ර පහුගිය දවස් වල හැමදාව හවසට වැහැපු නිසා දවසක් ඇර දවසක් පයින් ගෙදර යන එක කරන්න බැරි උනා. ඉතින් ඔය විදියට සති දෙකක් විතර ඉඳලා ගිය සතියේ සිකුරාදා ආවා ඇවිදින්න හිතාගෙන. ඩුප්ලිකේශන් පාර දිගේ ඇවිත් බුලර්ස් පාරට එනකොට හිත කියන්න ගත්තා ඔන්න ඔහේ අදටත් බස් එකේ යමු හෙට පයින් යමු කියලා. මට තේරුනා ඇඟ හොර වෙලා කියලා. ඔහොම දෙකට දෙමාන්දමේ යනකොට ඈතින් බස් එකක් නවත්තගෙන කොන්දා කෑලි එකතු කරනවා බොරැල්ලට යන. පොර ෆුට්බෝඩ් එකේ ඉඳගෙන පස්සට හැරිලා පාරේ යන උන්ට අත වනනවා. මට හිතුනා පොඩි ආතල් එකක් ගමු කියලා කම්මැලි කම යන්නත් එක්ක. මම කෙරුවේ ටිකක් හයියෙන් ඉස්සරහට ගියා. කොන්දොස්තරයා මාව දැකලා අත වනනවා ඉක්මනට එන්න කියලා. මම ඒ පාර දුවන්න පටන් ගත්තා මට හොරැහින් පේනවා අරූ මා දිහා බලාගෙන ඉන්නවා. මම දුවගෙන ගිහින් බස් එකත් පහු කරගෙන දිගටම දුව ගෙන ඉස්සරහට ගියා. මට බැරි උනා අරූගේ මූණ බලා ගන්න. පස්සේ බස් එකත් මාව පහු කරගෙන ගියා. කොන්දා මොනවත් කියන්නේ නැතුව ඉන්නවා මම දැක්කා. දැන් මගේ අර ඇඟේ තිබුණු හොර ගතිය නැතුව ගියා ඇඟත් වෝම් අප් වෙලා. දිගටම බුලර්ස් පාර දිගේ යන කොට රූපවාහිනී එකට හැරෙන තැන තවත් බස් එකක් කෑලි අහුලනවා. මම ආයිත් සැරයක් අරකම කරලා බස් එක පහු කරලා ආකේඩ් එක ලඟට යන කල්ම දුවගෙන ගියා. බස් එක පහුවෙන කොට මට ඇහුනා බස් එකේ හිටපු පොරවල් ටිකක් හිනා වෙනවා. උන්ට සමහර විට කොන්දා එක්ක මල පැනලා ඉන්න ඇති කොන්දා බස් එක නවත්තගෙන අත වන වනා කෑලි අහුලන එකට. ඊලඟට චීන එම්බසි එක ලඟ කෑලි අහුලපු එකෙකුටත් ඔය වැඩේම කලා. මේ වෙන කොට සැරින් සැරේට මම කිමී එකහමාරක් විතර දුවලා ටිකක් මහන්සියත් තිබුනා. ඉස්සර මම කිමී 5 නන් ස්ටොප් දිවුවත් දැන් එච්චර අමාරුයි. අර මම කලින් දවසක් කිවුවේ අනාත්ම ලක්ෂණය කියලා මේකටයි.
කොහොම හරි ඩී එස් සේනානායක ඉස්කෝලේ ලඟට එනකොට හෙන වාහන පෝලිමක්. මම දැක්කා බස් ගොඩක් දිගටම නවත්තගෙන ඉන්නවා. ඒ නිසා මම ඒ ටික දුවගෙනම ගියා. බලන කොට මෙන්න යකෝ අර බස් තුනම තාම එතන තියනවා. මම කිමී දෙක හමාරක් පයින් එනකොට බස් එකේ ආපු උන් ඇවිත් තිබුනෙත් ඒ දුරමයි. හිටගෙන බස් එකේ තෙරපිලා සල්ලිත් දීලා. හැබැයි අපි දෙගොල්ලාගේම පොදු එකක් තිබුනා. ඒ දෙගොල්ලාම දාඩියෙන් තෙමිලා. මම මගේ දාඩියෙන් බස් එකේ යන උන්, උන්ගේ ඒවායි වටේ ඉන්න උන්ගේ ඒවායිනුයි. කොහොම හරි මම උන් සේරම පහු කරලා කනත්ත පාරට යන කොටත් ඒ වාහන පෝලිම එහෙමම තිබුනා. මම දුවන්නේ නැතිව සාමාන්‍ය වේගයකින් ආවා නම් අච්චර දාඩිය දාන්නේ නැතිව එන්න තිබුනා ටිකක් පරක්කු වෙලා. කොහොම හරි වෙනදා කිමී හත හමාර යන්න මට විනාඩි 65ක් ගියත් එදා මම විනාඩි 50 න් ගෙදරට ගියා. අර තිබිච්චි කම්මැලි කම කොහෙන් ගියාද දන්නේ නෑ. ඒ වෙනුවට හිතුනා අපරාදේ බස් එකේ ආවානම් කියලා.
මේ කතාවෙන් මොකක්ද පේන්නේ. එකක් තමයි මොකක් හරි කරන්න තමන්ගේ හිත කම්මැලි වෙච්ච වෙලාවට වෙන හිතක් ඇති කර ගන්න ඕන ඒකට විරුද්ධව.කම්මැලි කම ඇතිවෙන්නේ ඇඟේ නෙවෙයි හිතේයි. එතකොට ඇඟේ ශක්තිය නැතිව ගියා වගේ දැනෙනවා. ඒකට තමයි හිතට විරුද්ධ හිතෙන්ම සටන් කරන පුරුදු වෙන්න ඕන. විභාගෙකට පාඩම් කරන කාලෙදී පාඩම් කරන්න කම්මැලි උනත් විභාගය පාස් කරාට පස්සේ ලැබන සතුට ගැන හිතලා ඒ කම්මැලි කම නැති කරනවා වගේ. ඒ නිසා ව්‍යායාම කරලා පුරුදු කෙනෙකුට පස්සේ ඒවා කරන්න කම්මැලි වුනාම මතකයට ගන්න ඕන කලින් ව්‍යායාම කිරීම නිසා තමන් ලෙඩ වලින් ආරක්ෂා වුනු හැටි, ඇඟ සැහැල්ලුව තිබුණු හැටි වගේ දේවල්. මේකට බුදු දහමේ කියන්නේ ගමන්විධි ප්‍රත්‍යවේක්ෂන තාවය කියලා.ඒ වගේම තමන් අමාරු වැඩක් කරන කොට ඒකෙන් ආතල් එකක් ගන්න පුරුදු වුනාම වැඩේ ලේසියි. හරියට අර මම කොන්දාන්ගෙන් ගත්ත ආතල් එක වගේ.
ඒක කියන කොට මතක් උනා අපි ඉස්කෝලේ යන කොට කරපු දෙයක්. දවසක් අපි කීප දෙනෙක් 1.30 ඉස්කෝලේ ඇරිලා 2.00 ට තියන පිචර් එක බලන්න කතා කර ගත්තා ගෙවල් වලට කියලා හවසට ඉස්කෝලේ පන්ති තියනවා කියලා. ඉතින් අපේ මහින්ද කොලේජ් එකේ ඉඳලා ටවුමට කිමී එක හමාරක් විතර තියනවා. දැන් අපි කිමී එකක් විතර ඇවිද ගෙන එන කොට එකෙක් කියනවා ඌට අපි යන තරම් හයියෙන් යන්න බෑ ඒ හින්දා හෙමින් යමු කියලා. එහෙම හෙමින් ගිහින් කොහොමද යකෝ ගැලරියේ ටිකට් ගන්නේ කියලා කිවිවත් මූ බර බරේ. යාලුවා නිසා දාල එන්නත් බෑ. මේ වෙන කොට අපි අර කෝච්චි බිං ගේ උඩින් ඇවිල්ලා ලෝවර් ඩික්සන් රෝඩ් එකේ පහලට එනවා. ඒ පාරේ දකුණු පැත්තේ පල්ලමේ තිබුනා ටකරං වහලවල් ගහපු ගෙවල්. ඒව ඒ කාලේ ටැක්සි කාරයෝ එහෙම හිටපු ගෙවල්. මම කෙරුවේ පොඩි ගල් දෙක තුනක් අරගෙන අර වහලවල් උඩට දැම්මා. ඩාං ඩාං ගාලා සද්දේ ඇහෙනකොට කවුද යකෝ ගල් ගහපු .........පුතා කියලා පහල හිටපු උන් කෑ ගැහුවා. කියලා වැඩක් නෑ බං පස්සෙන්ම ආපු අපේ පොර දුවන්න ගත්තා කාටත් කලින්. ගෙවල් අයිති කාරයෝ උඩට එන කොට අපි සෑහෙන දුර දුවලා. කොහෙන්ද අරූට අර හයිය ආවේ. ඕකට බුදු දහමේ කියන්නේ චිත්ත කිරිය වීර්‍ය ධාතුව කියලයි. උදේ පාන්දර ඇඳෙන් නැගිට ගන්න පණ නැතිව ඉන්න එකෙක් හදිසියේ ඇඳේ ඉන්න සර්පයෙක් දැක්කොත් උඩ විසි වෙලා ඇඳෙන් පනින්නේ අන්න ඒ ශක්තියෙන්. මේවා සැඟවිලා තියන ශක්තීන්.
ඊලඟට ගන්න තියන දේ තමයි වැඩ ඇරිලා එනකොට බස් බලාගෙන ඉන්නේ නැතුව තනියම බැරි නම් තව දෙතුන් දෙනෙක් අල්ල ගෙන පයින් එන්න පුරුදු වෙන එක. ඒක ඇඟට කොච්චර හොඳඳ. අර බස් එකේ ආපු අය බම්බලපිටියේ ඉඳන් ඩී එස් හන්දියට එනකොට පයින් ගියපු මමත් ඇවිත්. උන් අනුන්ගේ දාඩියෙන් නාලා. අපි දෙගොල්ලම ඒ ඇඳුම් හෝදන්න ඕන. ඔන්න බස් එකේ ආපු නිසා ඇඳුම් හෝදන්නේ නැතුව හෙටත් අඳින්න පුලුවන් නම් කමක් නෑ කියමුකෝ. එහෙමත් නෑ. එහෙම නම් ඒ සී කාර් එකක යන්න ඕන. එතකොට දාඩිය නොදැම්මත් අර වෙලාවම ගිහිල්ලා. ඊට පස්සේ ව්‍යායාම ඕන නම් ජිම් එකකට යනවා අර වෙලාවම ගත කරලා. පයින් කිමී 2-3ක් එන්න පුරුදු වුනා නම් ඔය දෙකම එකට කෙරෙනවා. අනික ජිම් එක ඇතුලෙදි වගේ නෙවෙයි පාරෙදි අපි වෙනස් වෙන පරිසරයක් එක්කයි ඉන්නේ.
මේවා අපේ අත්තම්මලා සීයලා ජීවත් වන ගමන්ම ලබාපු අත් දැකීම්. මේවා තමයි යහපත් ජීවන රටා. ජීවන ක්‍රමය තුලින් ලැබෙන ව්‍යායාම. ඒ කාලේ අපි කකුස්සට ගිහිල්ලා ගූගල් කරන්නේ ඇන තියාගෙන වාඩි වෙලා. එතකොට වලලු කර, දනහිස, උකුල කියන තුනෙන්ම ෆුල් නැවෙනවා. ඒ වගේම ඒ කාලේ මිනිස්සු බස් එක එනකම් කඩේ පඩිය උඩ වාඩි වෙලා පත්තරේ බැලුවේ, ප්ලේන්ටී එක ගැහුවේ ඇන තියාගෙන වාඩි වෙලා. අද ඒ ගැන කියන කොට සමහරු අහනවා යකඩ ඇන තියාගෙනද හිටියේ කියලා. මම ඕනම ඔට්ටුවක් අල්ලනවා අද ඉන්න උන්ට ඒ වගේ වාඩි වෙලා කඳ කෙලින් තියාගෙන ඉන්න බෑ. ට්‍රයි කරලා බලපල්ල මේ දැන්ම පුලුවන්ද කියලා. ඒක සමහරු ජිම් ගිහින් ස්කොටින් කියලා කරනවා. ඒ කියන්නේ ඉස්සර කකුස්සේ කරපු දේ අද ජිම් එකේ කරනවා. ලැජ්ජා නැද්ද බං බොලාට. ඕක මොකක්ද ඉස්සර කාමරේ කරපුවා අද පාක් වල කරන්නේ. අර කෝට්ටේ පාලම යට කරනවාත් මම දැකලා තියනවා. ඊලඟට මිරිස් අඹරන කොට, වාඩිවෙලා පොල් ගාන කොට, කුල්ලෙන් පොලන කොට, කුරක්කන් අඹරන කොට වගේ එදිනෙදා වැඩ වලදී ලැබුණු ව්‍යායාම වලට අද ජිම් යනවා. පොල් මිරිකන්නේ ග්‍රයින්ඩර් එකෙන්. අතේ ඇඟිලි වලට ව්‍යායාමයක් නැති නිසා ගෑනු වැඩි හරියකට ආත්‍රයිටිස්. ඒ කාලේ අපේ ගම් වල අද වගේ බඩවල් මහත ගෑනු මිනිස්සු හිටියේ නෑ. ලමයි 5/6 වදාපු අම්මලාගේ ෆිගර් එක හොඳට තිබුනා. මිනිස්සුත් එහෙමයි. බොලා දන්නවාද මම තවමත් මගේ ඇඳුම් හෝද ගන්නේ අතින් බව. ඩෙනිම් කලිසම විතරක් මැෂිමට දානවා. බාත් රූම් එක ඇතුලේ ගලක් නැති නිසා.
අර හම්බන්තොට වරායේ වගේ අපේ බාත් රූම් එකෙත් ගලක් තිබුනා නම් මම දන්නවා ඩෙනිම හෝදන විදිය මැෂිමට නොදා.

Comments

Post a Comment

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී