒ සල්ලි ලැබුනේ නැති නිසා අර ඉතාමත් වටිනා වැඩ සටහන අපට කර ගන්න බැරි උනා. මට ඒක මතක් වෙන කොට අදටත් හිතට දුකයි.
අන්තිමට 2015 දී ආණ්ඩුව මාරු උනාට පස්සේ 2016 දී අල්ලස් හා දූෂණ කොමිසම මට එන්න කියලා ලියුමක් එවලා. මම ඒ වෙන කොට විශ්‍රාම ගිහින් හිටපු නිසා මට ඒක ලැබුනේ නෑ. පස්සේ මාව අත් අඩංගුවට ගන්න කියලා තව ලියුමක් එවලා ඒක මට ගෙදරට එවලා තිබුනා. මම කොමිසමට ගියාම උන් මට මුලින් සැලකුවේ චෞරයෙකුට කතා කරන විදියටයි.උන් හිතුවා මමත් සිරි ලිය ගිණුමෙන් හොරකම් කරපු එකෙක් කියලා. ඒත් පැය දෙක්ම ප්‍රශ්න කරාට පස්සේ මම හිතන්නේ උන්ට තේරුණා මම නිර්දෝෂීයි කියලා. පස්සේ උන් දීපු තේ එකවත් මම එපා කියලා ආවා.උන් ඇහුවා මට තරහා ගිහින්ද කියලා. මම මට දියවැඩියාව ඒ නිසා සීනි එක්ක තේ බොන්නේ නෑ කියලා ආවා.
අපි ඒ කාලේ කොහෙන් හරි උදවු අරගෙන මේ රටේ මිනිස්සු ඒඩ්ස් වලින් බේර ගන්න වැඩ කලා. ඒ වෙනුවෙන් යම රජ්ජුරුවෝ උනත් උදවු කරනවා නම් උදවු ගන්නයි අපි හිටියේ. ඒත් අන්තිමට උනේ අර හොරු අල්ලනවා කියලා දාපු කොමිසමට යන්න වුනු එකයි. හොරු ඇල්ලුවා නම් තව කමක් නෑ කියමුකෝ. අන්තිමට අල්ලපු හොරෙකුත් නෑ.
අද ලෝකය පුරාම සමරන ලෝක ඒඩ්ස් දිනයේදී මගේ ඒ හිත තදින්ම රිදුන දෙයක් ගැන ලියන්නට වේයැයි මම ඒ කාලේ හිතුවේ නෑ. ඒ කාලේ මේ වගේ දවසක මම ලිවුවේ මීට වඩා වෙනස් දේවල්.
මාව මේක ලියන්න පොලඹවපු අර කතාව සම්පූර්ණයෙන්ම අහන්න කියලා මම බොලාගෙන් ඉල්ලනවා. බොලා දන්නවා මම නරක දෙයක් බලන්න කියන්නේ නැති විත්තිය.මොකද මම බොලාටත් මේ රටටත් ඒ තරම්ම ආදරෙයි.
Comments
Post a Comment