මගේ යාලුවා වෙච්ච හසිතයා ගිය ඉරිදා පත්තරෙනුත් මට බැක් අප් එකක් දීලා තිබුනා. ඒකේ තිබුන විස්තර සේරම ඒ කාලේ මම දාපු මගේ රාජකාරි කාලයේ වෙච්ච දේවල් ගැන පෝස්ට් වල තිබුනා. මේ කෙහෙල් මල් දේශපාලනයක් ගැන කියන්න ගිහින් ඒ කතාව අර රත්නපුරයේ සබරගමුවේ පලාත් අධ්‍යක්ෂ හැටියට ආපු තැනින් නවත්තන්න උනා. රත්නපුරයේ අත්දැකීනුත් නියමයි. අවුරුදු දහයක් පුරාවට මහ ඇමතිලා පස් දෙනෙක් එක්ක වැඩ කරපුවා, ඒ ගොල්ලා කියන දේවල් නොකරාම කරපු තර්ජන, ඒකෙනුත් මහීපාල හේරත් කියන පොර කරපු ජීවිත තර්ජන වගේ ඒවා ගොඩක් තියනවා. ඒ වගේම කිසිම දේශපාලන බල පෑමක් නොකරපු හොඳ දේශපාලකයෙක් වුනු මොහාන් එල්ලාවල මහත්තයා මහ ඇමති කාලේ බොහොම සැහැල්ලුවෙන් හිටපු වගේ දේවල්. ඒත් ඒවගේ හොඳ මනුස්සයින්ගෙ ආයුෂ කෙටියි.ඉක්මනට යනවා. හොරුන්ගේ, අපරාධ කාරයින්ගේ, ආයුෂ දිගයි.
ඉතින් හසිතයාගේ ලිපියේ බ්‍රිගේඩියර් අල්ගම ගැන කියලා තිබුනා. මිනිහාගේ කට නිසා මිණීමරු අල්ගම කියලා කිවුවත් කිසිම අහිංසක කෙනෙකුට එයාගෙන් කරදරයක් වුනු නැති බව මම හොඳටම දන්නවා. ඒත් මගෙත් ඉස්කෝලේ වෙච්ච මහින්දයෙන් ආපු මිණීමරු උඩුගම්පොල කෙලවරක් නැතුව අල්ලපු අල්ලපු කොල්ලෝ මැරුවා. ඌ අපේ ඉස්කෝලෙන් බිහි වෙච්ච හිට්ලර් කෙනෙක්. ඉස්කෝලෙට අවනම්බුවක්.
ඒ එක්කම මට හුඟාක් උදවු කලා ඒ කාලේ රුහුණ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය වරයා වුනු මේ වෙන කොට ජීවතුන් අතර නැති නීල් ෆොන්සේකා මහත්තයා. ජවිපෙ පලවෙනි හර්තාල් එකේදී බය වෙලා අධ්‍යක්ෂ කම දාල ගියපු හාදයා වගේම ඒක භාර ගන්න බය වෙච්ච අනිත් විශේෂඥ වෛද්‍ය වරු කිසි කෙනෙක් මට උදවු කලේ නෑ. මම බය නැතිව ඒක භාර අරගෙන කරගෙන යන එකට උන්ට ලොකු ලැජ්ජාවක් උනා. ඒ ගොල්ලා හිටියේ මම ඇන ගන්න කම්. පස්සේ දවසක අර අධ්‍යක්ෂ කම දාලා ගියපු මේ වෙන කොට යන්නම ගිහින් තියන හාදයා කියලා තිබුනා මම ජේවීපී කාරයෙක් එකයි මම මේක කරගෙන යන්නේ කියලා. එතකොට මගේ වාසනාවට එතන හිටියා දැනට ජීවතුන් අතර නැති පොලිස් අධිකාරී කෙනෙක් වුනු ලලිත් ගුණසේකර මහත්තයා. එයා කියලා තිබුනා ඒක කීයට වත් වෙන්න බෑ කියලා එහෙම කියන්න හේතුවත් එක්ක. එහෙම නොවුනා නම් සමහර විට උඩුගම්පලයා මාවත් ඉවරයක් කරන්න තිබුනා. එහෙම උනා නම් එතකොට මාස ගානක් වෙච්ච මගේ කෙල්ලට තාත්තා කෙනෙක් දකින්න ලැබෙන්නේ නෑ.
මෙන්න මේ වගේ වෙලාවක තමයි අර කොල්ලෝ පස් දෙනා හමුදාවෙන් අරගෙන ගිය වෙලාවේ මම වැටිලා තිබුණු කරදරය දැකලා දෙවි කෙනෙක් වගේ මහාචාර්ය නීල් ෆොන්සේකා මහත්තයා මගේ නිල නිවසට ඇවිත් ඇහුවේ උඅදවුවක් ඕන නම් කියන්න කියලා. එතකොට මම කිවුවා මේ කොල්ලෝ පස් දෙනා බේර ගත්තොත් මට සෑහෙන්න ලකුණු වැටෙනවා ඉස්පිරිතාලේ ඉන්න සුලු සේවකයින්ගෙන්. ඒත් මම හමුදාවේ කවුරුත් අඳුනන්නේ නෑ කියලා. එතකොට එයා කිවුවා මීට අවුරුද්දකට විතර කලින් අල්ගම මහත්තයාගේ බෝලයක් ලොකු වෙලා එයා ඔපරේට් කලා ඒ නිසා ගිහින් කතා කරමු කියලා මාත් එක්ක ආවේ බූස්ස ආමි කෑම්ප් එකට ආවේ. මේ ටික මම ලිවුවේ හසිතයාගේ කතාවට ඌණ පූරණයක් විදියටයි.
මම මේ ටික ලිවුවේ දැනට ජීවතුන් අතර නැති අල්ගම මහත්තයාටත්, මහාචාර්ය නීල් ෆොන්සේකා මහත්තයාටත් ඒ වගේම පසු කාලෙක නියෝජ්‍ය පොලිස් පති වෙලා විශ්‍රාම ගිහින් මෑතකදී අප අතරින් වියෝ වුණු ලලිත් ගුණසේකර මහත්තයාටත් කරන ගෞරවයක් හැටියටයි.
මේ එක්ක මම ශෙයා කරනවා හසිතයාගේ පත්තරේ දාලා තිබුණු කතාව.හැබැයි ඌ දාලා තියෙන්නේ මගේ කැතම ෆොටෝ එකක්. ඌ ඉරිසියාවට එහෙම කලාට බොලා දන්නවානේ මම හැන්ඩියා කියලා. මට ඒ ඇති.

Image may contain: 5 people, including Nimal Edirisinghe

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී