ජීවන රටා - Life styles




ජීවන රටා


පහුගිය අවුරුදු 40 දී අපේ මිනිස්සුන්ගේ ජීවන රටාව ආහාර රටාව සම්පූර්ණයෙන්ම වගේ වෙනස් උනා. 1978 වෙන කම් තිබුනේ ජීවන හා ආහාර රටාව විසින්ම ශරීරය නිරෝගීමත් වන ක්‍රමයක්. අපි හොඳට ඇවිද්දා. සෙල්ලම් කලා. ගහ ගත්තා. එදා ඒ ක්‍රියාකාර කම් වලින් නිකන්ම ව්‍යායාම ලැබුනා. උදාහරනයකට කියනවා නම් ඒ දවස් වල වැසිකිලි වල තිබුනේ ඇන තියාගෙන වාඩි වෙලා ඒ කටයුත්ත කරන්න ස්කොටින් පෑන්. ඒවා දවසට එක් වතාවක් පාවිච්චි කලත් විලුඹ, දනහිස, උකුල යන තුන් තැනම සම්පූර්ණයෙන්ම නැවෙනවා. මිනිස්සු බස් එක එනකම් කඩපිල් වල සමහර විට පැය ගනන් වාඩි වෙලා හිටියේත් ඒ විදියටම ඇන තියාගෙන පත්තරත් බල බල.(අපි මේව කියන කොට දැන් ඉන්න අය අහනවා යකඩ ඇණ තියාගෙනද හිටියේ කියලා). ගෑනු කුස්සියේ වැඩ කරන කොට බිම ඉඳ ගත්තේත් මේ විදියට. ඒ කාලේ දැන් වගේ හිටගෙන උයන සිරිතක් තිබුනේ නෑ. පොල් ගෑවෙත් හිරමනය උඩ වාඩි වෙලා. ඒ වගේම ඒ කාලේ අපේ ආත්තම්මලා අම්මලා පොල් මිරිකුවේ ඇඟිලි වලින් නිසා ඒ අයට කවදාවත් අත් වල ආත්‍රයිටිස් හැදුනේ නෑ. අද එහෙම නෙවෙයි නගර වල  වැඩි හරියකට අවුරුදු 45 වෙන කොට ආත්‍රයිටිස්. ලංකාව ගැන රොබර්ට් නොක්ස් ලියලා තියන පොතේ තියෙනවා " දේ ආ සිටිං ඔන් නතිං " කියලා. වාඩි වෙලා ඉන්නවා හැබැයි යට මොකුත් නෑ. ඉතිං මේ ඉරියව්වෙන් ඉන්න කොට ඉනෙන් පහල හැම ජොයින්ට් එකක්ම සම්පූර්ණයෙන්ම නැවිලා තියෙන්නේ. දවසකට අඩු ගනනේ දහ දොලොස් වතාවක් ඔය විදියට හිටපු නිසා ඒ කාලේ අයට "සන්දි සුදා" වගේ බෙහෙත් ඕන උනේ නෑ. මම ඔට්ටුවක් අල්ලනවා අද ඉන්න අයට එක මොහොතකටවත් ඒ විදියට ඉන්න බෑ කියලා. මේ පොස්ට් එක බලලා ඔහොමම පහත් වෙලා බලන්න පුලුවන්ද කියලා. ඒ කාලේ කොලඹ වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයේ තිබුනේ ඒවා. පස්සේ කොමොඩ් ආවාට පස්සේ ඒ ලැබුනු ව්‍යායාමයත් නැතුව ගියා. දැන් ඒ වෙනුවට ජිම් වලට ගිහින් මැරීගෙන ස්කොටින් කරනවා. ඒත් හැමෝම නෙවෙයි. ඒ කාලේ මිනිස්සු ඒ වගේම ඉස්කෝල ලමයි හරියට බයිසිකල් වලින් වැඩට ඉස්කෝලෙට ගියා. ඒවා හොඳ ව්‍යායාම. මේ උදාහරන දෙකක් විතරයි.


ඒ කාලේ කොලඹ වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයේ තිබුන ටොයිලට් පේලියේ ඇතුලේ කවුරු හරි ඉන්නවාද කියලා බලන්නේ දොරවල් වලට තට්ටු කරලා නෙවෙයි. නැවිලා බලනවා පොලොවයි දොරයි අතරේ තියන අඟල් අටක් විතර හිඩැසින්. අර පාර්ලිමේන්තුවේ වගේ තුනෙන් එක පේන්නේ නැත්නම් බය නැතුව දොර ඇරගෙන යනවා. ඒවා හරි ලේසි ක්‍රම ඒ කාලේ තිබිච්චි. එහෙම එකින් එකට තුන් හතර පාරක් නැවිලා බලන එකෙනුත් ව්‍යායාමයක් ලැබෙනවා විශේෂයෙන්ම කොන්දට. ලඟ ලඟ ඒවායේ ඉන්න උන් ගූගල් කර කර කතා කරනවා. විභාග කිට්ටු දවස් වලට පැයක් විතර එලියට වෙලා ඉන්න කොට ඇතුලේ උන් ඉඳගෙන කරන ඩිස්කෂන් වලින් මම සෑහෙන්න මෙඩිසින් ඉගෙන ගත්තා. සමහර ඒවා දවසක්ම පොත කියවලත් ඔලුවට ගන්න බෑ. ඉතිං ඒ කාලේ අපිට ටොයිලට් ගියාම ට්‍රිපල් වාසි. ව්‍යායාම, විෂය දැනීම සහ ගූගල් කිරීම.

ඒ කාලේ මිනිස්සු ඒ වගේම ඉස්කෝල ලමයි හරියට බයිසිකල් වලින් වැඩට ඉස්කෝලෙට ගියා. ඒවා හොඳ ව්‍යායාම. මේ උදාහරණ දෙකක් විතරයි.

අද පාරවල් වල බයිසිකල් වලට යන්න ඉඩක් නැහැ. ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර අදටත් උදේ 10 වෙනකම් පාරවල් වල යන්න පුලුවන් බස් වලටයි බයිසිකල් වලටයි විතරයි. පුද්ගලික කාර් වලට යන්න පුලුවන් ඊට පස්සේ. හවසටත් එහෙමමයි. ඒ වෙලාවට මුලු පාරම බයිසිකල් වලින් පිරිලා. එහාට ගිය අයට මේවා පෙනිලා ඇති. හැබැයි අපේ සමහරුන්ට මේවා පෙනුනාට දකින්නේ නැහැ. හිතට වදින්නේ නෑ. මේ වැඩේ මෙහෙත් කරන්න පුලුවන්. යුද්දෙ කාලේ යාපනයේ අය ගියේ බයිසිකල් වල. මගේ බැච්චියක් වෙච්චි මහාචාර්ය රාජිණී තිරාණගම හැමදාම ගෙදර ඉඳන් යාපනේ වෛද්‍ය විද්‍යාලයේ වැඩට ගියේ බයිසිකල් එකේ. අන්තිමට කොටි ත්‍රස්ථවාදීන් වෙඩි තියලා මැරිලා වැටුනෙත් බයිසිකල් එක උඩමයි. හැබැයි ඒකට ඇන් ඇම් වගේ නායකයෝ ඉන්න ඕන. ලෝකයේ සීනි මිල වැඩි වෙන කොට ඒ ගානට සීනි ගෙනාවේ නෑ. බජට් එකෙන් සීනි වලට වෙන් කරපු ගානට හරි යන්න අඩුවෙන් ගෙනාවා. අපි බැන බැන හරි සීනි අඩුවෙන් පාවිච්චි කරන්න පුරුදු උනා. ඒ වගේ ඉන්ධන මිල ඉහල යන කොට ඉන්ධන ගේන එක සීමා කරා නම් මිනිස්සු බැන බැන හරි කාර් ගෙදර තියලා පයින් හරි බයිසිකල් එකක හරි යයි. පස්සේ ඒකට පුරුදු වෙයි.

මම කොලඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන කාලේ මට වාහනයක් දීලා තිබුනා රියැදුරෙකුත් එක්ක. මම හැමදාම උදේ 7 ඉඳන් හවස 7 වෙන කම් වැඩ කරලා රියැදුරුට වාහනය අරගෙන ගෙදර යන්න කියලා ජොගිං සපත්තු දෙකක් දාගෙන කෝට්ටේ ගෙදරට ගියා පයිං. කිලෝ මීටර් 6ක්. විශ්‍රාම යනකල්ම අවුරුදු 7 ඔය විදියට කලා. මට එහෙම කරන්න පුලුවන් කම ලැබුනේ තරුණ කාලේ ඉඳන්ම කරගෙන ආපු නිසා. ඒ වගේම මගේ ඔෆිස් එක තිබුනේ බිම ඉඳන් හතර වෙනි තට්ටුවේ. අවුරුදු 7 තුල එක දවසක් වත් ලිෆ්ට් එකේ ගිහිල්ලා නැහැ. මේක දැකලා එතන වැඩ කරපු සමහරුත් පුරුදු උනා එහෙම කරන්න.

මම මේවා කියන්නේ කොයි තරම් අලුත් දේ ආවත් අපට හොඳ පුරුදු ඕන නම් එහෙමම තියා ගන්න පුලුවන් බව කියන්නයි. දැන් අද වාහන තියන බොහෝ දෙනා කැමතියි ඔටෝමැටික් ගියර් තියන කාර් වලට. එතකොට ට්‍රැෆික් එකේ සිය පාරක් විතර ගියර් එක මාරු කරන විට ලැබෙන ව්‍යායාමයත් නැතිව යනවා.

අපි ඉස්සර වෛද්‍ය ශිෂ්‍යයෝ හැටියට ඉගෙන ගත්තේ දියවැඩියාව, අධි රුධිර පීඩණය. හෘද රෝග හැදෙන්නේ වයස 50 පැනපු අයට විතරයි කියලා.  ඒත් අද වෙන කොට 25/30 වෙන කොට දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටෙරෝල් සමහරුන්ට 35 වෙන කොට බයි පාස් ඔපරේෂනුත් කරලා. එතකොට මානසික රෝග. ඒ කාලේ මුලු රටටම හිටියේ මානසික රෝග වෛද්‍යවරු 5 දෙනයි. ඒත් අද වැඩියෙන්ම ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක තියෙන්නේ ඒකට. මේ ආර්ථික ක්‍රමය නිසා බොහෝ අය ඉන්නේ මානසික පීඩාවකින්. එදා පරම්පරා තුනක් එක ගෙදර හිටියා. දෙමව්පියන් ඔවුන්ගේ දරුවන් හා මුනුපුරන් මිනිපිරියන්. මැද පරම්පරාව තමන්ගේ රැකියාවට ගියා තම දරුවන් තම දෙමාපියන් ලඟ තියලා. ඒ දරුවන්ට තමන්ගේ දෙමාපියන්ගෙන් ලැබෙනවාට වැඩි ආදරයක් ලැබුනා ආත්තාම්මාගෙන් හා සීයාගෙන්. ආත්තම්මා හා සීයා තමන්ගේ දරුවන්ගේ කුඩා කාලය මුනුපුරන්ලාගෙන් නැවත අත් වින්දා. අර මැද ඉන්න අයත් දරුවන් ගැන කරදරයක් නොවී තමන්ගේ වැඩ වල නිරත උනා. මේ තුන්ගොල්ලාම සතුටින් හිටියා කිසිම මානසික පීඩාවකින් තොරව. මේකට කියන්නේ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි සිස්ටම් කියලා. ඒත් අද. සීයා ආත්තම්මා තනියම ගමේ නැත්නම් ගෙදර දරුවන් මුණුපුරන් එනකම් මග බලා ගෙන ඉන්නවා. දරුවන් ටවුමේ තමන්ගේ දරුවන් වැඩ කාරයින්ට දාලා වැඩට යනවා. ඒ ගිහිල්ලත් දෙතුන් වතාවක් ගෙදරට කතා කරලා විස්තර අහනවා. කුඩා දරුවන් අඬන කොට වැඩ කාරයින් ඔවුන්ට ගහලා බැනලා බය කරලා තමයි නලවන්නේ. මේ තුන් ගොල්ලන්ම ඉන්නේ මානසික පීඩාවෙන්. ඉතින් මානසික ලෙඩ්ඩු වැඩියි. මේ හේතුව නිසා ඉස්සර වගේ නෙවෙයි. අද වෛද්‍ය වරුනුත් වැඩි වැඩියෙන් මානසික වෛද්‍ය විද්‍යාව හදාරනවා. මොකද ආදායම වැඩියි. මම දන්න සමහර මානසික වෛද්‍යවරු ඉන්නවා දවසට ලක්ෂ එක හමාර හොයන. උන්ට ලෙඩ්ඩු වැඩි වෙන කොට උන් ගනං වැඩි කරනවා.

කොහොමද ඔෆිස් වල වැඩ කරන අයට උදේ 7 ඉඳන් 10 අතර කැමති වෙලාවක වැඩට ඇවිත් පැය හය හරි අට හරි වැඩ කරන්න ක්‍රමයක් හදලා කිමී 10 ක් ඇතුලත උදේ 6 ඉඳන් 9 අතරේ පාරවල් වල යන්න පුලුවන් බස් වලටයි බයිසිකල් වලටයි විතරයි කියලා නීතියක් දැම්මොත්. එතකොට ළමයින්ට කිමී 5/6ක් බයිසිකල් වල යන්න පුලුවන්. මහ එවුන්ටත් යන්න පුලුවන්. බැරි එකෙකුට බස් වල යන්න පුලුවන්. එතකොට ඒ පැය ගාන ඇතුලත පාරේත් වාහන වලත් තද බදය අඩු වෙනවා. හවසටත් ඔය වගේ ක්‍රමයක් ඇති කරන්න පුලුවන්. ඒත් ඒ වගේ දෙයක් කරන්න කාටවත් උවමනාවක් නෑ නේ.



මගේ ලඟට එන තරුණ සීමන්ලාට මම වෙනමම වැඩ සටහනක් කරනවා මාසෙකට සැරයක් මේ හොඳ සෞඛ්‍ය පුරුදු ආයිත් ඇති කර ගන්න කියලා. ඒ උනාට ඒකෙන් ඒ තරම්ම වැඩක් වෙන විත්තියක් මට පේන්නේ නැති උනත් මට ඒකට අමුතු වියදමක් නැති නිසාත් මගේ යුතුකම මම කලා කියන සතුට ලබා ගන්නත් මම ඒක දිගටම කරනවා. නමුත් අද තියන මාධ්‍ය වලින් ඇති කරන බල පෑම එක්ක අපිට හැරෙන්න වත් බෑ. හැම දෙයක් ගැනම දෙන්නේ වැරදි උපදෙස්. සමහර උපදෙස් ඇතුලේ තියන මනස වෙනස් කිරීම හරිම අනතුරු දායකයි. එක චීස් ජාතියක් මාකට් කරනවා පොඩි එකෙක් දාලා. ඌ කියනවා " අපේ අම්මා මොකද මට මේ චීස්ම දෙන්නේ. අම්මා මට ආදරේ හිංදා" කියලා. ඕක බලපු අනිත් අම්මලාත් ඒ චීස් ජාතියම ලමයින්ට ගෙනත් දීලා උන් අවුරුදු 20/25 වෙන කොට නහුතෙට කොලෙස්ටෙරොල්. සාමාන්‍යයෙන් ඒ වයසේ එවුන්ගේ ඒවා ටෙස්ට් නොකරන නිසා අහු වෙන්නේ නෑ. ඒ උනත් මට ඒවා අහු වෙනවා අවුරුදු 18 ඉඳන් 65 විතර අයගේ ටෙස්ට් කරන නිසා. මට තියන ඒ චාන්ස් එක සාමාන්‍ය වෛද්‍ය වරුන්ට ලැබෙන්නේ නෑ. මාධ්‍ය වලින් අපේ සමාජයට කරන හානිය ගැන මම පස්සේ විස්තරයක් දාන්නම්.
අපි යුග දෙකකට අයිති අය නිසා මේවා පේනවා. මේ සේරම 1978 න් පස්සේ ආපු අපට නොගැලපෙන විවෘත ආර්ථික ක්‍රමය නිසා අපට ලැබුනු දේවල්. ඒ නිසා ඇන් ඇම් ලාගේ, ඩඩ්ලි සේනානායකලාගේ වටිනාකම මට එදාටත් වඩා අද තේරෙනවා.
මීට එහා ලිවුවොත් මගේ යාලුවෝ මට දොස් කියනවා දේශපාලන පොස්ට් දානවා කියලා. ඒත් ඉපදෙන්නත් ඉස්සෙල්ලා ඉඳන් මැරිලා වලට දාන කම් අපි හැමෝටම මේ පවතින දේශපාලන ක්‍රමය බලපානවා. මේක හරියට අසූචි වලක් වගේ. අපි ටික දෙනෙක් ඒකට වැටිලා ඉන්නවා. වැඩි පිරිසක් ඒකේම ඉපදිලා ඒකම හොඳයි කිය කියා ඉන්නවා. උන්ට මේ තරම් දෙයක් තවත් නෑ. ඒ නිසා මේකෙන් ගැලවෙන්න කිසිම උවමනාවකුත් නෑ. ඉතිං අපි ටික දෙනා මැරිලා ගියාට පස්සේ ...................අනේ මංදා.

අපි යුග දෙකකට අයිති අය නිසා මේවා පේනවා. මේ සේරම 1978 න් පස්සේ ආපු අපට නොගැලපෙන විවෘත ආර්ථික ක්‍රමය නිසා අපට ලැබුනු දේවල්. ඒ නිසා එදාට වඩා ඇන් ඇම් ලාගේඩඩ්ලි සේනානායකලාගේ වටිනාකම මට පේන්නේ අද.

මීට එහා ලිවුවොත් මගේ යාලුවෝ මට දොස් කියනවා දේශපාලන පොස්ට් දානවා කියලා. ඒත් ඉපදෙන්නත් ඉස්සෙල්ලා ඉඳන් මැරිලා වලට දාන කම් අපි හැමෝටම මේ පවතින දේශපාලන ක්‍රමය බලපානවා. මේක හරියට අසූචි වලක් වගේ. අපි ටික දෙනෙක් ඒකට වැටිලා ඉන්නවා. වැඩි පිරිසක් ඒකේම ඉපදිලා ඒකම හොඳයි කිය කියා ඉන්නවා. උන්ට මේ තරම් දෙයක් තවත් නෑ. ඒ නිසා මේකෙන් ගැලවෙන්න කිසිම උවමනාවකුත් නෑ. ඉතිං අපි ටික දෙනා මැරිලා ගියාට පස්සේ ...................අනේ මංදා.

මම ඊයේ දාපු පොස්ට් එක වැඩි දෙනෙකුට අල්ලලා ගිහිං නැති බව පෙනුනා. ඕක තමයි බං දුක. මම අර සීමන්ලට කරන දේශන වලිනුත් වැඩක් නැති බව පෙනෙද්දිත් මම ඒවා දිගටම කරනවා එකෙක් හරි හැදෙයිද කියලා හිතා ගෙන. මොකද යහපත් ජීවන පුරුදු නිසා මම මේ දක්වා අත්විඳින නිරෝගී ජීවිතයක් අනිත් අයටත් ලැබේවා කියලා හිතා ගෙන. මට ජීවිතයේ මුල් දශක දෙක හමාරක කාලේ තිබුනු සාමාන්‍ය ජීවන ක්‍රමය මගින්ම ඒක ලැබුනා. ඊට පස්සේ රටේ ටික ටික අසාමාන්‍ය බවට හැරුණු ජීවන රටාව තුලත් අවුරුදු පහක් විතර ඉඳලා ඒකේ තියන වැරදි තේරුණාට පස්සේ පහුගිය දශක තුන හමාරේදීම අර මුලින් පුරුදු ක්‍රමයටම ඉන්නවා. හැබැයි සමහර ඒවා තියනවා මට පාලනය කරන්න බැරි. විෂ දාපු ආහාර, එලවලු වගේ දේවල් ගන්න වෙනවා. කොල ජාති ගෙදර වගා කලත් සමහරක් ගන්න වෙනවා. ෆෝමලින් දාපු මාලු ගන්න වෙනවා. ඉස්සර මාලු, කරවල විකුණන තැන් වල අර ජන බල වලට වගේ රැස් වෙලා හිටපු මැස්සෝ දැන් දකින්න වත් නැත්තේ ෆෝමලින් නිසයි. ඒ උන් අපට වඩා තමන් ගන්න ආහාර ගැන සැලකිලිමත් වෙන නිසා.
ගිය සුමානේ ඔෆිසර් කෙනෙක් ආවා මෙඩිකල් වලට. වයස අවු. 34 යි. පොරගේ ස්ට්‍රෙස් ඊසීජී එක ඇබ්නෝමල් නිසා මම යැවුවා රුවන් ඒකනායක මහත්තයා ලඟට. එයා ඇන්ජියෝග්‍රම් එකක් කරලා බලලා කියලා තිබුනා හාට් එකේ නහර තුන් තැනකින් බ්ලොක් ඒ නිසා බයි පාස් එකක් කරන්න ඕන කියලා. දැන් ඉතින් ඔය ටිකට මිලියනයක් විතර යනවා. මාස ගානක් රස්සාව නෑ. මිලියනය නම් උන්ට ගානක් නෑ මාසෙකට ඊට වඩා ලැබෙන නිසා. ඒ උනත් ඕක බයි පාස් එකෙන් නවතින්නේ නෑනේ. බෙහෙත් බොන්න ඕන දිගටම. සමහර විට තව තැන් වල පොඩි බ්ලොක් තියෙන්න පුලුවන්. පොර මට ඇවිත් කිවුවා දැන තමයි තේරෙන්නේ කියලා. ඒ උනත් ඌත් එක්කම හිටපු උගේ යාලුවන්ට තේරෙන්නේ නෑ. මොකද උන්ට තාම ලෙඩ හරියට මතු වුනේ නෑ නේ. මම උගෙන් ඇහුවාම මීලඟ සීමන්ලාට කරන දේශනයේදී ඌ ගැන කියන්නද මෑන් කිවුවා කමක් නෑ කියලා. බලපල්ලා ලොකු ලෙඩක් හැදුනාම ගෙම්බර් එකත් බැහැලා අසරණ වෙන හැටි.
තව එකෙක් කිවුවා මීට අවුරුද්දකට ඉස්සර කිඩ්නි එකේ ගල් හැදිලා ඔපරේෂන් කරලා අයින් කරාලු මිලියනයක් විතර ගියාලු. බට දාගෙන සති තුනක් හිටියාලු. ඩොක්ටර් කිවුවාලු වතුර ලීටර් 3ක් බොන්න කියලා දවසට. ඒ වගේම වෙන බීම ජාති මොනවත් බොන්න එපා කිවුවලු. පොර කියනවා අපිට දැන්නේ ඕවා තේරෙන්නේ. ඉස්සර මම කෑම කාලා බිවුවෙත් කෝක් ඒත් දැන් නම් කටේ තියන්නේ නෑ කියලා. ඌ කියනවා ඉස්සර වගේ නෙවෙයිලු දැන් උගේ චූත් යන්නේ වතුර වගේලු. ඉස්සර බොර පාටලු. කොහොමද ටීවී එකේ ඊජීබී නැත්තම් කෑම එපා කියන ඇඩ් දැකලා පොරවල් කෙලෝ ගන්න හැටි. මම ඔය විද්යුත් මාධ්‍ය අපේ ජීවිතයට කරන හානිය ගැන පස්සේ ලියනවා.
හුඟාක් අය එනවා ඩ්‍රින්ක් එක ගහලා ලිවර් එකේ එන්සයිම් වැඩි කර ගෙන. ඒවා හුඟාක් වැඩි එවුන්ව නැවු වලට ගන්නේ නෑ. හුඟාක් නැවු ඇතුලේ බොන්න තහනම්. ඒ උනත් අතර මග රටක දවස් දෙක තුනක් නවත්තපු ගමන් බොන එකා දෙනවා හිටු කියලා. ඊ ලඟට ආපහු ගෙදර ආවාම දෙනවා ඇරියස් අල්ලන්නත් එක්කම. උන් හුඟක් දෙනෙකුට මෙහේ ඉන්නවා යාලුවෝ සෙට් එකක් අරූ එනකම් බලා ගෙන බොන්න. ගෙදර අම්මලා, ගෑනු අනේ නැවේදී මූට හරියට කන්නත් නෑ කියලා හදලා දෙන හුඟාක් කෑම අහිත කර කෑම. ඌරු මස් බයිට් එහෙම ගහලා ආයිත් මාස ගානකින් මෙඩිකල් එකට එන්නේ කලින් නැවෙන් බැහැපු එකා නෙවෙයි. අර පාර්ලිමේන්තුවේ ඉන්න ඌරෝ සයිස් එවුන්. ඇත්තටම උන්ට නැවු වල අලුත් එලවලු, පලා වගේ දේවල් ලැබෙන්නේ නෑ. ඉතින් හරි නම් උන් ට කන්න දෙන්න ඕන ඒවා. ඔය සමහර ඔෆිසර්ස්ලා තමන්ගේ වයිෆ් ළමයි එක්ක යනවා නිවාඩු කාලේට නැවේ. ඒක ඔෆිසර්ස්ලාට විතරක් තියන අයිතිවාසි කමක්. සිංහලෙන් කියනවා නම් ප්‍රිවිලෙජ් එකක්. ඉතින් යන්න කලින් එවුනුත් එනවා මෙඩිකල් එකට. එතකොට මම අර ගෑණුන්ට කියනවා හස්බන්ඩාට දෙන්න ඕන කෑම ගෙදර ආවාම. විශේෂයෙන්ම කොලෙස්ටරෝල් ගැනයි ඩ්‍රින්ක්ස් ගැනයි.

එක එක ක්වාටර්ස් වල ඉඳලා කොලඹ අපේ ගෙදරට අපි පදිංචියට ආවේ 1999 දී. මේ අවුරුදු 19 ටම මොනම හේතුවකට වත් ගෙදර මත් වතුර බෝතලයක් ඇරලා නෑ. සමහර පොරවල් වලට කෑමට ආරාධනා කලාම උන් එන්නේ පිටින් දාගෙන. උන් දන්නවා අපේ ගෙදර බඩු නෑ කියලා. මගේ කොල්ලෝ එකෙක් වත් වයින් ටිකක්වත් කටේ තියන්නේ නෑ. ලොකු එකා අවුරුදු පහක් ලන්ඩන් වල ඉඳලා ආවා උගේ මගුල දා අනිත් පොරවල් වයින් වීදුරුව උස්සද්දී ඌ ඉස්සුවේ ස්ප්‍රයිට් වීදුරුවක්.මොකද උන්ගේ හිතේ නෑ බොන ආසාවක්වත්. ඒක දැකලා මගේ හිතට ආවේ ලොකු සතුටක් ඌ ගැන නෙවෙයි මං ගැන. සමහර උන් ඉන්නවා බීම අතෑරපු උන්. හුඟක් උන්ගේ ලිවර් එකට කෙල වෙලා හරි කෙල වෙන්න කිට්ටු වෙලා හරි. සමහරු ඉන්නවා හිතලාම නවත්තපු. ඒත් උන්ගේ යට හිතේ බොන්න ආසාව තියෙනවා. අවස්ථාවක් ලැබුනොත් බොන්න සෙට් වෙන්න හැකියාවක් තියනවා.බොන්න ආසාවක් නැති මගේ කොල්ලා වගේ එවුන් ගේත් බීලා අත ඇරපු එවුන් ගේත් තියන වෙනස ඕකයි. හරියට වේලිච්ච ඉටි රෙද්දයි සාමාන්‍ය රෙද්දයි වගේ. වතුර නැති කොට දෙකම වේලිලා. ඒත් රෙද්දේ තෙත් වීමේ හැකියාව තියන නිසා වැස්සොත් තෙත් වෙනවා. ඉටි රෙද්ද එහෙම තෙත් වෙන්නේ නෑ. ඕකට හැකියාවට බුදු දහමේ කියන්නේ අනුසය අවස්තාව කියලා.


ඕවා කියන්න ගිහිල්ලා බොලා හිතන්න පුලුවන් මම බණ කියනවා කියලා. ඒ නිසා අදට මෙතනින් ඉවරයි.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී