රටට ජනතාවට ආදරය කල ඇන් ඇම් සහ සීනි






අද උදේ මම රාජගිරියේ ගෝල්ඩන් කී රෝහලේදී අක්ෂි විශේෂඥ වෛද්‍ය සාලිය පතිරන මහතා හමුවී පසුව ගියා පහල තට්ටුවේ තියන කැන්ටීන් එකට මොනවා හරි බොන්න කියලා. ඒ ගිහින් වාඩි වෙලා ඉන්නකොට මගේ ඉස්සරහා හිටපු මහත්තයෙක් එයාගේ නෝනාට කැත විදියට බනිනවා කැන්ටිමේදී දීපු නෙස්කැෆේ එකට සීනි මදි කියලා. මම මහත්තයෙක් කියලා කිවුවේ මිනිහා කලිසමක් ඇඳලා හිටි නිසායි . මම තමුසෙට කිව්වා මෙතනට එන්න බෑ කියලා අර පහල කඩයට ගියා නම් රසට තේ එකක් බොන්න තිබුනා. තමුසෙට හැම එකම ලොකුවට ඕනනේ කියලා මිනිහා තනියම යන්න ගියා. අර අහිංසක නෝනාත් තමන් බිබී හිටපු නෙස්කැෆේ එක තියලා මෑන් පිටිපස්සෙන් ගියා. මේක දැකපු මට මතක් උනේ මීට අවුරුදු 44 කට පෙර උන සිද්ධියක්.

1974 දී ලෝකයේ සීනි මිල ඉහල යාම නිසා අපේ රටේ ලොකු සීනි හිඟයක් ආවා. කොලඹ කොහේවත් සීනි ටිකක් ගන්න තිබුනේ නැහැ. ඒ කාලයේ අපි වෛද්‍ය විද්‍යාලයේ පලමුවෙනි විභාගයට පාඩම් කරන කාලේ රෑට නිදි වරනවා. ඉතිං තේ කෝප්ප දෙකක් විතර බොනවා නැගිටලා ඉන්න. මේ සීනි හිඟය නිසා අපේ පාඩමත් හරියට කර ගන්න බැරි වෙලා අපි හිතා ගත්තා ඒ කාලේ මුදල් ඇමති එන් එම් පෙරේරා මහත්තයා හම්බ වෙලා දැනට දෙන මාසෙකට දෙන  සීනි රාත්තලට අමතරව අඩු ගණනේ අපි එක්කෙනෙකුට තව වැඩිපුර සීනි රාත්තලක් වත් ඉල්ලන්න.  අපි හය දෙනෙක් ගියා එවකට මුදල් ඇමති ආචාර්ය එන් එම් පෙරේරා මහතාගේ කොටා රෝඩ් එකේ තිබුන ගෙදරට. මග දිගට යන කම්ම මිනිහාට අම්මා මෝ නැතුව බැන බැන තමයි ගියේ. 

ගෙදරට ගියාම එතන හිටියා පොලිස් රාලහාමි කෙනෙක්. ඒ කාලේ පොලිසියේ රාලහාමිලා ඇන්දේ කොට කලිසම. රාලහාමිත් කොට මහත එක්කෙනෙක් නිසා හරියට වංගෙඩියක් වගෙයි පෙනුනේ. ඒ කාලේ ඇමති කෙනෙකුට තිබුන ආරක්ෂාව එච්චරයි. අපි මෑන්ට කිවුවා අපි වෛද්‍ය විද්‍යාලයෙන් ආවේ මුදල් ඇමති තුමා හම්බ වෙන්න කියලා. මිනිහා ඇතුලට ගිහිල්ලා ටික වෙලාවකින් පස්සේ ඇවිත් අපට ඇතුලට යන්න කිවුවා. අපි ඇතුලට යනකොට ඇන් ඇම් හිටියා පරණ කවිච්චියක වාඩිවෙලා අපිටත් කිවුවා වාඩි වෙන්න කියලා. හරිම නිහතමානී ඉතා ප්‍රසන්න කෙනෙක්. පපුවෙන්ම එන අවංක හිනාවක් මුහුනේ තිබුනා. එදා තමයි මම ඇන් ඇම්ව ජීවිතයේ පලමු වතාවටත් අන්තිම වතාවටත් දැක්කේ. (ඊට පස්සේ දැක්කේ 1979 දී මළමිනියක් වෙලා පාර්ලිමේන්තුව ඇතුලේ තැන්පත් කරලා තියෙද්දියි ). අපි ආපු කාරණේ කියන්නත් කලින් එතුමා සේවකයකුට අඬගහලා කිවුවා අපිට තේ ගේන්න කියලා. ඊට පස්සේ ආපු කාරණාව ඇහුවාම අපි විස්තරේ කිවුවා. එතකොටම අපිට තේ ගෙනාවා. බොන්න බලන කොට ඒවායේත් සීනි නැහැ. අපි කෝප්ප අතේ තියාගෙන ඉන්නවා දැකලා එතුමා කිවුවා ලමයිනේ මමත් තේ බොන්නේ සීනි නැතිවයි. මේ දවස් වල ලෝකයේ සීනි මිල වැඩි නිසා ගෙන්නන්නේ අඩුවෙනුයි. ඒ නිසා ටිකක් ඉවසලා සීනි නැතිව තේ බොන්න පුරුදු වෙන්න. දවසක් දෙකක් යන කොට පුරුදු වෙයි කියලා. තවත් කිවුවා රෑට නැගිටලා ඉන්න පුලුවන් වෙන්නේ තේ වල තියන සීනි නිසා නෙවෙයි ඒකේ තියන ටැනින් නිසා බව. ඒ පාර අපි අර සීනි නැති තේ ටික බීලා එන්න හදන කොට එතුමා අපට සුභ පතලා කිවුවා අපි මේ රට දියුණු කරන්න හදන්නේ ඔයගොල්ලා වෙනුවෙනුයි කියලා. ඒ කියපු එක ඒ දවස් වල අපිට තේරුනේ නැහැ. දැන් තමයි තේරෙන්නේ. කොහොම උනත් අපි හය දෙනා එදා ආපහු ආවේ එතුමා ගැන පැහැදීමක් ඇති කර ගෙන. අපි සීනිත් අරං එනකං හොස්ටල් එකේ බලාගෙන හිටපු අනිත් අය මේ කතාව අහලා ඇන් ඇම් ගේ විතරක් නෙවෙයි අපේත් අම්මලාට පලු පැලෙන්න බැන්නා.වෙන කරන්න දෙයක් නැති නිසා අපි සීනි නැතුව තේ බොන්න පුරුදු උනා. ඒ පුරුද්ද මට කාලයක් යන කල්ම තිබුනා.

පස්සේ වෛද්‍ය වරයෙක් වෙලා යම් යම් කටයුතු වලට පිට රටවල් වලට ගියාම තමයි මම දැක්කේ විශේෂයෙන්ම බටහිර රට වල මිනිස්සු තේ කෝපි බොන්නේ තේ කෝපි වල රස විඳින්න මිසක් පැණි රස විඳින්න නෙවෙයි කියලා. ඒ අය බොන්නේ තද කහට තියන තේ ඒ වගේම තද කලු කෝපි. ඒකට අපි. අපි විතරක් නෙවෙයි ඉන්දියාව පකිස්තානය බංගලි දේශ වගේ රට වල මිනිස්සු තේ කියලා බොන්නේ සීනි. ඉන්දියාවේ අපටත් වඩා වැඩියි. වැරදිලාවත් ඉන්දියන් කපල් එකක් ගෝල්ඩන් කී කැන්ටිමට ආවානම් අර ඥානසාර ලොක්කා කියන්න වගේ කැන්ටිමට අබ සරණයි.


Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී