Pilip you might die today

පහුගිය දවස් ටිකේ තුන් හතර දෙනෙක්ම මගෙන් අහලා තිබුනා ඇයි මම නිතරම කූරියා ගහන එකවල පයයි ගොඩ පයයි වගේ දේවල් කියන්නේ කියලා. සමහරෙක් ඇහුවා මම මැරෙන්න බයින්ද ඉන්නේ කියලා. ඉන් එක්කෙනෙකුට විතරක් මම ඒකට හේතුව පැහැදිලි කරලා අනිත් උන්ට ඕන දෙයක් හිතා ගන්න ඇරලා හිනා වෙලා ගොන් පාට් එකක් දාලා ශේප් වුනා. ඒත් එෆ් බී එකේ ඉන්න මගේ 3500 විතර වෙන යාලුවන්   අතරේ     යමක් තේරුම් ගන්න පුලුවන් තරම් බුද්ධියක් තියන ටික දෙනෙක් ඉන්න බව දන්න නිසා මම හිතුවා වැඩි වැඩකුත් නැති එකේ ඒ ගැන කියනවා කියලා.

ඇත්තටම යමෙකුගේ හිතේ තමන් මැරෙන මිනිහෙක් කියන එක තියනවා නම් එයා අතින් වැරදි දේ කෙරෙනවා අඩුයි. මේකට බුදු දහමේ කියන්නේ මරණානුස්සතිය කියලා. ඒ කියන්නේ මරණය ගැන මෙනෙහි කරන්න කියලා. සතිය කියන්නේ සිහිය කියන එකයි. මරණානුස්සතිය කියන්නේ මරණය පිලිබඳව සිහිය කියන එකයි. මේකෙන් තේරෙන්නේ නෑ හැම තිස්සෙම මරණය ගැන හිතනවා කියලා. ඒත් යටි හිතේ ඒක තියෙන්න ඕන. බුද්ධානුස්සතිය කියන්නේ බුදුන් ගැන සිහියෙන් ඉන්න එක වගේම ධම්මනුසතිය කියන්නේ දහම ගැන සිහියෙන් ඉන්න එක.

අද බොහෝ දෙනෙකුට මරණය ගැන මතක් වෙන්නේ මොකක් හරි හොඳ කරන්න බැරි රෝගයක් හැදුනාමයි. එතෙක් ඉන්නේ වැඩ කරන්නේ නොමැරෙන අය හැටියටයි. මේකට හොඳ උදාහරණයක් තමයි ඇමරිකාවේ ඇපල් සහ මැකින්ටොෂ් කියන කොම්පැනි වල නිර්මාතෲ වුනු බිලියන පතියෙක් වුනු ස්ටීව් ජොබ්ස්. ව්‍යාපාරික ලෝකයේ හිනි පෙත්තටම නැගලා හිටපු එයාට ජීවිතයේ යථාර්තය තේරුම් ගියේ එයාගේ අග්න්‍යාශයේ පිලිකාවක් හැදිලා මරණාසන්න වුනාට පස්සේ. ඉතින් එයා ඊට පස්සේ බොහොම හොඳ යථාර්තවාදී අදහස් පල කරලා තිබුනා. මට මුදල් දීලා මගේ ඕනම දෙයක් කරවා ගන්න මිනිස්සු හොයා ගන්න පුලුවන් වුනත් මගේ මේ වේදනාව මා වෙනුවෙන් බාර ගන්න කෙනෙක් මගේ සේසතම දීලාවත් හොයා ගන්න බෑඔබගේ වාහනය ඩොලර් මිලියනයක් වුනත් පනස් දාහක් වුනත් යන ගමන එකයිඔබේ නිවස කොයි තරම් ලොකු වුනත් ඔබ නිදා ගන්නේ කුඩා අවකාශයක වගේ දේවල්. හැබැයි එයාට අර ලෙඩේ නොහැදුනා නම් ලෝකයාට මේ මොනවත් අහන්න ලැබෙන්නේ නෑ. 

මේක කියන කොට මතක් වුනා ඉස්සර හිටපු දොස්තර කෙනෙක්. මිනිහා උතුරු මැද පලාතේ රෝහලක ඩී එම් ඕ වෙලා ඉන්න කාලේ කිසිම දොස්තර කෙනෙකුට ඒ රෝහලේ වැඩි කල් ඉන්න දුන්නේ නෑ ඒ ගොල්ලා ප්‍රයිවට් ලෙඩ්ඩු අල්ල ගනියි කියන බයට. ඒ රෝහලට විශේෂඥ වෛද්‍ය වරු එවන එක වලක්වන්න කරන්න පුලුවන් හැම දේම කලා. කරන්න තියන ජරාම වැඩ කරලා ඒ අයට ඉස්පිරිතාලේ එපා කරවලා එලවා ගත්තා. පස්සේ කාලේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ගෙන්නන එකේ ලොක්කෙක් වෙලා කෝටි ගනන් හෙවුවා. පුද්ගලික රෝහල් හැදුවා. බීලා වැඩි කමට අන්තිමට අර ස්ටීව් ජොබ්ස්ට හැදිච්චි ලෙඩේම හැදිලා දුක් විඳලා මැරිලා ගියා. ඊට ටික කාලෙකට කලින් මට හම්බ වෙලා ලොකු පාපොච්චාරනයක් කලා “මචං එදිරි මම මොන තරම් අසාධාරණ වැඩ කරලා තියනවාද. ඒත් ඒ කාලේ ඒවා තේරුණේ නෑ නේ කියලා. වැටිච්ච මිනිහෙකුට ගහන්න හොඳ නැති නිසා මම මිනිහාගේ හිත සැනසෙන්න කතා කරලා ආවා.

මම 1973 දී වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වුනේ උසස් පෙල විභාගයේ මෙරිට් ලිස්ට් එකේ හය වෙනියා හැටියට. ඒකෙදි කොහොම  හරි පලවෙනියා වෙනවා කියලා හිතාගෙන ආවත් ඒ කාලේ මගේ කඩ්ඩ අන්තිම හොර නිසා පාඩම් අල්ල ගන්න බැරි උනා. විශේෂයෙන්ම  ව්‍යවච්චේදය නැත්නම් ඇනෑටොමි කියන විෂයය තේරුම් ගන්න හරිම අමාරු වුනා. අන්තිමට තීරණය කලා මෙඩිසින් අත ඇරලා පේරාදෙණියට ගිහින් කෘෂිකර්මය කරනවා කියලා. ඉතින් ඔය වගේම කඩ්ඩ නිසා මෙඩිසින් එපා වෙච්ච තවත් මගේ යාලුවෙක් එක්ක  ඇනෑටොමි  මහාචාර්ය වරයා වුනු ලෙස්ටර් ජයවර්ධන මහත්තයා හම්බ වෙලා අපේ උවමනාව කියලා අපට පේරාදෙණියට යන්න හදලා දෙන්න කියලා ඉල්ලුවා. එතුමාත් අපේ කාලෝ ෆොන්සේකා මහත්තයා වගේ ඉතාම හොඳ කෙනෙක්. එයා ඇහුවා මොනවද අමාරු කියලා. අපි කිවුවා කනින්හම්ගේ ඇනෑටොමි පොතේ කිසිම දෙයක් අපිට තේරෙන්නේ නෑ කියලා. එයා කිවුවා ඔය පොත ලියපු රොමාන්ස් කියන කෙනා එයාට දවසක් යූ කේ වලදී හම්බ වෙච්ච වෙලාවේ  කිවුවා කියලා එයාටත්  ඒ පොත් තේරුම් ගන්න අමාරුයි ඇයි ඒක සරල විදියට ලිවුවේ නැත්තේ කියලා දොස් කිවුවා කියලා. ඊට පස්සේ අපට නොතේරෙන තැන මොකක්ද කියලා ඇහුවාම මම කිවුවා ඒකේ තියනවා හදවතේ තියන රුධිර නාල වලින් එකක් බ්ලොක් වුනාම හාට් එක දෙකට වෙන් වෙන සෙප්ටම් එකේ තියන පොඩි නහර හරහා හොඳ නහරයෙන් ලේ ගේනවා කියලා. ඒක අපට තේරෙන්නේ නෑ කියලා. එතකොට එතුමා පොත අරගෙන බලලා කිවුවා මටත් මේක තේරුම් ගන්න අමාරුයි ඒත් බලමු කොහොම හරි තේරුම් ගන්න කියලා. එහෙම කරලා එයාටත් මේක තේරුම් ගන්න අමාරු බවක් පෙන්නලා අපේ බය අඩු කරා කියලා අපට පස්සෙයි තේරුනේ. ඉතින් කොහොම හරි අර කාරණය අපට තේරුම් කරලා දුන්නාම මම ඇහුවා " ඒ කියන්නේ සර් ඒ ලෙඩා මැරෙන්නේ නෑ නේද " කියලා. එතකොට එතුමා කිවුවා ඔන්න ඕක තමයි බොහොම දෙනෙකුට වෙලා තියෙන්නේමැරෙන්නේ නෑ කියලා හිතන එක. ඕක නිසා තමයි මිනිස්සුන්ට හුඟාක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ කියලා. තමන් මැරෙන බව දන්නවා නම් මිනිස්සු අතින් වෙන වැරදි ගොඩාක් අඩු වෙනවා කියලා අපෙන් ඇහුවා දන්නවාද පිලිප් රජතුමා ගැන කියලා. ඒ කාලේ මගේ අම්මා කියලා දීලා මම දැන ගෙන හිටපු නිසා මම පැනලා කිවුවා ඇලෙක්සැන්ඩර් රජ්ජුරුවන්ගේ තාත්තා කියලා. එතුමා කිවුවා ඔවු ඒත් දන්නවාද එයා හරිම කෲර පාලකයෙක් හරිම දරුණු විදියට රට පාලනය කරපු කෙනෙක්. ඒත් ඒ බව දැන ගෙන ඒ කෲර වැඩ අඩු කර ගන්න තමන්ගේ  හොඳම හිතවතෙකුට පවරලා තිබුනා හැමදාම උදේට " පිලිප් යූ මයිට් ඩයි ටුඩේ " කියලා කියන්න කියලා. අපි කිවුවාම නෑ කියලා පිලිප් රජ්ජුරුවෝ එහෙම කලේ තමන් මැරෙන මිනිහෙක් කියන එක කාට හරි කියවලා මතක් කරගෙන ඒ මගින් තමන්ගේ අතින් වෙන්න පුලුවන් වැරදි අඩු කර ගන්න කියලා.
ඉතින් ඔය විදියට  තමන් මැරෙන බව  තමන්ගේ සිහියේ නැති නිසා තමන් අතින් බොහෝ වැරදි වෙන බව තේරුම් ගෙන හිටපු පිලිප් රජ තුමා ඒවා අඩු කර ගන්න අර විදියේ ක්‍රම වේදයක් අනුගමනය කරලා තමන්ගේ අතින් වෙන ඒ වැරදි අඩු කර ගත්තා කියලා මහාචාර්ය ලෙස්ටර් ජයවර්ධන මහත්තයා අපිට කියලා දුන්නා. ඉතින් අපි ඒ දේවල් පිලි අරගෙන දිගටම මෙඩිසින් කරන්න හිතා ගත්තා. අර මාත් එක්ක ගිය මගේ යාලුවා මේ වෙන කොට ඇමරිකාවේ මහාචාර්ය වරයෙක්. මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න පොර අනිවාර්යයෙන්ම මේක දකිනවා. // බොට මතකද මචං ඒ දවස//. ඒ කාලේ අපිට උගන්නපු ලෙස්ටර්කාලෝනන්දදාස කෝදාගොඩ වගේ අයගෙන් අපි මෙඩිසින් වලට අමතරව තවත් බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ කාලේ තිබුණු ආර්ථික ක්‍රමය ඇතුලේ පුද්ගලික වෛද්‍ය සේවය නොතිබුන නිසා ඒ අයට ඕන තරම් වෙලාව තිබුනා අපට මේ දේවල් උගන්නලා අපි පරිපූර්ණ මිනිසුන් කරන්න. ඒ නිසා අපේ සමකාලීනයින් බොහෝ දෙනෙක් අදටත් ඉතාම හොඳ අය. ඒත් ටික දෙනෙක් ඉන්නවා මස් වැද්දන්. මම ඒ වගේ උන් ගැන මීට කලින් පෝස්ට් වල කියලා තියනවා. ඒත් උනුත් ඒ විදියට මස් වැද්දන් වුනේ 1977 න් පස්සේ ආපු විවෘත ආර්ථිකය නිසා. මේකෙන් ඇස් අන්ධ වුනු නිසා තමයි අද බොහෝ දෙනෙකුට මරණානුස්සතිය එහෙම නැත්නම් තමන් මැරෙන බව සිහියේ නැත්තේ. ඒ නිසා තමයි උන් අතින් අමනුස්ස වැඩ කෙරෙන්නේ. අනාගත පරපුර විනාස කරන හෙරොයින්මත් පැන්සූදු වගේ දේවල් කරලා මුදල් හොයන්නේ. මේ වගේ අය මරණ ගෙවල් වලට ගිහින් කම්මුලට අත තියාගෙනෆියුනරල් මූණත් දාගෙන  " අනිච්චං දුක්ඛේ සංසාරේ  " කියලා එලියට ආපු ගමන් ඒක අමතක කරලා අර ජරා වැඩට බහිනවා.
මට මේක කියද්දී මතක් වුනේ අපේ රටේ ඉන්න පිලිප්ලා. හැබැයි උන්ට වැරදිලාවත් කවුරුහරි කිවුවොත්  " ............ ඔයා අද මැරෙන්න ඉඩ තියෙනවා" කියලා ඒක තමයි ඌ උගේ ජීවිතේට කියන අන්තිම වචන ටික. ඒක දන්න නිසානේ අද ඉන්න කහකඩයෝ ප්‍රසිද්ධියේම කියන්නේ මහේසිකාව කැමති නම් අද වුනත් රජ තුමාට අර දරුවෝ හදන වැඩේ කරන්න පුලුවන්. තාම එතුමාගේ මැෂිම හොඳට වැඩ කරනවා කියලා. ඒ මැෂින් දින පතාම  වැඩ කරන නිසා වෙන්න ඇති එච්චර කාර්‍යක්ෂම.  නැත්නම් ඊට අවුරුදු දහයක් අලුත් මොඩ්ල් වෙච්චි අපේ මැෂින් මේ වෙන කොට වැඩ නොකරන්න  හේතුවක් තියෙන්න එපායැ.

*****************************************************************


Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී