Antibiotics and Resistance

අපේ පොඩි මිණිපිරී නර්සරී එකෙන් කැස්සක් අරගෙන ඇවිත් ලොකු මිණිපිරීට දුන්නා දැනට දවස් පහකට කලින්. මේකිව වඩාගෙන ඉඳලා පෙරේදා මටත් ලෙඩේ හැදුනා. මෙහේ දොස්තරලා කවුරුවත් ප්‍රතිජීක ඖෂධ Antibiotics ලේසියෙන් දෙන්නේ නෑ. ඒක තමයි හරි ක්‍රමය. ඒකට කියන්නේ Rational use of antibiotics හෙවත් යුක්තිසහගත ඖෂධ භාවිතය කියලයි. ඒ නිසා කෙල්ලගේ දෙමවුපියෝ කෙල්ලව දොස්තර කෙනෙක් ගාවට ගෙනිච්චේ නෑ. උණ තියන වෙලාවවට පැරසිටමෝල් දුන්නා. අපෙන් ඇහුවෙත් නෑ. අපි කිවුවෙත් නෑ. මෙහේ දොස්තරෙකුට වුනත් තමන්ට ප්‍රථිකාර කර ගන්න නීතියෙන් අවසර නෑ. එයා ලෙඩ වුනොත් මෙහේ ඉන්න අනිත් හැම කෙනෙක් වගේම බෙහෙත් ගන්න එයා ලියා පදිංචි වෙලා ඉන්න දොස්තර ලඟට යන්න ඕන. හදිසි අනතුරකදී ඇරෙන්න ඕනම ලෙඩකට එයා යන්න ඕන එතනට. එතන ඉන්න දොස්තර කෙනෙකුව හම්බ වෙලා බෙහෙත් අර ගන්න ඕන. එයාට බෙහෙත් කරන්න බැරිනම් එයා ලෙඩාව යවනවා ඉස්පිරිතාලේක විශේෂඥ වෛද්‍යවරයෙක් ලඟට ලියුමකුත් එක්ක. එහෙම නැතුව ඉස්පිරිතාලේකට ගියාට වැඩක් නෑ. සති අන්තයේ ජී පී සෙන්ටර් වහලා නිසා 111 එකට කෝල් එකක් දීලා හොස්පිටල් එකකදී ජී පී ඇපොයින්ට්මන්ට් එක හදා ගන්න  පුලුවන්. ඒ වගේම ලංකාවේ වගේ සල්ලි දීලා තමන්ට ඕන ඕන විශේෂඥ වෛද්‍ය වරු හම්බ වෙන්න බෑ ජීපී ගේ ලියුමක් නැතිව.
මම මුලින්ම  1986 දී ලන්ඩන් ඇවිත් නැවතිලා හිටියේ මගේ නෑයෙක් වුනු ඔය කියන දොස්තර කෙනෙකුගේ ගෙදර. එයාලට කියන්නේ ජී පී කියලා ජෙනරල් ප්‍රැක්ටිෂනර්. එයා මීට අවුරුදු දහයකට විතර කලින් නැති වුනා. වින්ටර් කාලේ දවසක එයා ලෙඩ වෙලා මට කතා කලා එයා එක්ක එයාගේ ජී පී ලඟට යන්න. මම ඉන්ටර්නැශනල් ඩ්‍රයිවින් ලයිසන්ස් අරන් ගිය නිසා එයාගේ කාර් එක එලව ගෙන ගියා හැතැප්ම හයක්  ඈතින් තිබුණු එයාගේ ජී පීගේ ලඟට.// මට තාම මතකයි මගේ පස්සෙන් ආපු වාහන හිටු කියලා හෝර්න් ගහ ගෙන ගියා. මම පස්සේ තමයි දැන ගත්තේ එහෙම කරන්නේ වැරදියට එලවන එවුන්ට බනින්නලු. දැන් අපේ රටෙත් ඕක තියනවා. ඒත් ඒක මට ගානක් වුනේ නෑ//. මම හිතුවා ඇයි යකෝ තමන්ගේ ලෙඩකට තමන්ටම බෙහෙත් කර ගන්න බැරි මේ රට මොකක්ද කියලා. පස්සේ මෙහේ තියන  ප්ලැබ් කියන විභාගේ කරන කොට තමයි මම සියල්ල තේරුම් ගත්තේ.

බලපන් මේ ප්‍රතිජීවක ගැන කියන්න ගිහින් කියවුනු පල් හෑලි ටික. මේ විදියට ප්‍රතිජීවක ඖෂධ දෙන එක සිමා කරලා තියෙන්නේ ලොකු හේතුවක් ඇතුවයි. හැම දේකටම ඒවා සීමාවක් නැතුව දෙන කොට ඒවාට ඔරොත්තු දෙන විෂබීජ හැදෙන්න පුලුවන්. ඔය විදියට කිසිම බෙහෙතකට අහන්නේ නැතිවිනාශ කරන්න බැරි විෂබීජයක් ඇති වුනොත් ඒක ලෝකයට විශාල හානියක් කරනවා. සමහර විට මනුෂ්‍ය සංහතියේ අවසානය ඒකම වෙන්න පුලුවන්. 1981 දී හොයා ගත්ත ඒඩ්ස් රෝගයට හේතු වන 1984 දී හොයා ගත්ත HIV  කියන වයිරස් එකක් විනාස කරන්න අදටත් බෙහෙතක් නෑ. ඒත් වාසනාවට ඒක බෝවෙන ක්‍රම තුනයි තියෙන්නේ. //ඒව බලා ගන්න ඕන කෙනෙකුට යූ ටියුබ් එකේ තියන මගේ කතාවල් අහන්න පුලුවන්//. ඉතින් වැරදිලාවත් සෙම්ප්‍රතිශ්‍යාව වගේ HIV ත් කැස්සෙන්කිවිසීමෙන් බෝවන එකක් වුනා නම් මේ වෙන කොට ලෝකයෙන් බාගයකට වඩා ඉවර වෙන්න තිබුනා. එහෙම නොවීත් සමහර අප්‍රිකානු රටවල 20-30% විතර මැරුණා ඒඩ්ස් වලින්. ඒ වගේ ම පලවෙනි ලෝක යුද්ධයේදී. මිනිස්සු ගොඩක් මැරිලා තියෙන්නේ තුවාල වලට ගියපු විෂබීජ ඔඩු දුවලායි. ඒත් දෙවෙනි ලෝක යුද්ධයේදී පෙනිසිලින් වලටත් මුලින්ම ඒක හොයා ගත්ත ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් ඇතුලු විද්‍යාඥයන්ටත්  පිං සිද්ධ  මම දන්න තරමට තුවාල විෂවීම නිසා කවුරුත් මැරිලා නෑ.

//මේක කියන කොට මට මතක් වුනේ මම දවසක් මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහත්තයාගෙන් ඇහුවා අපේ සිංහල රජවරුන් යුද්ධ කරන කාලේ යුද භටයින් මැරුණේ මොනවා නිසාද කියලා. මම එහෙම ඇහුවේ යුද්ධයෙන් පස්සේ දවසක රාගම රණ විරු සෙවනේ හිටපු ආබාධිත රණ විරුවන් දැකලා ඇවිත්. එතුමා කිවුවා විශේෂයෙන්ම දුටු ගැමුණු රජතුමා කරපු යුද්ධ වලින් පස්සේ තුවාල වුනු සෙබලුන් රටට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනා කියලා සඳහනක් නැත්තේ ඒ කාලේ තිබුණු ඉතා දියුණු වෙදකම නිසා වෙන්න ඇති කියලා. ඒ කාලේ සැත් කම් කරපු බවටත් බෙහෙත් ඔරු වල බස්සලා විෂ අයින් කරපු බවටත් සාක්ෂි හොයා ගෙන තියනවා කියලා ඒවා තියන තැන් ගැනත් මට කිවුවා. මම ඒ තැන් වලට ගිහින් විඩියෝ කරගත්ත  ඒවා  එයාට පෙන්නලා තව විස්තර දැන ගන්න  හිටියත් එතුමා 2011 දී මිය යන තුරු මට ඒක කරගන්න බැරි උනා. රාජකාරි කටයුත්තකට රටින් පිට ගිහින් තිබුන නිසා මට එතුමාගේ දේහය වත් බලන්න යන්න බැරි උනා හරියට කලෝ ෆොන්සේකා මහත්තයාගේ දේහය බලන්න බැරි වුනා වගේ මීටර් 300 ක් විතර ලඟින් ඉඳලාත්. ඇත්තටම ඒවා අපේ නොලැබීම්//.

මෙන්න මේ නිසා විද්‍යාඥයින්ට අවශ්‍ය වෙලා තියනවා මේ තියන ප්‍රතිජීවක ඖෂධ වල ශක්තිමත් බව හැකි තරම් කල් තියා ගන්න වගේම ඒවාට ඔරොත්තුදෙන විෂබීජ ඇතිවෙන එක වලක්වන්න. ඒ නිසා මේ වගේ රට වල ප්‍රතිජීවක ඖෂධයක් දෙන්නේ ඒක අත්‍යවශ්‍යම වෙලාවක විතරමයි. මොනම තරාතිරමක කෙනෙකුටවත් වෛද්‍යවරයකුගේ නිර්දේශයක් නැතුව මේවා දෙන්නේ නෑ.

ඒත් අපේ වගේ රට වලින් ඒකට අවශ්‍ය සහයෝගය දෙන්නේ නෑ අපිත් ඇතුලුව. අපේ ගොඩාක් වෛද්‍ය වරු කරන්නේ කිසිම හේතුවක් නැතුවත් මේ ප්‍රතිජීවක ඖෂධ දෙන එකයි. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකදී උගුරේ හැදෙන තුවාල මතුපිට උගුරේම තියන සාමාන්‍ය විෂබීජ නිසා එන කැස්ස ටික කලකින් ඉබේම හොඳ වෙනවා. මොකද අර වයිරස් එකෙන් හැදුනු සෙම්ප්‍රතිශ්‍යාව  හරි ගිය ගමන් අපේ ඇඟෙන්ම අර කැස්ස හදපු විෂබීජ වල  බල පෑම පාලනය කරනවා. ඒත් මේකට සාමාන්‍යයෙන් සතියක් විතර යනවා. ටිකක් දිගට තියනවා නම් විතරක් මේ වගේ රට වල වෛද්‍ය වරු ඒ තරම් බලවත් නැති සාමාන්‍ය ඖෂධයක් දෙනවා.  ඔය විදියට බලලා අත්‍යවශ්‍ය නම් පමණයි බලගතු ඖෂධයක් දෙන්නේ. ඒත් මුලින්ම  ප්‍රතිජීවක දුන්නොත් දවස් දෙකෙන් ගොඩ.

මේක හරියට ගමක දෙගොල්ලක් අතරෙ පොඩි රංඩුවක් ඇතිවුනා වගේ. ඒ වෙලාවට ගමේ ඉන්න සොකඩයෝත් පොරවල් වෙලා කෑ ගහලා ගමේ පොඩි නොසන්සුන් තත්වයක් ඇති වෙනවා. මේක ඉබේම සමථයකට පත් වෙන්නත් පුලුවන්. එහෙම නැත්නම් ග්‍රාම සේවකට කරන්නත් පුලුවන්. එහෙම නැත්නම් STF එක ගෙන්නනත් පුලුවන්. STF එක ආවාම අහල පහල ගම් වල තියන කචලුත් හරි යනවා. ඒත් දිගටම මෙහෙම කලොත් දවසක් එනවා STF එක නැතුව මුකුත්ම කර ගන්න බැරි. ග්‍රාමසේවක බලු වෙලා යන. තව දිගට යන කොට හැමදාම දකින නිසා එස් ටී එෆ් එකට පුරුදු වෙලා ඒකටත් බය නැති උන් ඇති වෙන්න පුලුවන්. අන්න එදාට තමයි කේස්.

අපේ රටේ හුඟාක්දොස්තරලා කරන්නේ ග්‍රාමසේවක වෙනුවට කෙලින්ම STF එක ගෙන්නන එක. මේකට දොස්තරලාට විතරක් දොස් කියන්න බෑ. මෙහෙම වෙන්න ලොකු හේතුවකුත් තියනවා. අර මෙහේ ඉන්න දොස්තරලා වගේ ඉදිරිය ගැන හිතන කෙනෙක් සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් ගන්න ආපු කෙනෙකුට ප්‍රතිජීවක නොදී උණට ඇඟපත වේදනාවට විතරක් බෙහෙත් දීලා දෙවෙනි දවස වෙන කොට හොඳ වුනේ නැත්නම් ලෙඩා යනවා ලඟ ඉන්න වෙන කෙනෙක් ලඟට. ගිහින් විස්තරේ කිවුවාම පොර දෙනවා STF එකෙන්ම කලින් දොස්තරව කන්ඩෙම් කරලා. දවසින් ලෙඩේ හොඳයි. ඒ පාර අර දෙවෙනි දොස්තර ප්‍රසිද්ධ වෙනවා දොස්තර වන් ශොට් කියලා. ඔය වගේ වන් ශොට්ලා හැම ප්‍රදේශයකම ඉන්නවා. ලෙඩ්ඩු පිරිලා උන් ලඟ. මොකද ලෙඩුන්ටත් ඕන ඉක්මනට ලෙඩේ සනීප කර ගන්න. ඉතින් මේ තරඟකාරී විවෘත ආර්ථික ක්‍රමය ඇතුලේ පවතින්න ඕන නිසා අනිත් දොස්තරලාටත් සිද්ධ වෙනවා STF එකම නැතත් පී සී කෙනෙක් වත් ගෙන්නන්න. එහෙම නැත්තන් ඩිස්පැන්සරිය වහලා දාලා නිකම් ඉන්න. හැබැයි එතකොට ඔය ප්ලේන් වල බිස්නස් ක්ලාස් වල යනවා තියා ප්ලේන් එකක වත් යන්න බෑ.

මේක මම හිතුවට වඩා දිගට යන එකක් නිසා අදට නවතිනවා. හෙට හම්බ වෙමු.

ආ මගේ මිණිපිරී සතියක් තිස්සේ තාම කහිනවා. මම  දවස් දෙකෙන් ගොඩ වුනා

මම කියාගෙන ආවේ අපේ, ඉන්දියාවේ වගේ රටවල ඖෂධ පාවිච්චිය පිලිබඳව කිසිම ප්‍රතිපත්තියක් භාවිතා නොවීම නිසා ඇතිවෙලා තියෙන  සහ ඉදිරියේදී ඇති වෙන භයානක  තත්වයන් ගැන. මම උදාහණයකට ගත්ත මගේ ලොකු මිණිපිරී, මට වගේම එයාගේ තාත්තාටත් අර කැස්ස දුන්නා. අපි දෙන්නාම එක වගේ කැස්සා මුලින්ම. මම  අරගෙන ගිහින් තිබුණු STF බෙහෙත් පාවිච්චි කරලා දවස් දෙකෙන් ගොඩ වුනා. අරූ ඒවා නොගෙන දවස් තුනකින් ගොඩ වෙලා අද උදේ හිස් බඩම නානවා මම දැක්කා. ඒත් මම තාම නෑවේ නෑ. එහෙම වෙලා තියෙන්නේ මෙහේ උන්ට පොඩි කාලේ ඉඳන්ම ප්‍රතිජීවක ඖෂධ නොදීම නිසා ලොකු වෙන කොට අර විෂ බීජ වලට ගොදුරු වීම නිසාම ඇඟ ඔරොත්තු දෙන්න පුරුදු වෙලා එහෙම නැත්නම් ශක්තිමත් වෙලා නිසා. මිණිපිරීගේ තාත්තා නම් ඉංගිරිස් කාරයා ඒත් අම්මා අපේ එකියෙක්නේ. ඉතින්  අපි දෙන්නා ඒකී පොඩි කාලේ අවුරුදු දෙකක් යන කම් කිසිම ලෙඩක් හැදෙන්න දෙන්නේ නැතිව බලා ගත්තා. මගේ යාලුවාට ලෙඩ්ඩුන්ගෙන් සෙම්ප්‍රතිශ්‍යාව හැදුනු වෙලාවල එයා කෙල්ලට කිරි දුන්නේ මුකවාඩමක් බැඳ ගෙන. අපි ඒ කාලේ මහ ලොකු හපන් කමක් කරා වගේ කයිය ගැහුවාට පස්සේ තමයි තේරුණේ ඒක මෝඩ කමක් කියලා. මෙහේ පොඩි කාලේ ඉඳන්ම දරුවන් හුරු කරවනවා ලෙඩ වලට ඔරොත්තු දෙන්න. සමහර අය පොඩි ලමයි වැස්සට තෙමෙන්න අරිනවා. එහෙම කරලා ලෙඩ වුනාම එහෙමම හොඳ වෙන්න අරිනවා කිසිම බෙහෙතක් නොදී. උණ ආවොත් පැරසිටමෝල් දෙනවා. කැහැ කැහැත් නර්සරි යවනවානාවනවා ඒත් අපේ රටේ කියන්නේ නාවන්න එපාඋණු වතුරෙන් ඇඟ හෝදන්න කියලා. නාවන්න කිවුවොත් එහෙම සෙම තියන ලමයා නාවන්න කිවුවා මූ නම් හොර දොස්තර කෙනෙක් වෙන්න ඇති කියලා ආයිත් පලාතේවත් එන්නේ නෑ. සමහර අපේ මිනිස්සුන්ට වෙනමම ලිස්ට් එකක් දෙන්න ඕන නොකල යුතු දේවල් ගැන. එතකොට තමයි හිතට හරි යන්නේ. ඕන දෙයක් කන්න දෙන්න කිවුවොත් හිතට ෆිට් නෑ.
මේ නිසා මෙහේ උන් ලොකු වෙන කොට දවසෙන් දෙකෙන් හුඟාක් ලෙඩ වලින් ගොඩ එනවා. අපිට එහෙම පුරුදු වෙලා නැති නිසා ඖෂධ ඕන වෙනවා. ඒත් මම දන්නවා අපේ නගර ආශ්‍රිතව තද බදයේ තියන එක ලඟ එක තියන කුඩා ගෙවල් වල ඉන්න ලොකු මිනිස්සුන්ට ඔය වගේ ලෙඩ අඩුයි. මම වටේ ගියේ මුඩුක්කුපැල්පත් කියන වචනයට මම අකමැති නිසයි. ඒවායේ පොඩි එවුන් කැහැ කැහැ හිටියත් ලොකු වෙන කොට එහෙම නෑ. ඒත් කරුමෙට ලොකු උන් මත් පැන්සිගරට්කුඩු වගේ දේවල් වලට පුරුදු වෙලා වෙනම ලෙඩ සෙට් එකක් හදා ගන්නවා. ඒත් ඒවායින් විඳවන්නේ උන් විතරයි. හැබැයි ඖෂධ වලට ඔරොත්තු දෙන එහෙම නැත්නම් ඒවායින් මර්ධනය නොවන විෂබීජ ඇතිවුනොත් මුලු මිනිස් සංහතියටම ඒක බලපානවා. ඒ කියන්නේ බෙහෙත් වලින් කැස්ස හොඳ කර ගත්ත මටත් බෙහෙත් නොගෙන හොඳ කර ගත්ත මගේ සුදු බෑනාටත් වෙන්නේ එකම සන්තෑසියමයි. ඒත් අපි දෙන්නාගෙන් එකෙක් කුඩු ගැහුවොත් හරිසිගරට් මත් පැන් බිවුවොත් හරි කාලෙකදී අර සන්තෑසිය වෙන්නේ ඒවා කරපු එකාට විතරයි. මේකෙදි ඖෂධ ප්‍රතිවිරෝධය එන්නේ ඒවා ගත්ත එකාට නෙවෙයි විෂබීජ වලටයි. එහෙම විෂබීජයක් ඇතිවුනාම ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව හිටු කියලා බෝ වෙනවා හරියට අපේ දේශපාලකයින්ගේ වාහන පාරේ යනවා වගේ. උන්ගේ වාහන වලට පාරේ තදබදයට ප්‍රතිවිරෝධය තියනවා. මේකෙන්වත් බොලාට තේරුණාද හිතුමතේට කරන ඖෂධ පාවිච්චියෙන් ප්‍රජාවට තියන භයානක අන්තරාව.

ඇයි අපට මෙහෙම වෙලා තියෙන්නේ කියලා බැලුවොත් අර මැක්කාගේ කතාව වගේ එන උත්තරය තමයි අපේ තියන මේ විවෘත ආර්ථික ක්‍රමයත්, පාදඩ දේශපාලන ක්‍රමයත් ඒ නිසාම ඇතිවෙලා තියන නීතියේ කඩා වැටීමත්. එංගලන්තය වගේ රටවල තියෙන්නෙත් විවෘත ආර්ථික ක්‍රමයක්. ඒත් අපේ වගේ බහුබූත ක්‍රමයක් නෙවෙයි. එක එකාට ඕන හැම දෙයක්ම ගේන්න බෑ වගේම ප්‍රමිතියක් නැති දේවල් ගෙන්න බෑ. අපේ රටට ඕනම බඩකඩුත්තුවක් ගේන්න පුලුවන්නේ. පහුගිය දවස් වල මෙහෙන් (UK) කුණු ගෙනාවා වගේ. ඒකත් ඉස්පිරිතාල වලින් අයින් කරපුවා. ඒ වගේම මෙහේ ඉන්නේ රටට ආදරේ කරන බුද්ධිමත් මිනිස්සු නිසා උන් බලයට පත් කරගන්නෙත් ඒ වගේම පාලකයින්. තමන්ට යමක් දුන්නා කියලා හැම පාදඩ කමක්ම කරන එවුන්ට මෙහේ තැනක් නෑ. මේ වගේ පාදඩයින් බලයට පත් නොවන නිසාම නීතිය රැකෙනවා. ඒ වගේම මිනිස්සු නීතියට ගරු කරනවා. බය වෙනවා නෙවෙයි ගරු කරනවා. ඒ නිසා ඒවා පිලිපදිනවා. කිසිම ෆාමසියකින් වෛද්‍ය වරයකුගේ නිර්දේෂයක් නැතුව ඖෂධ ගන්න බෑ ඔය පැරසිටමෝල් වගේ කීපයක් ඇරෙන්න. ඒ වගේම මිනිස්සු හොඳින් දැනුවත් වෙලා තියන නිසා ඒ අයත් ඒවා ගන්න යන්නේ නෑ. අවුරුදු 18 ක් විතර අපේ රටේ හැදුනු මගේ කෙල්ල එයාගේ දරුවන්ටවත් එයාටවත් ඒවා පාවිච්චි කරන්න අහන්නේවත් නෑ. මම STF බෙහෙත් ගත්තාම එයා මට දොස් කිවුවා. ඉතින් බං ඒකි එහෙම කිවුවාට මම තව දවස් තුනයි මෙහේ ඉන්නේ. ඒකත් කැහැ කැහැ ඉන්න තමයි වෙන්නේ. ඒකිගේ මිනිහාට සනීප උනාට.
 ඒත් අපේ රටේ ඔය රාජ්‍ය ඔසු සල ඇරුනාම අනිත් ෆාමසි හැම එකකම වගේ දන්න කියන අයට ඕනම බේතක් දෙනවා සුටුස් ගාලා. මොකද උන්ටත් තරඟයක් තියනවා උන්ගේ බිස්නස් එකට. ඔසු සල රජයේ නිසා උන්ට බිස්නස් තිබුනත් නැතත් ඒ හැටි ගානක් නෑ. රජයේ රෝහල් වල වැඩ කරන දොස්තරලාට වගේ තමයි. උනුත් ඉස්පිරිතාලේදී හරි දේ කරලා ප්‍රයිවට් එකේදී ඊට විරුද්ධ දේ කරනවා. එහෙනම් මේකේ වැරැද්ද තියෙන්නේ හුඟාක්ම මිනිස්සුන්ගේ නෙවෙයි. පවතින ක්‍රමයේයි.
මම දවසක් චෙක් කරන්නත් එක්ක මම වැඩ කරන තැන එකෙක්ව යවලා බම්බා වල ෆාමසියකින් නිදි පෙති 500 ක් ගෙන්න ගත්තා  Prescription එකක් නැතුව. ඌ හොඳට අඳුනන නිසා ඌට දීලා තිබුනා. ඒත් සාමාන්‍යයෙන් Prescription එකකටවත් එච්චර ගොඩක් දෙන්නෙත් නෑ. දොස්තර කෙනෙක් එච්චර ගොඩක් ලියන්නෙත් නෑ. මම ගෙන්න ගත්තේ මගේ යාලුවාගේ ඩිස්පෙන්සරියට.
ඒ වගේම මේ මුදලට ඕනම දෙයක් කරන්න පුලුවන් සමාජයක මුදල් හොයන්න මිනිස්සු උගත් කම්මනුස්ස කම්සාර ධර්ම සේරම පැත්තකට විසි කරලා ඕනම දෙයක් කරනවා. ඒ නිසා තමන්ගේ තමන්ගේ රෝගී සංසදය Patient pool එක නොකැඩී තියාගන්න වන් ශොට්ලා බිහි වෙනවා. වෙන කෙනෙකුගෙන් ප්‍රථිකාර අරගෙන තමන් ලඟට ආපු ලෙඩාට "අපෝ මේ මොනවාද දීලා තියෙන්නේ " කියලා ඒවා අයින් කරලා ඊට වඩා බලවත් ඒවා දෙනවා. සමහර වෙලාවට කලින් එකා දීලා තියන එකම වෙන නමකින් ලියලා දෙනවා. මම මේවා ඕන තරම් දැකලා තියනවා. ඒත් තවමත් සමහරු ඉන්නවා Patient pool එක ගැන ඒ තරම් තැවෙන්නේ නැතුව යම් ප්‍රමිතියක් ඇතුව තමන් ලඟට එන ලෙඩුන්ට ප්‍රතිකාර කරන. ඒ ගොල්ලා රෝගීන්ට ලෙඩේ පහදලා දීලා විශේෂයෙන්ම වයිරස් උණ වගේ ඒවායෙදී  කියලා දෙනවා වයිරස් විනාශ කරන්න තවම බෙහෙත් නෑ. ඒ නිසා මොනවා කරත් මේක යම් නිශ්චිත කාලයක් ගන්නවා ඇඟෙන්ම වයිරස් එක විනාශ කරන්න ඒ නිසා අපි මේ දෙන්නේ රෝග ලක්ෂණ වලට බෙහෙත් විතරයි කියලා. යම් වාසනාවකට ඒවා තේරුම් ගන්න පුලුවන් ටික දෙනෙක් ඉන්නවා. ඒ නිසා ඒ අය දවසෙන් දෙකෙන් හොඳ වුනේ නෑ කියලා දෙතුන් දෙනා ලඟට යන්නේ නෑ. මම ඒක අත්දැකලා තියනවා. ඒත් වැඩි දෙනෙක් දවස් 5 ක් තියන වයිරස් උණක් හැදුනු වෙලාවට දොස්තරලා තුන් දෙනෙක් විතර හම්බ වෙනවා. අර අන්තිම එකා ලඟට යන කොට ඇඟෙන්ම ලෙඩේ හොඳ වෙන්න කිට්ටුයි. ඒ නිසා ඌ මොනවා දුන්නත් නොදුන්නත් හොඳ වෙනවා. අන්තිමට පොරගේ නම යනවා. මෑන්ගේ Patient pool එක  ලොකු වෙනවා. අනිත් උන්ගේ ඒවා පොඩි Pond වෙනවා. මේ නිසා ලෙඩුන්ට ඇත්ත කියලා හරි දේ කරලා Pool එක අඩු කර ගන්න බොහෝ දෙනෙක් කැමති වෙන්නේ නෑ. අනිත් එක මේ වෙන කොට කිලෝ මීටරෙන් මීටරේට වගේ රජයේ දොස්තරලා ඉන්නවා රාජකාරි වෙලාවෙන් පිටදී පුද්ගලිකව බෙහෙත් දෙන. ඒ නිසා තරඟය වැඩියි. තරඟ වලදී ක්‍රීඩකයෝ කොහොම හරි දිනන්න තහනම් ඖෂධ පාවිච්චි කරනවා වගේ දොස්තරලාත් තහනම් ක්‍රම පාවිච්චි කරනවා තරඟයෙන් දිනන්න.

මේ විදියට බලන කොට  යමක් තේරුම් ගන්න පුලුවන් කමක් තියන ඕනම කෙනෙකුට පැහැදිලි වෙන්න ඕන මේවායින් ගැලවෙන්න නම් මේ තියන මජර දේශපාලන ක්‍රමයත් ඒ වගේම කිසිම ප්‍රමිතියක් නැති විවෘත ආර්ථික ක්‍රමයේත් ලොකු වෙනස් කම් සිද්ධ වෙන්න ඕන කියන එක. ඒකෙන් තේරෙන්නේ නැහැ අපි ආයිත් 1977 ට කලින් තිබුණු සංවෘත ආර්ථික ක්‍රමයට යන්න ඕන කියලා. ඒක දැන් ගැලපෙන්නේ නෑ. ඒත් මේ ක්‍රමයට නම් ලොකු වෙනස් කිරීමක් අත්‍යවශ්‍යයි. මම මෙතෙක් දැකලා නෑ එක ජනාධිපති අපේක්ෂකයකුගේ වත් ප්‍රථිපත්ති ප්‍රකාශනයක මේ කරුණ අඩංගු වෙලා තියනවා. එහෙම තියනවා නම් ඒක දැකපු කෙනෙක් මට ඒ ලින්ක් එක එවන්න. මීට අවුරුද්දකට විතර කලින් ජවිපෙ ඉල්ලිමක් අනුව විද්වත් කමිටුවක් පිහිටුවලා මේ නිර්දේශය අපි ජවිපෙ ට ඉදිරිපත් කලා ඔවුන් ඒක ඉහලින්ම පිලි ගත්තා මට මතකයි. කොහොම වුනත් දැනට ඉදිරිපත් වෙලා ඉන්න ජනාධිපති අපේක්ෂකයින්ගෙන් මේ වගේ දෙයක් කරන්න උවමනාවක්හැකියාවක් සහ හයියක් තියෙන්නේ ජවිපෙ ට විතරක් බවයි මගේ හැඟීම.

අනේ බුදු මචෝ මේක කිවුවා කියලා මට දැන් ඉතින් ජෙප්පෙක් කියලා නම් හංවඩු ගහන්න  එපා. මම ඔය මොන එප්පෙක් වත් නෙවෙයි. අනික මම මගේ මලකඳ කවදා හරි මෙඩ්ඩන්ට ඉගෙන ගන්න දෙන්නයි ඉන්නේ අපේ කාලෝ ෆොන්සේකා මහත්තයා වගේ. ඉතින් එහෙවු එකේ හංවඩුවක් තිබුනාම කැතයිනේ බං. මෙඩ්ඩියෝ උනත් ඔය අනම් මනම් හිතන්න පුලුවන්නේ. මම මොන එප්පෙක් වත් නොවෙන නිසා කාගේ වුනත් හොඳ කියනවා වගේම නරකත් කියනවා. මම කලින් කිවුවා 88/89 කාලේ මට විජේවීරගේ කෑල්ලක් ගෙනත් දුන්නා නම් ඒක අමුවෙන්ම කන්න පුලුවන් තත්වයක හිටියා කියලා. ඒ ඒ කාලේ උන් කරපු දේවල් නිසා. මේ 1990 න් පස්සේ උන් කරලා තියන දේවල් නිසා.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී