පහුගිය දවස් දෙක තුනේ මම බුදු දහම ගැනත් පසු කාලීනව එයට නොයෙක් පුද පූජා විධි එකතු වී ආගමක් බවට පත්වී දහම් මගේ යන්නන් වෙනුවට ආගම් අදහන්නන් ඒ වටා එකතු වූ හැටිත් මම තේරුම් අරගෙන තියන හැටියට පැහැදිලි කලා. මම හිතන්නේ මම ඔය ටික කහකඩයක් ඇඳගෙන කිවුවා නම් "ශා කාලෙකින් අහපු හොඳ බණ ටික" කියලා සමහරු කියන්නත් තිබුනා. ඒත් බොහෝ දෙනා කියන්න තිබුනා "බලන්නකෝ චීවරයකුත් දාගෙන ඒ හාමුදුරුවන්ට වටිනවාද එහෙම කියන්න. ධාතූන් වහන්සේලාට ඇට කෑලි කිවුවානේ, උන් වහන්සේලාට බලයක් නෑ කිවුවානේ. මම හිතන්නේ මෙයා අර සමන්තබද්‍රගේ ගෝලයෙක් වෙන්න ඇති" වගේ දේවල්. මම හිතනවා යම් විදියකින් අද බුදුන් වහන්සේ පහල වෙලා කිවුවොත් "මොනවාද ඔබ මේ කරන විකාර වැඩ. මම කවදාවත් අනුදැකලා නැහැ මේ වගේ ඇදහිලි, පුද පූජා. බලන්න මොන තරම් පළතුරු නාස්තියක්ද මේ කරලා තියෙන්නේ. මේ ගස් ගල් වලටවත්, දාගබ් වලටවත්, මමය කියලා ඔය ගොල්ලාම හදා ගත් පිළිම වලටවත් බෑ ඔබලාට නිවනට යන්න උදවු කරන්න. එය කර ගත හැක්කේ ඔබලාටම පමණයි. මම ඔබලා වෙනුවෙන් සියල්ල අතහැරලා ගිහින් ඔබලා දුකට පත් වන හේතුවත්, එය නැති කරන මාර්ගයත් සොයා ගෙන කියලා දුන්නා මීට අවුරුදු 2600 කට කලින්. මේ වෙන කොට ඉතා විශාල පිරිසක් ඒ මාර්ගයේ ගිහින් නිවන සාක්ෂාත් කරගෙන තියනවා. නමුත් වර්තමානයේ මේ ඔබලා කරන්නේ මුලුමනින්ම මිත්‍යාදෘෂ්ටික දේවල්. මේ මිත්‍යා දිට්ටිය නිසා නිවන් මග ඔබලාට අහිමි වෙනවා. ඒ නිසා යුහුසුලුව, අප්‍රමාදව, මේ දැන්ම මේ මිත්‍යා අදහස් වලින් අයින් වෙලා සම්මා දිට්ටිය ඇති කරගෙන නිවන් මගට පිවිසෙන්න" කියලා කිවුවොත් මොනවා වෙයිද.
කවදාවත් ජීවමාන බුදුන් වහන්සේ දැකලා නැති ඒත් බුදු පිළිම දිහා බලලා උන් වහන්සේ මෙන්න මේ වගේ වෙන්න ඇති කියල හිතා ගෙන ඉන්න මිනිස්සු උන් වහන්සේ කියපු දේ පිලි නොගෙන "ඔහේ කොහොමද බුදු හාමුදුරුවෝ වෙන්නෙ මේ ඉන්නේ අපේ බුදු මෑණියෝ" කියලා බුදු පිළිමයක් පෙන්නලා කියනවා ශුවර්. ඒ වගේම සිවුර කරට වඩම්ම ගෙන ආපු කහකඩයෝත්, සුදු ඇඳගෙන ආපු දේශපාලකයෝත් බුදුන් වහන්සේගෙන් බුද්ධාගම බේරා ගන්න උන් වහන්සේව එලවනවත් ශුවර්. මොකද උන් වහන්සේගේ දේශනා එක්ක මුන් වහන්සේලාට පැවැත්මක් නැති නිසා. මම හිතන්නේ මේ නිසා වෙන්න ඕන බුදුන් වහන්සේලා පහල වෙන්නේ ඒ සඳහා සුදුසු කාල වල විතරයි කියලා. මේ වගේ කාලවල උන් වහන්සේලාට පවතින්න බැරුව ඇති. මම මේ කියපු දේට තද වෙලා නැට්ට කරට ගන්නේ නැතුව ඒක ඇත්තද නැද්ද කියලා ප්‍රඥාවෙන් විමසලා බලන්න කියලා මම හැමෝටම කියනවා. මගේ මේ පෝස්ට් බලන අය එන්න එන්නම අඩුවෙන බව පෙනුනත් මට කියන්න ඕන දේ ඉවර වෙන කම් ලියනවා කියලා මම පටන් ගැන්මෙදිම කිවුවා.
මම කිවුවා මෝඩ ශ්‍රද්ධාවෙන් මොට කර ගන්නේ නැතිව විවෘත මනසකින් හිටියොත් ආගමේ නමින් සිද්ධ වන විකාර වැඩ දකින්න පුලුවන් කියලා. මම ශෙයා කරපු අර ගිජ්ජකූඨය මුදුනට ඇවිත් එතන තියන පිළිමය ඉස්සරහා සල්ලි, රත්තරන් ඇතුලු නොයෙක් දේ පූජ කරන එවුන් දකින්නේ නෑ ඒවා ගෙනියන්න බලා ගෙන ඉන්න අර සුදු ඇඳගෙන ඉන්න ඉන්දියන් කාරයාව. මට පුලුවන් කමක් තිබුනා නම් හෙමිහිට අත දාලා අර සල්ලි ටිකක් අරගෙන පහල ඉන්න දුප්පත් උන්ට දෙනවා. ඒත් අරූගේ ඇස් හරියට ගිජු ළිහිණියෙකුගේ වගේයි. හැම තැනකම ඒ තැන් බද්දට ගත්ත ඔය වගේ අය ඉන්නවා. උන් ඒ ලැබෙන ආදායමෙන් ටිකක් පාලන අධිකාරියට දීලා ඉතිරිය උන් තියා ගන්නවා හරියට අර කොලඹ ත්‍රී වීල් පාර්ක් වල වගේ. ගිජ්ජ කූඨයට යන්න තියන කේබල් කාර් එක හොඳට හොයනවා. අපිත් එක්ක ගිය අයගෙන් මමත් පුතාත් තව එක්කෙනෙකුත් විතරයි පයින් නැග්ගේ අනිත් අයට යන්න බැරි උනා ඒ තරම් පෝලිම කේබල් කාර් එකට. ඒ වගේමයි සිදුහත් කුමාරයා දුෂ්කර ක්‍රියා කරපු තැන කියලා කියන ගයාවේ කන්දක් උඩ තියන දුංගේෂ්වරී කියන තැන. එතන අර හොර තෙල් වෙදාගේ තැන වගේ බොහෝ දෙනා අහිංසක වන්දනා කාරයින් ගසා කන තැනක්. උඩට නගින්න බැරි අයව එක්ක යන්න දෝලා කාරයෝ, බයික් කාරයෝ හරියට. යන්න එන්න බයික් එකේ රු. 100 අරගෙන උඩට ගියාට පස්සේ බහින්න තව 100 ඉල්ලනවා. උඩට එක්ක ආපු එකා ගිහින්. හැරමිටියට රු. 10 ක් කිවුවාට ආපහු එනකොට 25 ක් දෙන්න ඕන. අර වෙදාගේ බුලත් අත් වලින් වගේ හැරමිටියකින් දවසකට හොඳ ගානක් හොයනවා. දෝලාවේ යන්න එන්න එක්කෙනෙකුට 250. ඉතින් මේ තැන් වල යම් බලයක් තියනවා නම් මේ ශ්‍රද්ධාවෙන් අන්ධ වෙලා එන අහිංසක මිනිසුන්ට මෙහෙම වෙයිද.
ඒ තැන් වල ඉන්නවා සිංදු කියන හිඟන මිනිස්සු. ඒ හුඟාක් අය අන්ධයි. අර ශ්‍රද්ධා කාරයෝ උන්ට සල්ලි දෙන්නේ නෑ. මම හිතන්නේ ඒවායේ ආනිසංස නැති නිසා වෙන්න ඇති. මම නම් ඒ වගේ අයට සල්ලි දීලා පොඩි ආතල් එකකුත් අරගෙන තමයි යන්නේ අර අපේ කාලෝ සර් වගේ. මට එහෙම කලා කියලා මේ වෙන තුරු කිසිම කරදරයක් වෙලා නෑ මගේ යාලුවාගෙන් අහන බැණුම් ඇරෙන්න. මගේ යාලුවා බැන බැන යනවා. ඒත් මගේ ලොකු කොල්ලා මාව විඩියෝ කරනවා. වාසනාවට එයාත් බොහොම විවෘතව දකින කෙනෙක් පොඩි කාලේ ආගම් ඔලුවට දාලා අන්ධ නොකරපු නිසා. දුංගේෂ්වරී වලදී ගත්ත කෑලි ටිකක් මම අද දාන්නම් නැත්තන් කවුරු හරි හිතන්න පුලුවන් මම බොරු කියනවා කියලා. මේ වගේ තැන් තව එමටයි. කන්ද මුදුනේ තියන සිදුහත් කුමාරයා දුෂ්කර ක්‍රියා කරා කියන ගල් ගුහාව ඇතුලෙත් දෙන්නක් ඉන්නවා එතෙන්ට වැටෙන සල්ලි ගන්න. අපි මුලින් ගියපු තුන් වතාවකම උන් හිට්යේ නෑ. ඒත් පහුගිය වතාවේ හිටියා. හරියට අර දැන් ගාලු පාරේ වාහන වලින් පාකින් වලට සල්ලි ගන්න පොරවල් ඉන්නවා වගේ. ඒත් ඒවා දකින්න විවෘත මනසකින් යන්න ඕන. ආගමට වහල් වෙච්ච අයට මේවා පේන්නේ නෑ. දේශපාලන වහලුන්ට වගේම තමයි.
මම හිතන්නේ මම ටිකක් පිට ගියා. ඉතින් මට පහුගිය පෝස්ට් වලින් කියන්න ඕන වුනේ අපේ මිනිස්සු තුල ඇති කරලා තියන මිත්‍යා විශ්වාස නිසා උන් දුකට කරදරයට පත් වෙන හැටි. දාගබ් වල, පිළිම වල, බෝ ගස් වල බලයක් තියනවාය ඒවාට අපට පිහිට වෙන්න පුලුවන්ය කියන මතය නිසා මිනිස්සු පුරුදු වෙලා තියනවා වියදම් කරගෙන දුක් විඳගෙන දුර බැහැර ඉඳන් ඇවිත් ඇවිත් නොයෙක් නොයෙක් දේ ඉල්ලලා බාර හාර වෙන්න, රෙදි කෑලි එල්ලන්න. ඉතින් රුවන්වැලි සෑය ලඟට ගිහින් ප්‍රාර්ථනා කරපු දේ උනේ නැතුවාම යනවා ශ්‍රී මහා බෝධිය ලඟට, එතනින් පිළිම ලඟට. ඒ එකකින්වත් හරි යන්නේ නැති වුනාම පෙර කර්මය කියලා නිකම් ඉන්නවා. ලෙඩක් ගැන නම් බාර උනේ ඒ ලෙඩේ උග්‍ර වෙලා ඒකෙන් මැරිලා යනවා. ඉතින් මේකම නෙවෙයිද අර දංකොටුවේ තෙල් වෙදා ලඟ කෙරෙන්නෙත්. ඉස්පිරිතාලේ බෙහෙත් වලින් හොඳ කරන්න බැරි කල් පවතින ලෙඩ හොඳ කර ගන්න කියලා අර කෝකටත් තෛලය ගාගන්නවා. දවස් ගානක්ම ගාලා හොඳවුනේ නැතුවාම වෙදා කියන්නේ හැම ලෙඩාවම සනීප කරන්න බෑ. ඒකට පිනකුත් තියෙන්න ඕන කියලා. හැබැයි මුලින්ම කියන්නේ විනාඩි පහකින් අට දෙනෙකුට ඇස් පෙනීම ලබා දුන්නා එක තෙල් පාරෙන් කියලයි. ඒවාට විරුද්ධව කතා කලොත් අර ගුදයා වගේ උන් රංචුවක් ඉන්නවා ඒවාට උත්තර දෙන්න. දැක්කානෙ උදයාගේ ලියපු බාසාව. ඌ ටිකක් සංවර උනා උගේ පෝස්ට් බ්ලොක් කරාට පස්සේ. වෙදාගෙන් සනීප වුනේ නැති උන් ඊලඟට ඒ වගේ තව එකෙක් හොයා ගෙන යනවා හරියට රුවන්වැලි සෑයෙන් කරගන්න බැරි වුනාම ශ්‍රී මහා බෝධියට යනවා වගේ.
ඒ නිසා අපේ රටේ මිනිස්සු මේ තත්වයට පත් වෙලා හොරුන්ට තියන තුට්ටු දෙකත් වියදම් කරලා මැරිලා යන තැනට උන්ව ගෙනාපු එකට මේ රටේ ආගම මුලුමනින්ම වග කියන්න ඕන. මිත්‍යාවෙන් අන්ධ කරලා ඕනම දෙයක්, ඕනම කෙනෙක් විශ්වාස කරන තත්වයට පත් කරලා තමන්ට තමන්ව විශ්වාස කරන්න බැරි තත්වයට පත් කරලා තියෙන්නේ ඒකෙනුයි. මගේ මිත්‍ර ආරියසේන ගමගේ මහත්තයා අසාධ්‍ය වෙලා වැටිලා ඉන්න කොට වත් ඔය මිත්‍යා වැඩ කරන්න දුන්නේ නෑ. බෝධි පූජා වගේ දේවල් මොනවත් කරන්න දුන්නේ නෑ. මගේ අම්මා බඩේ ගෙඩියක් පිපිරිලා අමාරු වෙච්ච වෙලාවේ ජයවර්ධනපුර රෝහලේ ඔපරේෂන් කරද්දී මට නොයෙක් අය කතා කලා බෝධි පූජා කරන්න යන්න හරිම ආනිසංස තියනවා කියලා. මම කිවුවා එහෙම නම් ඔපරේෂන් කරන්නේ මොකටද බෝධි පූජාව කරාම හරිනේ කියලා. අම්මා දවස් පහකට පස්සේ නැති වුනා. ඒත් මට නිකමටවත් හිතුනේ නෑ බෝධි පූජා කරා නම් හරි යන්න තිබුනා කියලා. හදිසියේ බෝධි පූජා කරලා තිබුනා නම් කියන්නේ ඔය ඉතින් ගෙනාපු ආයුෂ ප්‍රමාණය තමයි කියලා. පහු ගිය දවසක වෑන් එකක හැප්පිලා මැරුණු දරුවකුගේ පාංශූකූලයට ආපු හාමුදුරු කෙනෙක් දෙසුවා මේ ළමයා පෙර කරපු අකුසල් පල දීලා තමයි මෙහෙම අකල් මරණයක් වුනේ. දෙමවුපියොත් ඒ පාප කර්මයට සහභාබී වෙලා තියනවා. ඒකයි අද ඒ දෙන්නාත් විඳවන්නේ. ඒ නිසා අප්‍රමාදවම පින් කර ගන්න කියලා. කවුද ඇහුවා මොනවාද කරන්න ඕන කියලා. එතකොට වැදෑරුවා හොඳම පුණ්‍ය කර්මය තමයි සංඝගත දක්ෂිණාවක් දෙන එක කියලා. ඒ කියන්නේ අපට කන්න දීපල්ලා කියලා. ඔන්න ඕක තමයි ආගම.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී