අද පොසොන් පුන් පොහෝ දිනයයි. ලංකාවාසී බෞද්ධයින් වන අප හට ඉතා වැදගත් දිනයක් වන අතර සමහරු මෙදින වෙසක් දිනයටත් වඩා වැදගත් කොට සලකති. ඒ ධර්මාශෝක අධිරාජයා විසින් ඉන්දියාවේ සිට ලංකාවට අනුබුදුන් ලෙස සැලකෙන මිහිඳු මහ හිමියන් මගින් බුදු දහම එවූවේ අද වැනි දිනක වීමයි. ජනප්‍රවාදයේ පැවැසෙන්නේ මිහිඳු හිමියන් තවත් රහතන් වහන්සේලා 6 නමක් සහ එක් උපාසක කෙනෙක්ද සමග මිහින්තලයට අහසින් වැඩම කල බවත් දඩ කෙලියේ ගොස් සිටි දේවානම් පියතිස්ස රජු දැක තිස්ස තිස්ස නමින් කතා කොට ඔහු එහි ගිය පසු ප්‍රශ්ණ තුනක් අසා ඒවාට දුන් පිලිතුරු අනුව රජුට බුදු දහම තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ඇති බව දැන දහම් දෙසූ බවයි. ගාල්ලේ මහින්ද විද්‍යාලයේ අට වසරේ සිසුවකුව සිටියදී මෙම පාඩම යාපා සර් විසින් ඉගැන්වූ විට මා හට ප්‍රශ්නයක් වූයේ රහතකු නොවූ උපාසක තැන අහසින් පැමිණියේ කෙසේද යන්නයි. මෙය මා විසින් අසා සිටි විට ඉන් කිපුන ගුරු තුමා මා පාඩම අවසාන වන තුරු බිම දණ ගස්වා තබන ලදී. එබැවින් මෙම පාඩම ජීවිතය පවතින තුරු මට අමතක නොවන්නකි.
ඊට අවුරුදු හතලිහකට පමන පසු එනම් මීට අවුරුදු දහයකට පමණ පෙර මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ මළ ගෙදරට රාත්‍රියේ ගොස් සිටින විට එහි සාකච්චා කරමින් සිටි විද්වතුන් කීප දෙනෙක් හමුවීමට මට වාසනාව තිබින. එම වාසනාව මට උදා කර දුන්නේ මාගේ ආදරණීය ගුරුවරයකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසිනි. පැය තුනකට වඩා පැවති මෙම කතා බහේදී ඉහත කරුණ මාවිසින් මතක් කර සිටිය විටදී එහි සිටි පුරා විද්‍යා මහාචාර්ය වරයකු වූ මැන්දිස් රෝහණධීර මහතා පැහැදිලි කර දුන්නේ මෙසේය.
මිහිඳු මහ හිමියන්ගේ ලංකාගමනය අහම්බෙන් සිදු වූවක් නොව ධර්මාශෝක රජතුමා හා දේවානම්පියතිස්ස රජ තුමා සමග අතර කලක් සාකච්චා කොට ගනු ලැබූ තීරණයකට අනුව සිදු වූවකි. අප රටේ පැවති වැවු ශිෂ්ටාචාරය නැවත ස්ථාපිත කල පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ ඉන්දියාවේ රජු වී සිටියේ චන්ද්‍රගුප්ත මයූරන් අධිරාජයාය. ඔහු පුත් බිංදුසාර රජුගේ අභිෂේක නොලත් බිසවගේ පුතු වූ අශෝක පසු කලක මගධ දේශයේ රජු බවට පත් වී ආරම්භ කල රටවල් යටත් කොට අධිරාජ්‍යයක් තැනීමේ දික් වීජය කිරීම පසුව එපා වී බුදු දහම වැලැඳ ගෙන එම දහම ඉන්දියාව පුරාවටද අසල් වැසි රට වලටද දූතයින් අත යවා ඇත. ඉන්දියානුවන් අතර ඔහු බුදු දහම බලෙන් පටවන ලද බැවින් ඔහුගේ අභාවයෙන් පසු ඉන්දියාවේ බුදු දහම යටපත් වී ගොස් නැවත හින්දු සහ අනිකුත් ආගම් හිස ඔසවන ලදී. බුරුමය, සියම හෙවත් තායිලන්තය, ඉන්දුනීසියාව, ඉරානය, ඇෆ්ගනිස්ථානය වැනි රට වලට ( මේ රටවල් එකල ඔහු විසින් යටත් කර ගත් ඒවාය ) ලංකාවට පෙර බුදු දහම යවා ඇත්තේද හේතුවක් අනුවය.
එනම් එකල මෙරට රජු වී සිට ඇත්තේ පණ්ඩුකාභය රජුගේ පුත් මුටසීව රජු වූ අතර ඔහු ඒ වන විට ඉතා වයස් ගතව සිටි බැවින් මෙවැනි භාරධූර කාර්යයක් සඳහා ඔහුගේ ඇවෑමෙන් දෙවැනි පුත් තිස්ස රජ වන තුරු පමා කිරීමට සිදු වීමයි. මුටසීව රජුගේ ඇවෑමෙන් තිස්ස රජු වූ විට ඔහු දෙවන වරටත් රාජාභිශේක කරමින් දෙවියන්ට ප්‍රිය වූ හෙයින් දේවානම් පියතිස්ස යනුවෙන් නම් කරවා පසුව ඔහු සමග සාකච්චා කොට මිහිඳු හිමියන්ද පසුව දියණිය සංඝමිත්තාවද ලංකාවට එවන ලදී. බුදු රජුන් ජීවමානව ලංකාවට වැඩම කරවා ඇති හෙයින් මෙරට වැසියන් බුදු දහම පිලිබඳව දැන සිටි අතර ඒ වන විටත් යම් බෞද්ධයින් පිරිසක් මෙහි සිටි බැවින් ඉන්දියාවේ මෙන් නොව එය මෙහි ස්ථාපිත කිරීම අපහසු නොවූ අතර ලංකාවාසීන් බොහෝ දෙනා තුල බුදු දහම පැවැතිනි. ක්‍රමයෙන් එය ආගමක් බවට පත් වී නිර්මල බුදු දහම යටපත් වීමට පටන් ගැනුණි. සමහරුන් පවසන්නේ බුදුන් වහන්සේ කිසි දිනක මෙහි නොපැමිණි බව වන අතර තවත් සමහරු පවසන්නේ බුදුන් වහන්සේ ලංකාවේ උපන් අයකු බවයි. මම මේවා ගැන කිසිවක් නොදන්නා අතර මෙහි සඳහන් කරන්නේ මහාචාර්ය තුමා පැවැසි දේ පමණි.
මහාචාර්ය වරයාට අනුව දිගු කලක් රාජත්වයේ සිටිය හැකි තිස්ස වැනි තරුණ රජ කෙනෙකු මෙහි සිටීම අශෝක රජු හට වැදගත් වූයේ බුදු දහම එවීම මෙන්ම තම දරුවන් දෙදෙනාගේඅ ආරක්ෂාව පිලිබඳවද ඔහු සැලකිලිමත් වූ බැවිනි. එයට හේතුව වූයේ අශෝකද ඔහුගේ පියා මෙන් රජ වීමට පෙර මුලින්ම විවාහ වූයේ වෙලෙඳ ව්‍යාපාරිකයකුගේ දියණියක වූ දේවී නම් අයයි. ඇය වර්ථමාන මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි සාංචියේ ජීවත් වූ අතර ඔවුන්ගේ දරු දෙදෙනා වූ මහින්ද හා සංඝමිත්තාද ජීවත් වූයේ එහිය. ඔවුන් අශෝක රජ වූ පසුද බොහෝ කලක් එහිම වාසය කල අතර දෙවී බිසව කිසි දිනක මගධ දේශයට ගොස් නැත. දික් විජය කරන අතර තුර කාලිංගයේ පැවැති සටනින් පසු සටන අතහැර එහිදී පරාජය වූ ප්‍රදේශයේ සිටි කුමරියක ආවාහ කොට ගත් නිසාත් රජ පවුලක නොවූ දේවී බිසවක් ලෙස පිලි නොගන්නා නිසාත්ය. මේ හේතුව නිසා ඔවුන් හට නිදහස්ව මෙන්ම ආරක්ෂාකාරී ලෙස ජීවත් වීමට සුදුසු ස්ථානයක් ලෙස ලංකාව අශෝක රජු විසින් තෝරා ගන්නා ලදී. තවද කාලිංගයට මෙපිට දකුණු ඉන්දීය ප්‍රාන්ත ඔහු විසින් යටත් කර නොගත් හෙයින් ඉන් මෙපිට පිහිටි ලංකාව ඉතා සුහද ලෙස පවත්වා ගැනීමද තවත් අරමුණක් වී ඇත.
ඒ අනුව සාංචියේ විසූ තම පුතු ඒ වන විට බුදු දහම වැලැඳගෙන සිටි බැවින් ඔහු මගින් බුදු දහමද ලංකාවට එවීමට තීරණය කල අශෝක රජු ඒ සඳහා තිස්ස රජ වන තුරු බලා සිට පසුව ඔහු හා සමග කරන ලද සාකච්චා වලදී එකඟ වූ පරිදි මුලින්ම දූත පිරිසක් මෙහි එවා ආරක්ෂාව තහවුරු කරවා ගත් පසු මිහිඳු හිමියන් හා පිරිස මෙහි එවන ලදී. සාංචියෙන් පිටත් වූ මිහිඳු හිමියන්ට මෙහි පැමිණීමට දිගු කලක් ගත වූ අතර උන් වහන්සේ ඇතුලු පිරිස මහත් හරසරින් පිලිගත් දේවානම්පියතිස්ස රජ තුමා ඒ වන විටද උන් වහන්සේ වෙනුවෙන් මිහින්තලාවේ ඉදි කොට තිබූ පහසුකම් පිලි ගන්වා මෙරට බුදු දහම ස්ථාපිත් කිරීමට කටයුතු කර ඇත.
පසු කලෙක අශෝක රජු විසින් දේවානම් පිය තිස්ස රජුගේ ඉල්ලීමක් අනුව හා සමග ශ්‍රී මහා බෝධියේ ශාඛාවක්ද එවා ඇති අතර ඒ සමගම තම දියණිය වූ සංඝමිත්තා තෙරණියද මෙහි එවන ලදී ඒ සමගම මෙරටෙහි අලුත් සංස්කෘතියක්ද බිහිවී ඇත. එනම් බෝධී ශාඛාව සමග එයට අවශ්‍ය වන වතාවත් කිරීම සඳහා පිරිසක්ද ඒ සඳහා අවශ්‍ය වන උපකරණද එවා එම වතාවත් පටන් ගැනීම නිසාය. ඒ අනුව මෙහි අලුත් කුල පරම්පරාද බිහි වී ඇත.
මෙම බෝධි ශාඛාව බොහෝ සිතුවම් වල දැක්වෙන ආකාරයට සංඝමිත්තා තෙරණිය විසි දෝතින් රැගෙන ආවක් නොවන අතර එය මිනිසෙකුට වඩා උස බඳුනක රෝපණය කොට ගෙන එන ලද්දක් වන අතර ඇතකු මතින් රැගෙන ගොස් බිමට නොගෙන ඇතාට සමාන උසකින් යුතු භූමියක් සකස් කොට එහි රෝපණය කොට ඇති බව කියැවේ. අනුරාධපුරයේ ගිය අයකුට ශ්‍රී මහ බෝධිය පිහිටා ඇති පෙදෙස පමණක් අනිකුත් පෙදෙසට වඩා උසින් පිහිටා ඇති බව දැකිය හැකි වේ.
මෙම කතාව කියවා බලා මා බුදු දහම විකෘති කරනවා යයි අවලාද නොකරන මෙන්ද මෙයට පෙර මා විසින් කරන ලද පෝස්ට් වලදී සමහරුන් විසින් කමෙන්ට් කරන ලද ආකාරයට මීට වසර එක හමාරකට පෙර මට අහිමි වූ මගේ මෑණියන්ට අපහාස නොකරන ලෙසද ඉල්ලා සිටිමි. එම කමෙන්ට් වලින් අපහාස වූයේ මට හෝ මගේ මෑණියන්ට නොව ඒවා කරන අයවලුන්ටම බව මගේ පිලි ගැනීමයි.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී