දැන් මේ වෙන කොට ගැට්ටටම ඇවිත් ඉන්න මගෙන් කවුරු හරි පොඩි එකෙක් ඇවිත් "අනේ සීයේ මට ඕන කෙමිස්ට්‍රි ඉගෙන ගන්න. මට ඒකට උදවු කරන්න" කියලා කිවුවොත්ම ගේ යුතු කම තමයි එයාට හරිදේ කියලා දීලා උදවු කරන එක. මොකද අද අපේ රටේ ඒ තරම්ම නැතත් පිට රට වල කෙමිස්ට්‍රි ඉහලටම ඉගෙන ගත්ත අයට ලොකු තැනක් තියනවා. මාතර රාහුලේ ඉගෙන ගෙන කොලඹ වි. විද්‍යාලයෙන් කෙමිස්ට්‍රි වලින් ඉහලම උපාධියක් ගත්ත කොල්ලෙක් ඇමරිකාවේදී පී එච් ඩී එක කරලා පස්සේ යම් යම් දේ වල පරමාණුක ව්‍යූහය පවා වෙනස් කරන්න පුලුවන් උපකණයක් හදලා තමන්ම ඒකේ පේටන්ට් අයිතිය ගත්තා. එයා එහේ රූපවාහිනියේ තමන්ගේ සොයා ගැනීම ගැන පැය භාගයක විතර විස්තරයක් කරලා තියනවා. දැන ගත්ත හැටියට තාම පොරට අවුරුදු 30 වෙලා නෑ.
ඉතින් මට අර විදියේ ඉල්ලීමක් ආවොත් මම කරන්නේ මට විද්‍යාව ගැන ශක්තිමත් අඩිතාලමක් දාපු මගේ මුල්ම රසායන විද්‍යා ගුරුවරයා වුනු සෙනෙවිරත්න සර් කරපු දේමයි. දැනට ජීවතුන් අතර නැති එතුමාගේ සටහන් හොයලා දීලා එතුමා ලියලා තියන පොත් පතුත් වෙනත් ඒ වගේ ගුරුවරු ලියපු ඒවාත් හොඳින් කියවලා ඉගෙන ගන්න කියලයි. එහෙම කරලා පසු කාලේක වි. විද්‍යාලයට වගේම අයිකෙම් වගේ කෙමිස්ට්‍රි උගන්වන උසස් ආයතනයකට ඇතුල් වෙන්න කියලා. නමුත් මුල් අවස්ථාවේ අත්‍යවශ්‍ය වන්නේ කොල්ලට කෙමිස්ට්‍රි කියන එක ඔලුවට වදින්න හරි අඩිතාලමක් දාන එකයි. ඊට පස්සේ පොර ඒක උඩ ඉතුරු ටික හදා ගනියි. එහෙම නොකර තවමත් මගේ හිතේ සෙනෙවිරත්න සර්ට තියන ගෞරවය නිසා අර කොල්ලාට එතුමාගේ කුඩා කාලය, මුලින්ම පාසල් ගිය හැටි,ඉන්ටර්වල් එකට ඒ කාලේ ඉස්කෝලෙන් දීපු බනිස් ගෙඩිය කාලා කිරි වීදුරුව බීපු හැටි ගැන කියලා දීලා, එතුමා කෙමිස්ට්‍රි ඉගෙන ගෙන තියෙන්නේ මෙහෙමයි, මෙන්න මේ විදියට තමයි එතුමාට ආපු දුෂ්කරතා වලින් ගොඩ ආවේ වගේ දේවල් කියලා දීල සෙනෙවිරත්න සර් ගැන කොල්ලාගේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් ඇති කරලා පටන් ගත්තොත් ඌ කෙමිස්ට්‍රි කියලා කියලා තේරුම් ගන්නේ වෙනත් දෙයක්.
ඒ වගේම සෙනෙවිරත්න සර්ගේ මලකඳ වළලපු තැනට එක්ක ගිහින් එතන එතුමාගේ ඇට කටු වලට ලොකු බලයක් තියනවා ඒකට ගෞරව කරන්න කියලා දීලා පටන් ගත්තොත් වැඩේ හරි යයිද, එතකොට කොල්ලාගේ ඔලුවට යන්නේ තනිකර මිත්‍යාවක්. ඒක ඌට කරන ලොකු අසාධාරණයක්. මොකද කෙමිස්ට්‍රි ඉගෙන ගන්න කෙනෙකුට ගුරුවරයාගේ විස්තර මොනවාවත් දැන ගන්න ඕන වෙන්නේ නෑ. දැන ගන්න අවශ්‍ය වෙන්නේ ඔහු විසින් කියලා දීලා තියන විෂය කරුණු විතරමයි. ඒවා හරියට ඉගෙන ගෙන ඒ අනුව විභාග වලට මුහුණ දීමයි කරන්න ඕන. නැතුව ගුරුවරයාගේ පින්තූරයක් පාඩන් මේසෙ ඉස්සරහින් එල්ල ගෙන ඒකට පුද පූජා කරලාවත්, විභාගයට කලින් දවසේ ගුරුවරයාගේ මිණීවල ලඟට ගිහින් අනේ මාව පාස් කරවන්න කියලා යාඥා කිරීමෙන් වත් පලක් නෑ. පටන් ගැන්මේදීම හරියට විෂයයට ප්‍රවේශය ලැබුණු කෙනා කවදාවත් ඒ මෝඩ වැඩ කරන්නේ නෑ. මමවත් මගේ දරුවන් වත් කවදාවත් විභාග වලට කලින් බාර හාර, පඬුරු ගැට ගැහීම් වගේ දේවල් කලේ නෑ. විෂයය දැනුම ගැන ලොකු විශ්වාසයක් තිබුන නිසා ඒ ගැන විතරක් විශ්වාසය තියලා විභාග වලට මුහුණ දුන්නා, පාස් වුනා. ඒත් වෛද්‍ය විද්‍යාලයේදී අර කඩු ප්‍රශ්නය නිසා විෂයය දැනුම ලබා ගැනීම ටිකක් දුෂ්කර වුනා. ඒ නිසා පලවෙනි පාරින් පාස් වෙච්ච කඩ්ඩ හොඳ බ්‍රයිටකුගේ නෝට්ස් පාඩම් කරලා රිපීට් එකෙන් තමයි පාස් වුනේ. අබු යූසුෆ් කියන මට උදවු කරපු යාලුවාට මම අදටත් ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා මම කියපු දේ කට්ටියට තේරෙන්න ඇති කියලා.
මෙන්න මේක තමයි අද බුද්ධ ධර්මය උගන්නන කොට වෙලා තියෙන්නේ. ධර්මය කියලා උගන්වන්නේ ඊට හාත් පසින්ම විරුද්ධ දේ. අර වල්පොල රාහුල හාමුදුරුවෝ ඉංග්‍රීසියෙන් ලියලා තියන වට් බුද්ධ ටෝට් කියන පොත කියවන කෙනෙකුට හොඳට තේරෙයි අපේ බුද්ධාගම් පොත් වලයි ඒකෙයි තියන වෙනස. ඒ පොතේ උගන්වන්නේ ධර්මය. අපේ පොත් වල තියෙන්නේ ආගම. අර පොත ලියලා තියෙන්නේ මිත්‍යාවෙන් අන්ධ වුනේ නැති පිට රැටියන්ට. අපේ ඒවා ලියලා තියෙන්නේ තව තවත් මිත්‍යාවේ ගිල්වන්නට. වැරදිලාවත් රාහුල හාමුදුරුවෝ පොත පටන් ගත්තා නම් සිදුහත් කුමාරයා මවු කුස පිලිසිඳ ගත් දවසේ මහාමාය දේවිය දුටු සිහිනය ගැන හරි සිදුහත් කුමාරයා දැකපු පෙරනිමිති ගැන කියලා අරුන් බඩ අල්ලගෙන හිනා වෙලා කියයි ඇයි යකෝ අපේ බයිබල් එක පටන් ගන්නේත් ඔහොමමනේ අර නාසරත් වල ගල් ගුහාවට උඩින් පායපු තරුව ගැන කියලා. මදැයි ඒක එපා වෙලා බුදු දහම ගැන ඉගෙන ගන්න හැදුවා. බලන කොට ඒකත් එහෙමයි. ඔන්න ඕක අල්ලලා දාලා යමන් පබ් එකට පොඩි ශොට් එකක් දාලා ආතල් එකක් ගමු කියලා යන්න යයි.
නමුත් වල්පොල හාමුදුරුවෝ ඒ පොතෙන් ප්‍රවේශය ගත්තේ එදා අපේ සෙනෙවිරත්න සර් විද්‍යාව උගන්වන්න ප්‍රවේශය ගත්තා වගේමයි. ඒකේ තියෙන්නේ සියලු සැප සම්පත් මැද අවුරුදු 29ක් ජීවත් වුනු සිදුහත් කුමාරයා දිනක් ජීවිතයේ අනිත්‍යය සහ මිනිස් වර්ගයා විඳින දුක ගැන තේරුම් අරගෙන මේ සියලු දුක් නසන මගක් සොයා ගැනීමට තීරණය කරලා මාලිගයෙන් පිටත් වෙලා ගිහින් ඒ කාලේ හිටපු නොයෙන් ආගම් ශාස්තෲ වරුන්ගෙන විමසලා ඒවා සියල්ල නිශ්ප්‍රභා කරලා තමන්ම බවුන් වඩලා අවුරුදු 35 දී දහම් මාර්ගය හොයා ගත්තා කියලා.ඉන් පස්සේ එතුමා බුදුන් ලෙස හැඳුන් වුනු බවත් උන් වහන්සේ සොයා ගත් දුක නිවන මාර්ගය බුදු දහමත් ලෙස. එච්චරයි. ඊට පස්සේ තියෙන්නේ තනිකරම දහම ගැනයි. එහි සඳහන් වෙනවා මිනිසාගේ එකම ගැලවුම් කරු වන්නේ තමාමයි. ඊට පිටින් ඔහුගේ ඉරනම හෝ දෛවය තීරණය කල හැකි කිසිදු බලයක් නැත කියලා. ඉතින් මේ පොත් ලියලා තියෙන්නේ විදේශිකයින්ට. උන් ඒවා කියවලා දහම තේරුම් අරගෙන බුදු දහමට නැඹුරු වෙලා ඒ මග යනවා. අපේ උන් සිංහලෙන් ලියලා තියන බහු බූත කියවලා බෝධි වන්දනා, බෝධි පූජා, දාගැබ් වන්දනා වගේ විකාර කරනවා. තනිකරම මිත්‍යාවේ ගිලිලා ඉන්නවා.
මට සිහියට එනවා එංගලන්තයේ සාමාන්‍ය පවුලක ඉපදිලා අවුරුදු 20 වෙන කොට භෞතික විද්‍යා උපාධියක් ලබාගෙන පස්සේ තායිලන්තයට ගිහින් මහණ වෙලා අවුරුදු 25 දී උපසම්පදා වුනු අජාන් බ්‍රහ්මවංශ නමින් හැඳින්වෙන භික්ෂූන් වහන්සේව. උන් වහන්සේ අපේ රටටත් කීප වතාවක් වැඩම කරවලා තියනවා. එක පාරක් අරලිය ගහ මන්දිරයේ තිබුණු දහම් දේශනයකටත් වැඩම කලා.උන් වහන්සේගේ දහම් දේශනා ඕන තරම් තියනවා යූ ටියුබ් එකේ. ඒ කාලේ සෞදියේදී ඇමරිකන් හමුදාවේ කෙනෙක් කුරාණය ඉරලා තමන් හිටපු හෝටලයේ ටොඉලට් එකේ දාලා ෆ්ලශ් කලා කියලා මුස්ලිම් පොරවල් ගේම ඉල්ලපු වෙලාවේ මාද්‍ය කාරයෙක් අජාන් බ්‍රහ්මගෙන් ඇහුවා ඔබ වහන්සේගේ ත්‍රිපිටකය මේ වගේ වැසිකිලියට දාලා ෆ්ලශ් කලොත් මොකද කරන්නේ කියලා, උන් වහන්සේ කිවුවේ මම හෝටලයට කියනවා ප්ලම්බර් කෙනෙක් ගෙනත් වැසිකිලි මාර්ගයේ ඇති වුනු බ්ලොක් එක හදා ගන්න කියලා. උන් වහන්සේට ත්‍රිපිටකය කියන්නේ දහම ගැන ඉගෙන ගන්න තියන ග්‍රන්ථයක් විතරයි. එහෙම නැතුව වන්දනා මාන කරන දෙයක් නෙවෙයි. ඒත් අපේ කහකඩයින්ට ඒක වෙනස්. හුඟක් පන්සල් වල තිබුනාට මම හිතන්නේ එලියට අරගෙන කියවනවා ඇති කියලා. දැන් ඉන්න තරුණ කහකඩයින් නම් වැඩි පිරිසක් කියවලා නෑ ශුවර් එකටම. ඒත් ඒකට කවුරු හරි අපහාස කලොත් පොරවල් වල කහකඩය කරට වඩින්නේ.
ඔන්න දහම් මගේ යන අයගේත් ආගම් අදහන අයගේත් වෙනස.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී