බුදුදහම, සමානාත්මතාවය සහ සමාජවාදය

බුදුන් වහන්සේගේ දහම් මග අනුව යන බෞද්ධයින් වසන රටකට ඉතාම හොඳින් ගැලපෙන්නේ සමාජවාදී ආර්ථික ක්‍රමයකි. මා එසේ කියන්නේ මේ දෙකම බොහෝ අංශ වලින් සමාන කම් පෙන්වන හෙයිනි. බුදුන් දෙසූ දහමේ වැදගත්ම අංගයක් වන සමානාත්ම තාවය සමාජවාදී ආර්ථික ක්‍රමයක් තුල දැකිය හැකිය. එනම් සියල්ල සමසේ බෙදී යන ක්‍රමයක්. එමෙන්ම අල්පේච්ච ජීවිතයක්, තමාට අවශ්‍ය දේ පමණක් පාවිච්චි කිරීම හෙවත් ප්‍රත්‍ය ආවේක්ෂනය, තන්හාව හා වෛරයෙන් මිදීම, මුදල් ඉපැයීමේදී යහපත් කර්මාන්තයන්හි යෙදීම ආදියද බුදු දහමේ අනුගමනය කල යුතු කරුණු වේ. ඉදින් ශ්‍රී ලංකා වාසීන් යනු පැවැත්මෙන් බෞද්ධයින් නම් ඔවුන් නිතැනින්ම කැමති විය යුත්තේ ශ්‍රී ලංකාව තුල සමාජවාදී ආර්ථික ක්‍රමයක් සහිත ආණ්ඩුවක් බිහි වනු දැකීමටය. මන්ද එසේ වූ විට එය තම බෞද්ධ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් ජීවත් වීම පහසු බැවිනි. නමුත් අපේ රටේ ජනතාව සමාජවාදී සමාජයකට කැමැත්තක් නොදැක්වීම තුලින් ගම්‍ය වන්නේ ඔවුන් බොහෝ දෙනෙක් බුදුන් පෙන්වූ මාර්ගයේ නොයන බවයි. තම ජීවිතයේ කිසි දිනක පන් සිල් වලින් එකක් වත් රැක නොගත් අය බෞද්ධ නායකයින් කියා හඳුන් වන්නේත් ඔවුන් පිටු පස යන්නේත් එබැවින්ය. ඕනෑම ජඩ වැඩක් කර සුදු පිරුවට හැඳ ලොකු මල් වට්ටියක් රැගෙන යන ඕනෑම වසලයකු බෞද්ධයකු ලෙස සැලකෙන්නේ එබැවිනි.
එබැවින් ඉදිරියේදී පැවැත් වීමට යෙදෙන මහ මැතිවරණයේදී සමාජවාදී රජයක් ඇති කිරීමේ අරමුණින් කිසිවකු චන්දය දෙනු ඇතැයි මා විශ්වාස නොකරමි. නමුත් මා විසින් මීට පෙර කරන ලද පොස්ට් එක අනුව දැනට පවතින ප්‍රධාන පක්ෂ දෙකම චෞර නායකයින් හා අනුගාමිකයින්ගෙන් සමන්විත පක්ෂ බැවින් සිහි කල්පනාව ඇති අයකුට ඒ පක්ෂ දෙකින් එකකට වත් චන්දය දිය නොහැක. 1977 න් පසු ඔවුන් විසින් දිගින් දිගටම කර ඇත්තේ පාරේ සිඟාකන සිඟන්නාගේ පටන් සියලු දෙනාගෙන්ම සූරා ගන්න බදු මුදල් හා දෙකෝටි විසි ලක්ෂයක් වන අප රට වැසියන් එක් එක් අයකු ලක්ෂ පහමාරක ණය කරුවන් කර ගත් මුදල් වලින් ඉතා වැඩි කොටසක් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පාවිච්චි කිරීමද එවැනිම විශාල කොටසක් සොර කම් කිරීමද පමණි. මෙම චෞරයින්ගේ කූඨප්‍රාප්තිය සිදු වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුලදීය. සොරකම් කිරීමට අමතරව තම දරුවන්ගේ විනෝදාංශ වන රේස් පැදීම් ව්ලට කෙතරම් මුදලක් නාස්ති කර ඇත්ද. මහින්ද මහතා අගමැති වීමට පෙර මෝටර් බයිසිකලයක් වත් නොතිබූ ඔවුන් පසුව ලැම්බෝගිනි වාහන ගත්තේ කොහෙන් ලැබුණු මුදලින්ද. ලක්ෂ එක හමාරේ සපත්තු, ලක්ෂ අටේ අත් ඔරලෝසු ලැබුනේ කොහෙන්ද. තම දෙමාපියන්ගේ සොහොන් කෝටි දහයක් පමණ වැය කොට ඉදි කලේ කාගේ මුදලින්ද. මුදල් ලැබුණු සැටි ඇසූ විට නොදන්නා අයකු ඩේසි ආච්චිට මැණික් මල්ලක් ගෙනත් දුන් බවත් පසුව වෙනත් අයකු පැමිණ එය රැගෙන සල්ලි මල්ලක් දුන් බව පැවසීමට තරම් ඔවුන් මුග්ධ වූහ. මෙයින් පෙනෙන්නේ ඔවුන් නීතිය තඹයකට මායිම් නොකරණ බව නොවේද.
මොවුන්ගේ සොරකම් ඇල්ලිමට යයි කියා පැමිණි රනිල් තමාගේම රජයක් පිහිටුවීමට පෙරම දින පනහක් ඇතුලත්දී ඒ සඳහාම ඔහු විසින් ගෙන්වා ගත් අර්ජුන් මහේන්ද්‍රන් ලවා රුපියල් බිලියන 150 ක් මහ දවල් භාණ්ඩාගාරයෙන් සොරකම් කරවා ගැනුනි. මේවායින් මුදල් ගත් රවි කරුණානායකගෙන් ඒ පිලිබඳව ඇසූ විට ඔහු කීවේ තමාට ඒ ගැන මතක නැති බවයි. තම බිරිඳට මහෙන්ද්‍රන් නිවසක් දුන් බවද ඔහු නොදන්නා බවයි. එය ඩේසි ආච්චිගේ මැණික් මල්ල හා සමාන පිලිතුරකි.රනිල්ගේ රජයේ සෑම අයෙක්ම මෙම මුදල් ලබා ගත් අතර සේමසිංහ යන අය විසින් බැංකු හොරකමක් සිදු නොවේ යයි කියමින් පොතක්ද පල කලේය. තවද මෙරට දුක් විඳින මගී ජනයාගේ පහසුව පිණිස මෙහි විදිලි දුම් රිය පද්ධතියක් ඉදි කිරීමට පැමිණි ආයෝජකයන්ගෙන් බිලියන ගණනින් කොමිස් ඉල්ලා ප්‍රතික්ෂේප වූ විට ඔවුන් ආපසු යැවුවේද සේමසිංහය. එමෙන්ම මෙරටට හිස රදයක් වී ඇති කුණු මිලයට ගැනීමට ආයෝජකයින් පැමිණි විටද කොමිස් නොලැබුණු නිසා එයටද ඉඩ නොදුන්නේ රනිල්ගේ ඇම්බැට්ටයින් පිරිසය.
එබැවින් දේශපාලන වහලුන් නොවෙන සියල්ලන්ගේම යුතු කම වනුයේ මැතිවරණය දින හිමිදිරියේම චන්ද පොලට ගොස් ඔබ තුමන් සියල්ලම එකයි හෝ තොපි ඔක්කොම එකයි යනුවෙන් චන්ද කොලය මත ලියා එය පෙට්ටියට දැමීමයි. චෞර පක්ෂ දෙකම එපා වී සිටින සියල්ලන්ම මෙසේ කලහොත් එය ලොකු ප්‍රතිශතයකි. හරියට කලහොත් 30% ක් පමණ අගයක් ගනු ඇත. එවිට එය හොඳ පණිවිඩයක් සොරුන්ටද, අන් අයටද සෙසු ලෝකයටමද දෙනු ඇත. එපමණක් නොව එවිට හොඳ පිරිසිදු කණ්ඩායමක් ඉදිරියට එනු ඇත. අර 30% හොඳ පදනමක් වන හෙයින් එම පදනම මත පිහිටා ඉදිරියට යාමට ඔවුන්ට හැකි වනු ඇත. එවිට අවුරුදු පහක් ගොස් ඊලඟ මැතිවරණයේදී යහපත් රජයක් බිහි කර ගෙන රට මුදවා ගැනීමට හැකි වනු ඇත. අප එසේ කිරීමෙන් මෙම චෞරයින්ගෙන් එක කොටසක් බලයට පැමිණීම වැලැක්විය නොහැකි වූවත් බලයට එන චෞරයින් වඩා පරිස්සම් වනු ඇත.
මෙම අදහස මුනින්ම ගෙන ආයේ අපවත් වූ පූජ්‍ය ගංගොඩවිලා සෝම හිමියන් විසින්ය. ඒ මීට අවුරුදු 15 ට පමණ ඉහතදීය. එදා උන් වහන්සේ කී දෙය අසා ඒ ලෙස කලා නම් මේ වන විට අප රට මීට වඩා ඉතා හොඳ තත්වයක තිබෙනු ඇත. මුන් ඔක්කොම එකයි පවසමින් චන්දය ප්‍රකාශ නොකොට සිටිම ඉතා අනුවණ ක්‍රියාවකි. චන්දය යනු අපේ අයිතියකි. එය සුදු අධිරාජ්‍යවාදීන් විසින් බන්දේසියක බහා අප වෙත දුන්නක් නොව අප මුතුන් මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් කල සටන් වල ප්‍රථිපලයකි. වීර පුරන් අප්පුගේ පටන් සියලු දේශප්‍රේමීන් මේ වෙනුවෙන් සටන් කලහ.//ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කරමින් මා මේ පිලිබඳව දීර්ඝ විස්තරයක් මීට ප්‍රථම කර ඇත්තෙමි.// අවසානයේ 1937 දී ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ තෝරා ගත් ප්‍රභූන් පිරිසක් හට පමණක් චන්ද බලය දෙනු ලැබූහ. දිගින් දිගටම කරන ලද අරගල වල ප්‍රථිපලයක් ලෙස 1947 දී සෝල්බරි ව්‍යවස්ථාව මගින් සර්ව බල චන්ද බලය ලබා දුන්හ. පාර්ලිමේන්තුව යන නමද පැමිණියේ ඒ සමගය. ඉන් පසු 1970 දී ජනරජ ව්‍යවස්ථාව මගින් බ්‍රිතාන්‍යය සමග තිබූ සියලු බැඳීම් අවසන් කොට පාර්ලිමේන්තුව යන නම පවා ජාතික රාජ්‍ය සභාව ලෙස වෙනස් කලහ. ඉන් පසු පැමිණි රට විනාශ කිරීමේ මූලිකයා වූ ජේ ආර් විසින් නැවත ව්‍යවස්ථාව වෙනස් කොට සොරුන්, මංකොල්ල කරුවන්, මිණීමරුවන්ට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි වන ලෙසට දැනට පවතින ව්‍යවස්ථාව ගෙන එන ලදී. එහි උපරිම විපාක අපි 2005 පටන් අද වන තුරු විඳිමින් සිටින්නෙමු. එම ව්‍යවස්ථාව අමු අමුවේ මුල් වරට උල්ලංඝණය කරනු ලැබුවේ සරල ජනපති යයි පවසමින් බලයට පැමිණි වර්ථමාන ජනාධිපති විසිනි.
මා නම් දැනට සිතා ගෙන සිටින්නේ වෙනත් විකල්පයක් නැති වුවහොත් මගේ චන්දය ජවිපෙ වෙත ලබා දීමටය. එහෙත් එසේ කරන ලෙස මම ඔබෙන් ඉල්ලා නොසිටිමි. කැමති කෙනෙක් වෙතොත් එසේ කරන්න. නමුත් කෙසේවත් මෙම එජාප, ශ්‍රීලනිප, පොහොට්ටු චෞරයින්ට ඔබේ චන්දය නොදෙන ලෙසත් එය අපතේ නොයවා කලින් කී ලෙස ප්‍රකාශ කරන ලෙසත් දශක හය හමාරක් තිස්සේ මෙරට සෑම ක්ෂේත්‍රයක්ම හොඳින් අධ්‍යයනය කර ඇති මේ මහළු දොස්තර ජාත්‍යාලයෙන් යුතුව ඔබ සැමගෙන් ඉල්ලා සිටී. ඒ මේ මහළු දොස්තරට ඔහු තරුණයකුව සිටියදී 1974 දී ආචාර්ය ඇන් ඇම් පෙරේරා මහතා කී ලෙස ඔබගේ දරු මුණුපුරන්ට නිවහල්ව ජීවත් වීමට රටක් ඉතිරි කරදීම සඳහාය.
එය කිසිසේත්ම මහළු දොස්තරගේ ඉදිරි සුඛ විහරණයක් සඳහා නොවන්නේමය.ඔබ සියලු දෙනාටම බුදුන් හා දහම් සරණයි.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී