මගේ ජීවිතයේදී අහම්බෙන් හම්බ වුනු තවත් අපූරු දේශපාලඥයෙක් තමයි කලවානේ මන්ත්‍රී වෙලා හිටපු සරත් මුත්තෙටුවෙගම මහතා. 1975 දී ජේ ආර් ගේ ලනු කාපු ඒ කාලේ "මෝඩ පුතා" කියලා නමක් වැටිලා තිබුනු අනුර බණ්ඩාරනායකගේ කීමට සිරිමා සමගි පෙරමුණ කඩලා දැම්මාට පස්සේ මේ රටේ තිබුණු වාමාංශික බලවේගය බිඳ වැටුනා. ආහාර ද්‍රව්‍ය වල තිබුනු හිඟයත් ඒවා ගන්න පෝලිම් වල ඉන්න වෙච්ච මිනිස්සු ජේ ආර් ගේ සෑම වැඩිහිටියෙකුටම ධාන්‍ය රාත්තල් අටක් නොමිලේ දෙනවා කියලා දීපු ලණුව ගිලලා අපේ බඩජාරි මිනිස්සු මිනිහාට 5/6 ක බලයක් දුන්නා. ඒ වෙලාවේ කලවාන ආසනයත් යූඑන්පී එකට ගිහින් පිලපිටිය මහත්තයා මන්ත්‍රී වුනත් ඒ පත්වීම නීති විරෝධීයි කියලා මුත්තෙට්ටුවෙගම මහත්තයා මැතිවරණ පෙත්සමක් දැම්මා. ඒක විභාග කරලා පිලපිටිය මහත්තයාගේ පත් වීම අවලංගු වුනා. ඒ වෙලේ ජේආර් ෆුල් ට්‍රයි කරත් උන්ගේ පක්ෂයේ එකෙක්ම ආයිත් පත් කරගන්න. සරත් ලොකු ගේමක් දීලා අතුරු මැතිවරණයක් අරගෙන දිනලා පාර්ලිමේන්තුවට ආවා. මෙහෙම කිවුවට ඒක හරිම දිග කතාවක්. ජේආර් කොයි තරම් ප්‍රජාතන්ත්‍රවාදය පාගලා දැම්මාද කියන එක තේරුම් ගන්න පුලුවන් ඒක කතාවෙන්. ශ්‍රී ල නි ප ය මන්ත්‍රී ගාන 9කට බැහැලා විපක්ෂ නායක කම ද්‍රවිඩ එක්සත් පෙරමුණේ අමිර්තලිංගම් මහතාට ලැබිලා තිබිච්ච ඒ කාලේ විපක්ෂයේ එකම හඬ වුනේ සරත් මුත්තෙටුවගම මහත්තයායි.
අන්තිම අවුරුද්දේ මෙඩ්ඩෙක් වෙලා හිටියත් දේශපාලනය කියන එකේ "අ"යනු "ආ"යනු වත් නොදැන හිටපු මමත් 1977 දී ජේ ආර්ට චන්දය දුන්නා. ඒ කාලේ පලවෙනි අවුරුද්දේ හිටපු මගේ රූමා ජවිපෙ මෙහෙයවපු විමුක්ති ගී වලට යන කොට මම ඌට කිවුවා "යකෝ දොස්තරෙක් වෙලා ජොලියේ ඉන්න ඕනේ නම් ජේ ආර් ට චන්දය දීපන් පිස්සු කෙලින්නේ නැතුව " කියලා. මට වඩා අවුරුදු 3/4 බාල වුනත් ඒ වෙන කොටත් දේශපාලන දැනීමක් තිබුණු ඌ මට හිනා වෙලා නිකම් හිටියා. සමහර විට මම සීනියර් එකෙක් නිසා හරි එහෙම නැත්තම් දේශපාලනය ගැන දන්නේ නැති ගොබ්බයෙක් කියලා හිතලා හරි වෙන්න ඇති ඌ එහෙම කලේ. මේ වෙන කොට විශේෂඥ වෛද්‍ය වරයෙක් වෙලා අමාත්‍යාංශයේ ඉතා වැදගත් තනතුරු හොබවපු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා තනතුරු ලබාපු එයා තවමත් ඒ පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්.
ඉතින් ටිකෙන් ටික ජේ ආර්ගේ වැඩ කටයුතු බලාගෙන කොට මට ටික ටික වැටහෙන්න පටන් ගත්තා ජේ ආර් රටේ මිනිස්සු රවට්ටපු විදිය. අර ධාන්‍ය රාත්තල් අට එහෙම නැත්තම් ඒ කාලේ කවුරුත් කියපු ජේ ආර් ගේ "ඇට අට" ගැන අහන කොට මෑන් කිවුවේ දැන් ඕන තරම් ඒවා වෙලෙඳ පොලේ තියන නිසා ඕන කෙනෙකුට ගිහින් ගන්න පුලුවන් කියලා. ඒක ඇත්තයි. අර 1974 දී සීනි කොලඹ කොහේවත් නොතිබුනා වගේම අනිත් ආහාර ද්‍රව්‍යත් වැඩි මිලට වත් ගන්න තිබුනේ නෑ. ඒ හිඟය නිසයි මිනිසුන්ට පෝලිම වල ගිහින් සීමා සහිත ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් ගන්න වුනේ. ඒත් මිල අඩුයි. කලු කඩ කාරයෝ හිටියේ නෑ අද වගේ වැඩි මිලට බඩු විකුණන. සියල්ල රජය මගින් පාලනය කලා. හාල් හිඟයක් එන කොට හාල් නිපදවන ප්‍රදේශ වලින් ගෙනත් වැඩි මිළට විකුණන එක නවත්වන්න කිසිම කෙනෙකුට හාල් සේරු 5 කට වඩා ගේන එක තහනම් කරලා ඒ කාලේ කියපු "හාල් පොලු" දාලා තිබුනා. ඒ වගේම අඟහරුවාදා බ්‍රහස්පතින්දා දවස් දෙකේ හෝටල් වල බත් විකිණීම තහනම් කලා. ඒ දවස් වල කඩ වල තිබුනේ බතල මයියොක්කා වගේ කෑම. හැම දේටමත් එහෙමයි. ඒ නිසා බඩු හිඟය දුප්පත් පොහොසත් හැමෝටම පොදු දෙයක් උනා. අද ඒකේ අනිත් පැත්තනේ. සල්ලි තියන එකාට කොච්චර මිළ ගියත් ගානක් නෑ. ඌට ඕන බඩු තියෙන්න විතරයි. ඒත් දුප්පත් මිනිහාට, සීමිත ආදායමක් තියන එකාට ඒක තදින් බලපානවා.නමුත් 77 න් ඉස්සර එහෙම නෙවෙයි. සල්ලි තිබුන මිනිහාට ඒවා වියදම් කරන්න විදියක් තිබුනේ නෑ. ඇන් ඇම් කලේ අදායම සීමා කරනවාට වඩා වියදම සීමා කරන එකයි. ඒ නිසා මිනිස්සු සල්ලි පස්සේ වැඩිය ගියේ නෑ. ආණ්ඩුවේ දොස්තරලාට වුනත් පුද්ගලික සේවය තිබුනේ නෑ. ඒත් ඒක ඒ කාලේ ගානක් වුනේ නෑ. ඒවා ගැන කියන්න ගියොත් මගේ අද කතාව කියන්න බැරි වෙනවා. ඒ නිසා ඒක වෙන දවසක කියන්නම්.
මෙන්න මේ වගේ කාලෙක ආණ්ඩුව විවේචනය කල එකම කෙනා වුනේ සරත් මුත්තෙට්ටුවේගම මහත්තයායි. එයා පාර්ලිමේන්තුවේ කියපු කතා අහලා තමයි මම දේශපාලන යථාර්තය තෙරුම් ගත්තේ. ඒ වගේම "ඇත්ත" කියලා ඒ කාලේ දිනපතා පත්තරයෙනුත් මම හුඟක් දේවල් තේරුම් ගත්තා. ඒකේ කර්තෲ බී ඒ සිරිවර්ධනගේ කර්තෘ වාක්‍ය යෙන් මම ඉගෙන ගත් දේ අපමණයි. යමක් උපහාසාත්මකව ලියන කලාව මට ලැබුනේ ඒ ලිපි ආශ්‍රයෙන්. ඒ කාලේ ජේ ආර් ගියපු රැස්වීමක ස්ටේජ් එක ලඟටම පොල් ගහක් කඩා වැටුනු එක සිරා හෙඩින් එක විදියට දාලා තිබුනේ "පොල් ගහටත් එල්ලය වරදී" කියලයි. අද තියන දේශපාලන පඩංගු වලින් ඉගෙන ගන්න තියෙන්නේ කුණුහරුප විතරයි බොහෝ විට.
එක පාරක් පාර්ලිමේන්තුවේ වතු කම්කරුවන් 94000 කට පුරවැසි කම දෙන්න ආණ්ඩුවෙන් ගෙනාපු පණතට ශ්‍රී ල නි ප ය විරුද්ධව චන්දය දෙද්දි සරත් මුත්තෙට්ටුවේගම ඒකට පක්ෂව චන්දය දීපු වෙලාවේ ඒ කාලේ අගමැති ප්‍රේමදාස මහත්තයා කිවුවා "ඔන්න අද කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රී වරයාත් අපි එක්ක එකතු වෙලා' කියලා. ඒකට සරත්ගේ ක්ෂණික පිලිතුර වුනේ "නෑ අද ඔබ සියලුම දෙනා මාත් එක්ක එකතු වුනා" කියලා. අපේ පක්ෂය යටත් විජිත කාලයේ ඉඳන්ම ඉල්ලපු එකක් ඔය. ඒත් ඒ කාලෙ තමුන්නාන්සේලා ඒකට දිගින් දිගටම විරුද්ධ වුනා. ඒත් අද තමුන්නාන්සේලා සේරම ඒකට පක්ෂ වෙලා මාත් එක්ක එකට චන්දය දුන්නා" කියලා. ප්‍රේමදාසට කට උත්තර නැති වුනා. තවත් දවසක් සරත් දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන කොටත් ප්‍රේමදාස නැගිටලා කිවුවා " ඔබ තුමා ඔහොම කතා කලාට ඔබ තුමා අයිති ධනපති පංතියටයි" කියලා. ඒකට සරත් කිවුවේ "ඔබතුමා ඔබතුමාගේ පංතිය පාවා දුන්නා වගේ මමත් මගේ පංතිය පාවා දුන්නා" කියලා. ප්‍රේමදාස දෙකොන මූට්ටු වෙලා කියා ගන්න දෙයක් නැතුව වාඩි උනා. මම හිතන්නේ බොලාට තේරෙන්න ඇති සරත් මොකක්ද කිවුවේ කියන එක. ඒත් ඒ කියමන එදාට වැඩිය අද ඉන්න ලොක්කන්ට හොඳටම ගැලපෙනවා. මොකද ප්‍රේමදාස කරපුවා අද ඉන්න එවුන් කරන ඒවා එක්ක බැලුවාම අලගු තියන්නත් මදි. ඒ කාලේ ආණ්ඩු පක්ෂයේ හිටපු අයගේ කතා වලට ඔය වගේ නොකවුට් වෙන උත්තර දෙන්න හිටපු එකම කෙනා තමයි සරත්. ඒ දවස් වල අමිර්තලිංගම්ලා කලේ ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න කතා කරපු එක මිසක් විපක්ෂයේ කාර්යය කරන එක නෙවෙයි. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්ය භාරය ජනතාව වෙනුවෙන් කලේ සරත් තනිවමයි. එතුමාගේ කතා වලට කවුරුවත් බාදා කරන්න ගියේ නෑ. කට දැම්මේ ප්‍රේමදාස විතරයි. ඒත් ඒ හැම වෙලාවකම සරත් දුන්න උත්තර වලින් මිනිහාගේ මුක පූටු වුනා. ඒකට හේතුව වුනේ සරත් කතා කලේ සත්‍යය වීමත්, කතාවට හොඳින් සූදානම් වෙලා එන නිසාත්. සරත් මුත්තෙට්ටුවෙගම මහත්තයා පාර්ලිමේන්තුවේ කරපු කතා බලා ගන්න පුලුවන් ඕනම කෙනෙකුට හැන්සාඩ් වාර්තා වලින්.
ඉතින් ඔය දේවල් නිසා ඒ කාලේ සරත් මුත්තෙට්ටුවේගම මහත්තයා මගේ වීර චරිතයක් වෙලා තිබුනා. ලොකු ගරුත්වයක් තිබුනා. මට එතුමා ජීවිතයේ පලවෙනි සැරේට හමු වුනේ අහම්බෙන්. ඒ කාලේ මම ගාල්ලේ රෝහලේ බාහිර රෝගී අංශයේ වැඩ කරද්දී මට පැවරිලා තිබුනා අධිකරණ වෛද්‍ය නිලධාරිණිය නිවාඩු දවස් වලට ඒ වගේම එයා උසාවි ගිය දවස් වලට ඒ වැඩ කරන්න. ඉතින් මම මිණී කපන එක තුවාල කාරයන්ව බලන එක කලා. ඔහොම කරන කාලේ එක දවසක් මිණීමැරුම් නඩුවකට සාක්ෂි දෙන්න එන්න කියලා ගාලු මහාධිකරණයෙන් මට සිතාසියක් ඇවිත් තිබුනා. අදාල මිය ගිය කෙනාගේ මරණ පරීක්ෂණය කරලා තිබුනේ මම නිසා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙන්නයි මට තිබුනේ. එදා නියමිත දිනයේදී අධිකරණයට යන කොට එතන හිටියා සරත් මුත්තෙටුවේගම මහත්තයා විත්තිය වෙනුවෙන් පෙනී ඉන්න ඇවිල්ලා. මාව දැකපු ගමන්ම යූ මස්ට් බී ඩොක්ටර් එදිරිසිංහ you must be doctor Edirisinghe කියලා ඉතාම සුහද හිනාවක් දාලා මට අත දුන්නා. ඒක දැකපු මට මතක් වුනේ ඉස්සර ඇන් ඇම් පෙරේරා හමු වෙච්ච වෙලාවේ එතුමාගේ තිබුණු සුහදශීලී හිනාවත් පෙනුමත්. ඒක හදවතින්ම එන හිනාවක්. අද ඉන්න එවුන්ගේ වගේ රැවටිලි හිනා නෙවෙයි. මේ හමුවීම හරියට කලින් දවසක් ඩඩ්ලි සේනානායක මහත්තයා හමු වීම වගෙයි. වීරත්වයෙන් සලකපු කෙනෙක් මුහුනට මුහුන හම්බ උනාම එන හැඟීමක්.
එදා නඩු කාරයා එන්න පැය දෙකක් විතර පහු වෙනවා කියලා කිවුවා. සාමාන්‍යයෙන් අපි උසාවියට පහු වෙලා ගියොත් අපිට ඒ එක්කම වරෙන්තුවක් නිකුත් කරනවා. ඒත් නඩු කාරයින්ට එහෙම නෑ. මේ පැය දෙකක් විතර කාලයේ මම හුඟාක් දේවල් සරත්ගෙන් අහලා දැන ගත්තා. විශේෂයෙන්ම අර වතුකර ජනතාවගේ පුරවැසි පනත දවසේ කතාව ගැන හුඟාක් තරතුරු දැන ගත්තා. වත් කම්කරුවන්ට මේ රටට ගෙනාපු දවසේ ඉඳන්ම වෙච්ච අසාධාරණ කම් ගැන, ඉන්දියාවේ ඉඳන් ගේන කොට 50% ක් විතර එක එක හේතු වලින් මැරිච්ච හැටි, ගෙනාවාට පස්සේ සීතලෙනුත් මැලේරියාවෙනුත් මැරිච්ච හැටි, දකුණෙන් ගියපු වෙළෙන්දෝ උන්ව ගසා කාපු හැටි වගේ දේවල්. ඒ වගේම 1977 චන්දෙන් එයාගේ පත්වීමට විරුද්ධව පෙත්සමක් දාලා ඒක පැරදිලා අතුරු මැතිවරණයක් නොතියා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කෙනෙක්ව පත් කරන්න ජේ ආර් හදපු හැටිත් සරත් ඒකට විරුද්ධව සටන් කරලා අතුරු මැතිවරණයක් අරගෙන ඒකෙන් දිනපු හැටි වගේ දේවල්.
පස්සේ නඩු කාරයා ඇවිත් නඩුව අහන කොට මට සිද්ධ වුනා සරත්ගේ හරස් ප්‍රශ්න වලට මුහුණ දෙන්නත්. ඒත් ඒවා මරණ පරීක්ෂණයේදී දැකපු තුවාලත් ඒවා මොන වගේ දේකින් සිද්ධ වෙන්න පුලුවන්ද වගේ සිල්ලර ප්‍රශ්න. වැරදිලාවත් අද පහේ ශිෂ්‍යත්වයට අහන වගේ ඒවා ඇහුවා නම් මම කොට උඩ ගිහින් තමයි නවතින්නේ. නඩුව ඉවර වෙලා ආයිත් හම්බ වෙමු කියලා සරත් කාරෙකට නැගලා කොලඹ ගියා. මමත් ක්වාටර්ස් වලට ඇවිත් මගේ යාලුවත් එක්ක විස්තර කිවුවා. ඒත් සරත් මුත්තට්ටුවේගම කියන්නේ කවුද කියලාවත් නොදැන හිටි එයාට ඒක හීනෙන් ගිය ....ක් තරම් වත් ගානක් වුනේ නෑ.
ඊට සති දෙක තුනකට පස්සේඅ ආරංචි උනා සරත්ගේ කාර් එක රත්නපුරයේ නව නගරයේදී තව එකක හැපිලා මැරිලා කියලා. මට ඒක අදහා ගන්න බැරි උනා. මම තව ගාල්ලේ කීප දෙනෙක් එක්ක කුරුවිට එතුමාගේ ගෙදරට ගිහින් අවසාන කටයුතු රත්නපුර සීවලී ග්‍රවුන්ඩ් එකේදී කරන තුරුම ඉඳලා බොහොම කණගාටුවෙන් ගෙදර ආවා. ඇත්තටම ඒ කාලේ සරත්ලා දෙතුන් දෙනෙක් ඕන කරලා තිබුණු වෙලාවේ හිටපු එකම සරතුත් රටට නැතිව ගියා.
මේ වගේ වටින මිනිස්සු මට අහම්බෙන් හම්බ වෙලා ඊට පස්සේ දෙවෙනි වතාවට හම්බ වුනේ මල මිනියක් විදියට. මුලින්ම ඩඩ්ලි සේනානාක මහත්තයා. ඊලඟට ඇන් ඇම් පෙරේරා මහත්තයා. ඊට පස්සේ සරත් මුත්තෙට්ටුවේගම මහත්තයා. මේ අයව දෙවෙනි පාරට පන පිටින් දකින්න මට ලැබුනේ නෑ. ඒත් ජේ ආර් ජයවර්ධන මහත්තයා නම් මට දෙපාරක් හම්බ වුනා.
හරි නම් වෙන්න තිබුනේ ඒකේ අනිත් පැත්ත. එහෙම වුනා නම් අද මේ රටට මෙහෙම වෙන්නේ නෑ. හා නැද්ද මං කියන්නේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී