ජනාධිපතිවරණය


මේ දවස් වල මගෙන් හුඟාක් දෙනෙක් ඇහුවා ඩොක්ටර් හිතන්නේ මේ පාර ජනාධිපතිවරණයෙන් කවුරු දිනයි කියලාද කියලා. දොස්තරලා ඇහුවා ඒ ප්‍රශ්නයම "මචං උඹ හිතන්නේ" කියන කෑල්ල යොදලා. මම ඒ හැමෝටම දුන්නේ එකම උත්තරයයි. ප්‍රධාන පක්ෂ දෙකෙන් කවුරු දිනුවත් අපට එකයි. ඒ නිසා මම ඒ ගැන වද වෙන්නේ නෑ. හැබැයි ඒ පක්ෂ දෙකෙන් කවුරු දිනුවත් අනිවාර්යයෙන්ම පරදින්නේ මේ රටේ බහුතරයක් වෙන පොදු මහජනතාවයි, ඒත් කණගාටුම දේ උන් පරදින්නේ උන්ගේම චන්දයෙන් වීමයි  කියලා. එතකොට උන් ඇහුවාම ඇයි එහෙම කියන්නේ කියලා මම කිවුවා ඔය ගොල්ලා අහපු ප්‍රශ්නයට මම වැඩියෙනුත් උත්තර දීලා තියනවා. මොකද ඔයගොල්ලා පරදින කෙනෙක් ගැන අහන්නේ නැතුවත් මම ඒකට උත්තර දුන්නා. ඒ නිසා මම ඊට වඩා කියන්න යන්නේ නෑ. හොඳට හිතලා බලලා උත්තරය ගලපා ගන්න කියලා.
ඒත් ඒ අහපු උන්ට වඩා මගේ හොඳ බොකු එෆ් බී එකේ ඉන්න බව මම දන්න නිසා (මම කියන්නේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ඔක්කොම නෙවෙයි. මම දන්නවා ඒකේ සෑහෙන වහු කුණු තියන බව. මට පුලු පුලුවන් වෙලාවට මම ඒ වහු කුණු අයින් කරනවා) මම ඒ ගැන කියන්නම්. අර ප්‍රධාන පක්ෂ දෙකෙන් කවුරු දිනුවත් පුද්ගලිකව ආත්මාර්ථකාමී විදියට බැලුවොත් දොස්තරලා වෙන අපට හොඳයි. අපට නැති වෙන්න දෙයක් නෑ. කොයි තරම් බඩු මිල වැඩි උනත් අපිට ඒක දරා ගන්න පුලුවන් ලේසියෙන්ම. ඒ වගේම ඉන්ධන මිල කොච්චර වැඩි උනත් අපි අපේ වාහන වල අපේ ගමන් යනවා. අපට තියන එකම ප්‍රශ්නය තමයි  වාහන තද බදය. ඒකත් නැති නම් අපට වෙන ප්‍රශ්නයක් නෑ. (අර සහරාන්ට පවු සිද්ද වෙන්න සති තුනක් විතර මම බියගම ඉඳලා බම්බලපිටියට විනාඩි 45න් ගියා. දැන් යනවා පැය එක හමාරක්). ඒත් සාමාන්‍ය මහ ජනතාවට එහෙම නෙවෙයි. උන්ට ඒවා තදින්ම දැනෙනවා. සීමිත ආදායමක් තියන කෙනාට සෑහෙන්න පටි තද කරගන්න වෙනවා. මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කවුරු ආවත් ඒ පටි තව තව තද වෙනවා මිසක් බුරුල් වෙන්නේ නෑ. ඒත් දොස්තරලා ඇතුලු වරප්‍රසාද තියන අයට  පුලුවන් තමන්ගේ පටි ගලවලා උනත් දාන්න. කොටින්ම කියනවා නම් මම දොස්තරෙක් වුනේ 1978 දී. එදා ඉඳන් මේ වෙන කම් මගේ පටි තද කරගන්න අවශ්‍ය වුනේ නෑ. ඒත් 1978 ට කලින් අපි කවුරුත් පටි තද කර ගෙනයි හිටියේ. 78 න් පස්සේ අපේ පටි බුරුල් උනා. පොදු මහ ජනතාවගේ පටි ටික ටික තද උනා.
මේකට හේතුව තමයි අපේ රටේ ජාතික ආදායම බෙදී යාමේ බරපතල විශමතාවය. මම දන්න විදියට අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 පැනලා. 4000 කියලා ගත්තොත් එක් කෙනෙකුට ලැබෙන්න ඕන මාසෙකට රු. 58000 විතර ඩොලර් එක රු 175 ගානේ ගත්තාම. මේ ගාන හැමෝටම ලැබෙනවාද. පවුලක පස් දෙනෙක් ඉන්නවා නම් ඒ පවුලට මාසෙකට රු ලක්ෂ තුනක් ලැබෙන්න ඕන. මම ගැන කිවුවොත් මගේ පෙන්ශන් එකම ලැබෙනවා මීට වඩා. මම රස්සාව කරන කාලේ මේ වගේ තුන් ගුණයක් ලැබුනා. පහු ගිය කාලේ වැටුප් වැඩි වීමත් එක්ක අද හැම දොස්තර කෙනෙක්ම ගන්නවා අඩුම ගණනේ ඒක පුද්ගල ආදායම වගේ දෙගුණයකට වඩා. සමහර අය්ගේ දවසක ආදායම ඒක පුද්ගල ආදායම වගේ තුන් ගුණයක්. ඒත් 1978 ට කලින් එහෙම නෙවෙයි. ඊට වඩා හුඟාක් වෙනස්. ආදායම බෙදී යාමේ විශමතාවය අද තරම් වැඩි නෑ. 1972 දී මම මාස 7 ක් රජයේ විද්‍යා ගණිත ගුරුවරයෙක් හැටියට වැඩ කලා වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන කම්. ඒ කාලේ මට ලැබුනා මාසෙක රු. 215 ක් මගේ අම්මා පුහුණු ගුරුවරියක් එයාට ලැබුනා රු 350 ක්. මගේ මාමා කෙනෙක් හිටියා ආණ්ඩුවේ දොස්තර කෙනෙක් එයාට ලැබුනේ රු 500 යි. 1978 දී මට දොස්තරෙක් හැටියට රු 710 ලැබුනේ. 1000 ක් වුනේ 1982 දී. මම මෙතනදී දොස්තරලා උදාහරණයට ගත්තේ මම ඒ ගැන දන්නා නිසයි. එහෙම නැත්නම් නීති ක්ෂේත්‍රයේ ඉන්නවා එක පැයට ඒක පුද්ගල ආදායමට වඩා හොයන අය. මම මොහු වෙනුවෙන් පෙනී සිටිනවා ස්වාමීනි කියලා කියව ගන්න විතරක් මම හිතන්නේ රු 10000 විතර දෙන්න ඕන.
1977 න් පස්සේ ආපු විවෘත ආර්ථික ක්‍රමයත් එක්ක පුලුවන් එකාට ඕන තරමක් හම්බ කර ගන්න අවස්ථාව ලැබුනා.සාමාන්‍ය ජනතාවට නැති වරප්‍රසාද තියන අමුතුම පෙලැන්තියක් හැදුනා. දේශපාලකයින්ට වැටුප් පෙන්ශන්, මාටියා ගැහිලි, වාහන, තව කොච්චරද.  ආණ්ඩුවේ දොස්තරලාට  පුද්ගලික ප්‍රතිකාර කරන්න අවසර ලැබුනා. ඒ නිසා බඩු මිල වැඩි වෙන කොට අපි කරන්නේ ලෙඩ්ඩුන්ගෙන් ගන්න ගාන වැඩි කරන එකයි. හරි සිම්පල්. ගණන් හදලා බැලුවාම බඩු මිල වැඩි වෙන්න ඉස්සරට වඩා වැඩියෙන් දැන් ලැබෙනවා.
ඉතින් ප්‍රධාන පක්ෂ දෙකෙන් කවුරු ආවත් ඔය තත්වය වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා අපට ගානක් නෑ. ඒත් අපේ සමහර දොස්තරලා එක එක්කෙනාට පක්කලි සර්විස් කරනවා දැනට තියනවාටත් වඩා වරප්‍රසාද ගන්න. ඔය එෆ්බී එකේ එහෙම ඉන්නේ ඒ වගේ පොරවල් එක එක්කෙනාට කඩේ යන.
ඒත් සාමාන්‍ය ජනතාවට එහෙම නෙවෙයි. ඒ අතරිනුත් කොහෙන් හරි මාටියා ගහ ගන්න පුලුවන් එකා ඒක කරනවා. පගාව ගහ ගන්න පුලුවන් එකා තම තමන්ගේ මට්ටමින් ඒක කරනවා. ඉස්පිරිතාලේ ක්ලිනික් පොත උඩින් තියන්න, පෝලිමෙන් පිට ගිහින් බෙහෙත් අරන් දෙන්න, ඒ වගේම තමන් එලවන වාහනේ මීටර් එක වෙනස් කරලා ගාන කපා ගන්න වගේ දේවල්. මේවා හැම රාජ්‍ය ආයතනයකම වෙනවා. ඒවා ගැන මම දන්නා දේ කියන්න ගියොත් මේක ඉවර කරන්න බෑ. ඒත් ඒ කොච්චර කලත් ඒක පුද්ගල වටිනා කමට හරියන ගානක් පවුලේ සියලු සාමාජිකයින් වෙනුවෙන් හොයා ගන්න උන්ට බෑ. ඒ වගේම පොදු ජනතාවගෙන් වැඩි දෙනෙකුට ඒ මාටියා ගහන වරප්‍රසාදයත් නෑ. ඉතින් පටි තද කර ගන්නවා ඇරෙන්න උන්ට කරන්න දෙයක් නෑ. දුප්පත් පවුල් වල ආදායම මදි උනාම මහ එකා බොන්න පටන් ගන්නවා. දරු පවුල හිටියාටත් වඩා දුකට පත් වෙනවා. අන්තිමට අරූ පවුල දාලා යන්න යනවා. ඒත් අම්මාට එහෙම කරන්න බෑ. එයා දරුවන් බඩ ගින්නේ ඉන්නවා බලන්න බැරි උනාම උන්වත් මරලා තමනුත් මැරෙනවා. මේවා කොච්චර නම් වෙනවාද. සමහර තාත්තලාත් ඔය දේ කරනවා.  මෙන්න මේ මහ ජනතාවම තමයි අර පක්ෂ දෙකේ අයව දිනවන්නේ. මොකද වරප්‍රසාද ලබන අයගේ ගණන 15% විතර ඇති. තව 10%ක් තියමු අර අර මාටියා පොරවල්  වලට. ඒත් 25% යි. ඉතුරු 75% ම ගොවියෝ කම් කරුවෝ, විරැකියෝ වගේ අය. ඒත් ...ක කහ ගන්න නිය පොත්ත නැති වුනත් උන්ම තමයි කැපුවත් නිල් කැපුවත් කොල. ඇත්තටම අර 25% රැකෙන්නේ උන්ගේ චන්දයෙන් වගේම උන්ට අයිති දේ වලින්.
ඒත් අර පක්ෂ දෙකට විකල්ප පක්ෂයක් බලයට ආවොත් කෙලවෙන්නේ ඉස්සෙල්ලාම අර වරප්‍රසාද තියන  15% ටයි. ඒ කියන්නේ මමත් ඇතුලුව. මොකද මටත් පුලුවන් මගේ ආදායම වැඩි කර ගන්න උවමනා නම්. මට දැන් එහෙම උවමනාවක් නැති නිසාත් දැනටමත් ඒක පුද්ගල ආදායමට වඩා කීප ගුණයක් ලැබෙන නිසාත් එහෙම කිරීමේ අවශ්‍යතාවක් නෑ. හැබැයි විකල්ප රජයක් ආවොත් මේ හැකියාව නැති වෙනවා අනිවාර්යයෙන්ම. වගේම අර 85% ට මේ වෙන කොට නැති පහසුකම් සෑහෙන්න ලැබෙනවා. උන්ගේ අධ්‍යාපන, ප්‍රවාහන, නිවාස, සෞඛ්‍ය වගේ අත්‍යවශ්‍ය දේවල් වගේම ගොවියන්ගේ නිෂ්පාදන වලට නියම මිලක් ලැබෙනවා. වී මෝල් හිමියන් වගේ අතර මැදියන්ගේ ගසා කෑම් නවතිනවා. ඒ අය තමයි අර වරප්‍රසාද ලත් අය. මේවා ජනාධිපතිවරණයට පහුවෙනිදාම ලැබෙන දේවල් නෙවෙයි. ඒත් ඊට අඩිතාලම වැටිලා අවුරුදු 5ක් 10 ක් වෙන කොට සම්පූර්ණ වෙන දේවල්. හැබැයි අර පටි තද කර ගන්න වගේ දේවල් නම් ජනාධිපතිවරණය ඉවර වෙනවාත් එක්කම වෙන දේවල්.
මේක කරන්න නම් ජේ ආර් ජයවර්ධන කියන නිරි සතා 1977දී දායාද කරපු මේ ජරා ජීර්ණ වෙච්ච ආර්ථික ක්‍රමය උඩු යටිකුරු කරන්න වෙනවා ටිකින් ටික. ඒක කරන්න තරම් පුලුවන් කමක් වත් උවමනාවක් වත් මේ ප්‍රධාන පක්ෂ දෙකටම නෑ. ඒ ගොල්ලා කරන්නේ මේ ක්‍රමය දිගටම පවත්වාගෙන යන එකයි. නමුත් ඒකේ අවසානය හිතන්නටත් බැරි තරම් භයානකයි. වර්ථමානයේ වෙන දේවල් දිහා ප්‍රකෘති සිහියෙන් නැත්නම් බුදු දහමේ කියන හැටියට එලඹ සිටි සිහියෙන් යුක්තව බැලුවොත් මම කියන දේ දකින්න පුලුවන්. වහල් මානසිකත්වයකින් යුතුව බැලුවොත් ඒක දකින්නේ නෑ. අර 85% න් වැඩි කොටසකට වෙලා තියෙන්නේ ඒකයි. අනිත් කොටස නිර්වින්දනය වෙලා ඉන්නවා. මේ ක්‍රමය වෙනස් කරන්න උවමනාවක් සහ හැකියාවක් තියෙන්නේ නියම විකල්ප රජයකටයි. ප්‍රධාන පක්ෂ දෙක එකකට එකක් ආදේශක මිසක් විකල්ප නෙවෙයි.
දැන් මේක කියවපු බොලාට සමහර විට ප්‍රශ්නයක් මතු වෙන්න ඇති තමන්ගේ වරප්‍රසාද නැති වෙන බව දැන දැනත් ඇයි විකල්ප රජයක් ගැන කතා කරන්නේ කියලා. මම ඒක ගැන හෙට කියන්නම්.
අර ෆ්‍රෙඩී සිල්වාගේ කකුලු සිංදුවත් එක්ක මම දාපු පෝස්ට් එකෙන් මම කිවුවත් ඇදේට යන උන් ඉස්සරහා කෙලින් යන්නේ නැතුව ඉන්නවා කියලා මට එහෙම ඉන්න හිත දෙන්නේ නෑ. ඒක මගේ කරුමෙ බං කරුමේ.
*********************************************************************************

අද දවස පුරා මගේ දන්න අය මට කතා කරලා ඇහුවා ඇයි අර වගේ පෝස්ට් දාන්නේ කියලා. ඇයි තේරුමක් නැතුව හතුරෝ හදා ගන්නේ කියලා. මම කිවුවා මම කරලා තියෙන්නේ මේ රටේ පවතින දෙයක් තේරුම් ගන්න පුලුවන් විදියට ගලපලා ඉදිරිපත් කරපු එක විතරයි කියලා. මම කිසි කෙනෙකුට පුද්ගලිකව මඩක් ගහලා නෑ. ඒත් මට සදාකල් පවතින සාධාරණ  කේන්තියක් තියනවා ජේආර් එක්ක. පුද්ගලිකව බලනවා නම් මිනිහා එක දවසක් අපි ජොගින් කරන කොට කූල් ඩ්‍රින්ක්ස් බොන්න දුන්න එක මම මීට කලින් කිවුවා. ඒත් මම කියන්නේ රටක නායකයෙක් හැටියට එයා ගැන විශ්වාසය දීලා බලයට පත් කරපු පොදු ජනතාවට පොර කරපු අපරාධය ගැනයි.
මේ යන විදියට ගියොත් අපි වගේ වරප්‍රසාද තියන අයටත් මේ රටේ ඉන්න බැරි තත්වයක් එනවා. දැනටමත් එහෙම අය රට ඇරලා ගිහින් තියනවා වගේම යමින් තියනවා. ඒ හැමෝම මුදල් හොඳට තියන අය. යන්නේ ආයිත් එන්නත් නෙවෙයි. ගිය සතියේ මගේ ලඟම ඥාති විශේෂඥ වෛද්‍ය වරයෙක් පවුල පිටින්ම යන්න ගියා. එයාගේ මෙහේ මාසික ආදායම මිලියන තුනක්. එංගලන්තයට ගිහින් එයාට කවදාවත් මෙහේ ජීවත් වුනා වගේ ඉන්න බෑ. නමුත් කුඩා දරුවන් දෙන්නාගේ අනාගතය ගැන හිතලා යනවා කිවුවා. මොකද එහේ ඒ වගේ අයට ජීවත් වීම හරිම පහසුයි මෙහේ තරම් සුඛෝපබෝගී ජීවිතයක් ගත නොකලත්. මම ඒ ගැන සම්පූර්ණ විස්තර කරන්නේ නෑ දිග වැඩි වන නිසා. මම කිවුවා මමත් ලබන මාසේ දුව බලන්න සති දෙකකට එනවා. ඉඩ ලැබුනොත් බලන්න එන්නම් කියලා. ඔන්න ඕකයි තත්වය. වරප්‍රසාද තියන අය අතරෙත් ඉන්නවා ඉදිරි දැක්මක් තියන අය. මට පුලුවන් කමක් තිබුනා නම් මමත් යනවා. ඒත් තව ටික කලකින් සදාකාලික සහනය පෙනි පෙනී යන එක තේරුමක් නෑ. අර මගේ ඥාතියා වගේ නෙවෙයි අපි අපේ දරුවන්ව එගොඩ කරලා ඉවරයි. ඔය හුඟාක් වරප්‍රසාද ලබපු බොහෝ දෙනෙක්  දරුවන්ව රටින් පිට කරලා තියෙන්නේ.
උන් දන්නවා මේ රටට ඉස්සරහට වෙන දේ. උන් දන්නවා මේක හරියට අර ලබු ගෙඩිය ඇතුලේ තොවිලය වගෙයි කියලා. ඇතුලේ ඉන්න උන් හිතාගෙන ඉන්නේ ලබු ගෙඩිය තියෙන්නේ තාම ගෙදර මිදුලේ කියලා. ඒත් උන් දන්නේ නෑ උන් තොවිලය නටන්න ඇතුලට ගියාට පස්සේ ගං වතුරට අහු වෙලා ගහගෙන ඇවිත් දැන්  තියෙන්නේ මූද මැද කියලා. තොවිලය ඉවර වෙලා එලියට එන කොටයි උන්ට වෙච්ච දේ තේරෙන්නේ. මේ රටේ වැඩි දෙනෙකුත් ඒ වගේ. දැන් මේ උපමාවත් උපමේයත් අල්ලගෙන මැරෙන්න හදන්න එපා. හඳ පෙන්නුවාම ඒක දිහා බලනවා වෙනුවට පෙන්නපු එකාගේ ඇඟිල්ලේ ඇද කුද හොයන එකනේ වහල්ලු කරන්නේ.
මම කිවුවා කලිනුත් මම දැනට කරන රැකියාවේ කරන්නේ කිසිම රෝග ලක්ෂණයක් නැති අයව පරීක්ෂා කරලා බලන එකයි කියලා. රටේ ඉන්න අනිත් වෛද්‍ය වරු කරන්නේ රෝගයක් තියන ලෙඩුන්ව පරීක්ෂා කරන එකයි. එතනදී ඔවුන් අර ලෙඩේට අදාල පරීක්ෂණ විතරක් කරනවා. නමුත් මම මුලු ශරීරයම ගැන පරීක්ෂා කරනවා. මේ එක්කෙනෙකුට රු 50000 ක් විතර යනවා අවුරුදු දෙකකට පාරක් පරීක්ෂණ වලට. හදවත, මොලය, පෙනහලු, අක්මාව, වකුගඩු, අස්ථි හැම එකක් පිලිබඳවම. එතනදී මම දකිනවා යම් යම් රෝග වලට හේතුවන තත්වයන් ඒ බොහෝ දෙනෙකුගේ තියන බව. අවුරුදු 35 වෙන කොට අක්මාව, හදවත, වකු ගඩු වගේ ඒවා ඉතා නරක තත්වයේ ඉන්න අය මට හම්බ වෙලා තියනවා. ඒ හුඟාක් අය හොඳට සල්ලි තියන අය. බොහෝ දෙනෙක් මාසෙකට මිලියනයකට වඩා ගන්න අය. ඉතින් මම කියනවා මෙච්චර කල් කරපු දේවල් දැන් නවත්වන්න විතරක් නෙවෙයි සමහර ඒවා ආපහු හරවන්නත් වෙනවා තව ටික කලක් ජීවත් වෙන්න ඕන නම් කියලා. ඒ වගේම ලෙඩ වුනොත් ඔය හම්බ කරලා තියන සේරම වියදම් කරලාවත් දැන් ඉන්න තත්වයට එන්න බෑ කියලා. අහිත කර කෑම කාලා, කණ පැලෙන්න බීලා ඇවිත් නිදා ගන්නවා වෙනුවට හිතකර ආහාර වලට මාරු වෙලා, කෑම අඩු කරලා, දවසකට පැය එක හමාරක් වත් හයියෙන් ඇවිදින්න වගේ දේවල් කරන්න කියලා. නමුත් ඒ හුඟ දෙනෙකුට මේක කරන්න අමාරුයි. තල්ලට එනකම් කාපු එකාට ටිකක් බඩගින්නේ ඉන්න බෑ. කකුල් දෙක අස්සේ අත්දෙක ගහගෙන බුදියන් ඉඳලා කාර් එකේ යන එකාට උදේ නැගිටලා ජොගිං කරන්න බෑ. බොන එකාට ඒකෙන් ගැලවෙන්න බෑ. සීනි කන එකාට ඒක අඩු කරන්න බෑ. ඉතින් අපි එහෙම කියන එකටත් උන් තරහයි. උන් කියන්නේ ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න ඕන කියලායි. ඉතින් මට කරන්න දෙයක් නෑ. මම කරන්නේ පවතින තත්වය පැහැදිලි කරලා ඒකට පිලියම් කියලා දෙන එක විතරයි. ඒත් මම දන්නවා යම් දිනයක ඔවුන් තමන් කරපු දේ ගැන තදින්ම පසුතැවෙනවා කියලා ජීවිතය විඳින්න ගිහින්.

රටේ ආර්ථිකය පවතින්නේ ණය මත විතරක් නෙවෙයි රටේ කෑලි පිට රට උන්ට විකුණලා ගන්න සල්ලි වලින්. අපි හැම එකෙක්ම මේ වෙන කොට රු. ලක්ෂ 6 ක් විතර විදේශ වලට ණයයි. 1948 දී මම දන්න විදියට එංගලන්තයේ අයවැය පියව ගන්නත් අපෙන් සල්ලි ගත්තා. කොහොම හරි ඒ වෙන කොට අපි ණය නැති ජාතියක්. 1975 දී අපේ අයවැයේ අතිරික්තයක් තිබුනා. ඒ කියන්නේ ජාතික ආදායම වියදමට වඩා වැඩියි. ඒක එහෙම වුනේ අනවශ්‍ය වියදම් මුලුමනින්ම වගේ නවත්තලා තිබුන නිසායි. නීති මගින් පුද්ගලික වියදම් පවා සීමා කරලා තිබුනා. මම මේවා ගැන විස්තර ඇතුවම කලින් කියලා තියනවා. ඒ කාලේ විවාහ මගුලකට ආරාධනා කරන්න පුලුවන් කෑම දෙනවා නම් 50 කට විතරයි. 100 කට ආරාධනා කරන්න පුලුවන් හැබැයි ඩ්‍රින්ක් එකක් විතරයි දෙන්න පුලුවන් කියලා නිතියක් තිබුනා. ඒත් අද කෝටි ගණන් වියදම් කරලා ශ්‍රැංගිලා එකේ වුනත් මගුල් ගන්න පුලුවන්. ඒත් අලුත් ජෝඩුවගේ පැත්තෙන් ගත්තාම තාමත් බැඳලා ගිහින් උන් කරන එකේ වෙනසක් වෙලා නෑ. එදා කරපු එකමයි අද කරන්නෙත්. වෙඩිමට කරන වියදම් වෙන මහන්සිය විතරයි වැඩි වෙලා තියෙන්නේ. අර වරප්‍රසාද තියන 15% අද එහෙම කරන කොට අනිත් 85% ත් ඒකම කරන්න යනවා තමන්ට පුලු පුලුවන් මට්ටමින්. අල්ලපු ගෙදර එකාට සෙකන්ඩ් වෙන්න බෑ කියලා ණය වෙලා මගුල් කාලා ජීවිතය පුරාටම වගේ අර ණය ගෙවනවා. ඔය වගේ වැඩ වලට  අපේ මුතුන් මිත්තන් කිවුවේ පැදුරෙ ගූ ගියත් බෙට්ට කෙලින් කියලායි. ඉතින් අපේ උන් පැදුරේ ඉඳගෙන බෙට්ට කෙලින් තියාගන්න වද වෙන හැටි වියදම් කරන හැටි ගැනත් මම මීට කලින් කියලා තියනවා.
මම මේ ටික කිවුවේ මගේ ඊයේ පෝස්ට් එකෙනුත් කලේ ඔය ටිකම බව පැහැදිලි කරන්නයි. 1977 දීපටන් ගත්ත මේ ආර්ථික ක්‍රමය නිසාම රට ඉදිරියේදී විනාස වන ලකුණු මට පේනවා අර මම කියපු පොරවල් වල සෞඛ්‍ය තත්වය වගේ. ඒත් රටේ වැඩි පිරිසකට ඒක තේරෙන්නේ නෑ. අපි මෙතෙක් අර ගෙන තියන ණය වලින් වැඩි කොටසක් වියදම් කරලා තියෙන්නේ සෝබන වැඩ වලටයි. දිගටම පාඩු ලබන ශ්‍රී ලන්කන් වගේ ආයතන හොඳ උදාහරණ. මට මතක හැටියට මේක චන්ද්‍රිකාගේ කාලේ එමිරේට්ස් වලට දීලා උන් එකෙන් ලාබ ගත්තා. අපිට ඒ ලෙඩ කපුටාගෙන් බේරෙන්න පුලුවන් උනා. ඒත් මහින්ද මහ උජාරුවට ගිහිං ආයිත් අර ලෙඩ කපුටාව ගෙනත් සල්ලි පොම්ප කරනවා. ඒක තියාගෙන ඉන්නේ තම තමන්ගේ නෑයින්ට ලොකු තනතුරු දෙන්නත් තම තමන්ට කට්ටියත් එක්ක රටවල් වල සවාරි යන්නත්.  රටේ පොදු ජනතාව මේවාට සල්ලි හොයලා දෙනවා. උන්ට තේරෙන්නේ නෑ උන් රු 100 ක් දීලා ෆෝන් එකට ගන්න රීලෝඩ් එකකින් රු 65 ක් විතර යන්නේ ඔන්න ඔය වගේ ඒවාට කියලා.
මේ කතාව දිග වැඩි වෙන නිසා මම කල්පනා කරා මම අර ගත්ත ලෙඩ සම්බන්ධ කාරණයත්, අර මගුල් වලට වියදම් කරන කාරණයත් උදාහරණ හැටියට අරගෙන කතාව ඉවර කරන්න. අපි හිතමු යම රජ්ජුරුවෝ වගේ එකෙක් ඇවිත් අර මගේ පොරවල් වලට නීතියක් දානවා උඹට අද ඉඳන් මත් පැන් බීම තහනම්, කන්න පුලුවන් මම මේ දෙන ලිස්ට් එකේ තියන ඒවා විතරයි, උදේ හතර වෙන කොට නැගිටලා පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එක වටේ ඇවිදින්න ඕන. මාසයක් යන කොට තෝ කොහොම හරි එක දිගට රවුමක් දුවලා මට පෙන්නන්න ඕන. මාස තුනකදී එක දිගට රවුම් පහක් දුවන්න ඕන. නැත්නම් මම තෝව කටු ඉඹුලේ නග්ගනවා, ලෝදිය පොවනවා කිවුවොත් කොහොමද. අරූ නොකර ඉන්නද. යමයාගේ අම්මාට හිතෙන් බැන බැන හරි ඌට ඒක කරන්න වෙනවා. එහෙම නැතුව අර මට කියනවා වගේ ජීවිතය තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි කියලා කිවුවොත් යම රජා එවෙලේම මූව දක්කනවා යම ලෝකෙට. මට එහෙම කරන්න පුලුවන් කමක් නැති නිසා මම හිතෙන් කියනවා තෝ මකබෑවිලා ගියත් මට මොකද කියලා. ඒත් අරූට මාස තුනකදී බඩ බැහැලා ඇඟ ශේප් වෙලා, පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එකේ වට පහක් හිටු කියලා දුවන්න පුලුවන් උනාම, වටේට ඉන්න කෙල්ලෝ ශා එල කොල්ලෙක්නේ කියලා කියන කොට ඌට අනිවාර්යයෙන්ම යමයා බදාගෙන ඉඹින්න හිතේවි යම ලෝකෙට ගිහින් හරි. ඌට එතකොට හිතේවි අනේ මම යමයාටත් උගේ අම්මාටත් ඉස්සර හිතෙන් දොස් කිවුවේ අපරාදේ. කොයි තරම් හොඳ දෙයක්ද මට එතුමා කරේ. දැන්නේ මට තේරෙන්නේ කියලා.
අන්න ඒ වගේ විකල්ප ආණ්ඩුවක් ඇවිත් මේ අනවශ්‍ය වියදම්, බොරු සෝබන වැඩ, රාජ්ය උත්සව, කකුස්ස විවෘත කරන්න ඒක හදන්න ගියාට වඩා වියදම් කරන එක  නවත්වන්න නීති ගෙනාවොත්, මගුල් වලට කරන වියදම් සීමා කලොත් අර 85% ක් වෙන දෙනාට ඉක්මනින්ම තේරෙවි අනේ කොයි තරම් හොඳ දෙයක්ද කරේ කියලා. මොකද උන් වැඩි දෙනෙක් වියදම් කරන්නේ පුලුවන් කමකටවත් උවමනාවකටවත් නෙවෙයි. අනුන් කරන නිසා. උන් ඇඳුම් වලට වියදම් කරන්නේ අනිත් එවුන් කරන නිසා. අද අමාරුවෙන් මාසෙකට රු 20000 ක් හොයන එකා විශේෂයෙන්ම එකීලා ඒකෙන් බාගයක් විතර වියදම් කරන්නේ ඇඳුම් වලට. මොකද අනිත් එවුන් කරන නිසා. ඉතින් හැම ආයතනයකටම පොදු නිල ඇඳුමක් නීති ගත කලොත් අරුන්ගේ සල්ලි කොයි තරමක් ඉතුරු වෙයිද. ඒක උන්ට තේරෙන්නේ එහෙම නීතියක් ආවොත් විතරයි. මම වැඩට යන කොට එකම කමීසෙ දවස් දෙකක් අඳින්න හදන කොට මගේ හොඳම යාලුවා කිවුවා "මොකක්ද අනේ ඔය තරම් ශර්ට් තියෙද්දිත් එකම අඳින්නේ. මේ ලඟදීත් පුතා එවුවා නේද ශර්ට් වගයක්. ඒවා එලියටවත් ගත්තේ නෑ" කියලා මම කිවුවා එකම කමිසෙ දවස් දෙකක් අඳින්න හොඳ නැත්නම් එකම මිනිහා දවස් දෙකක් යන එකත් හොඳ නෑනේ. ඒ නිසා දවසක් ඇර දවසක් ඔයා යන්න කියලා. ඇයි යකෝ යන්නේ ඒසී වාහනේ නම්, වැඩ කරන්නේ ඒසී එකේ නම් එන්නේ ජොගින් කිට් එකෙන් නම් කමිසේ දවස් දෙකක් ඇන්දාම මොකෝ බං වෙන්නේ. බුදු දහමේත් කියලා තියනවානේ ප්‍රත්‍යවේක්ෂනය කියලා එකක්.
බුද්ධාගම් කාරයෝ ඉන්න රටක් වුනාට ඔට්ටුයි වැඩි දෙනෙක් ඒක දන්නේ නැති බවට. දන්නවා නම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ.

******************************************************************

















Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී