අසාධාරණ ආදායම බෙදී යාම - Social & Economic Injustice

මා විසින් පසුගියදා ඉදිරිපත් කල සටහනින් පෙන්වීමට අවශ්‍ය වූයේ මෙරට වැසියන් අතර ආදායම බෙදී යාමේදී ඇතිවී ඇති ඉතා කණගාටුදායක විෂමතාවයත්, එමෙන්ම වක්‍ර බදු අය කිරීමේදී ඇති සමානතාවයත්ය. මෙහිදී උදාහරණ ලෙස මා ගෙන හැර පෑයේ මා වර්තමානයේ සේවය කරනු ලබන ආයතනයේ පිරිසිදු කිරීමේ කාර්යයන් ඉටු කරණු ලබන අබාන්ස් ආයතනයට අනුබද්ධිතව සේවයේ නියුතුව සිටින එක්තරා කාන්තාවක් හා අප ආයතනයේම ප්‍රධානියාය. මා මුලින් සඳහන් කල අයුරින් ඔහුගේ මාසික වැටුප රු. මිලියනයක් නොව මිලියන එක හමාරක් බව පසුව දැන ගතිමි. ඒ අනුව අර කාන්තාවට මාසිකව අතට ලැබෙන වැටුප වන රු 16000 ත් සමග සසඳා බලන විට එය 95 ගුණයකි.වැටුපට අමතරව ඔහුට නොමිලේ ලැබෙන ප්‍රවාහන පහසුකම්ද සලකා බැලුව විට මෙම අගය 100 ඉක්මවා යයි.නමුත් අනිත් අතින් ගත් කල ඔවුන් යම් වෙලෙඳ සැලකින් සීනි කිලෝවක් මිලදී ගන්නේ නම් දෙදෙනාම ඒ සඳහා ගෙවිය යුතු වන්නේ රජය මගින් අය කරණු ලබන බදු මුදල්ද ඇතුලුව එකම මුදලකි. එක් එක් අයිතමය සඳහා අය කරණු ලබන බදු ප්‍රමාණයන් වෙනස් වන අතර මා අසා ඇති පරිදි අල, ලූණු වැනි ආහාර වර්ග සඳහා ඒවා මෙරටට ගෙන්වන විට ඇති වටිනා කමට වඩා කිහිප ගුණයක් බදු ලෙස අය කරණු ලබයි. එමෙන්ම මේ වන විට නැතිවම බැරි සන්නිවේදන උපකරණයක් වන ජංගම දුරකතනය සඳහා 30 ක් පමණ බදු මුදලක් රජය විසින් අය කරණු ලබයි. මෙසේ කිරීම සාධාරණදැයි මම ඔබෙන් අසා සිටියෙමි. එසේම එය තව දුරටත් පවත්වා ගෙන යාමට ඉඩ තැබීම සාධාරණදැයි මම ඔබෙන් අසමි.
දැනට පවතින ධනවාදී ආර්තික ක්‍රමය වෙනස් කරණු ලැබීමකට මෙරට වැසියන් කැමැත්තක් නොදක්වන තත්වයක් තුල මෙම අසාධාරණ වක්‍ර බදු අයකිරීමෙන් ඉතා දිළිඳු අපගේම සහෝදර ජනතාව බේරා ගත හැක්කේ කෙලෙසින්ද යන්න සිතා බැලීම අප සැමගේ යුතු කමක් ලෙස මා දකිමි. දරිද්‍රතා රේඛාව අනුව සසඳන කල ආසියාවේ අනිකුත් රටවල් අතුරින් අප රටේ එම ප්‍රමාණය 5%ක් වන නමුත් අර මා මුලින් සඳහන් කල කාන්තාව වැන්නවුන් එයට ඇතුලත් වන්නේ නැත.ඔවුන් ඇතුලත් වන්නේ එම රේඛාවට උඩින් සිටින්නන් අතරටය. එනම් ඔබ, මා, අප ආයතනයේ ඉහලම නිලධාරියා, පෝශ්, බෙන්ස්, බී එම් ඩබ්ලිවු වැනි වාහන වලින් යන වුන්, සොරා කෑමෙන් බිලියන පතියන් බවට පත් වී ඇත්තන් සිටින ගොඩටය. එබැවින් දරිද්‍රතා රේඛාව මතම පිහිටා කරණු ලබන විසඳුමක් කිසිසේත්ම සාධාරණ විසඳුමක් නොවන්නේය. දරිද්‍රතා රේඛාවට අමතරව තවත් සලකා බැලිය යුතු දත්ත වන්නේ 19% ක් වූ මන්දපෝෂිත හා මන්දපෝෂණය හා බැඳුනු 15% ක් වූ මිටි බවයි. ඒ අනුව මා විසින් කරණු ලබන යෝජනා කීපයක් මෙහි පහතින් දක්වා සිටිමි.
ඉතා අඩු ආදායම් ලබන්නවුන්ගෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අය කරනු ලබන වක්‍ර බදු නතර කිරිම මගේ ප්‍රධානම යෝජනාවයි. වර්තමාන දේශපාලන සන්ධර්භය තුල මෙය එතරම් අසීරු කරුණක් නොවන්නේමය. විශේෂයෙන්ම ජන දුක හඳුනන, කොත්මලේ ප්‍රදේශයේ කුඹුරේ වැඩකරමින් සිට වක්කඩින් ඇඟපත සෝදා ගෙන රජ කමට පත් වූ දුටුගැමුණු මහ රජු හා සමාන වර්තමාන ගරු අග්‍රාමාත්‍ය හා ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙය වරකා මදුලක සිවිඩ්ඩෙන් කොස් ඇටයක් එලියට ගන්නවාටත් වඩා ලෙහෙසි කාර්යයයකි.මේ සඳහා අවශ්‍ය වන්නේ වුවමනාවත් ඒ සඳහා ඇති අවංක කැප වීමක් පමණි.1977 ට පෙර පැවති සහල් සලාක ක්‍රමය වැන්නක් මේ සඳහා භාවිතා කල හැක. එකල සහල් සලාක ක්‍රමය සියලු රට වැසියන් සඳහා ක්‍රියාත්මක කලේ එවක මෙරට පැවැතියේ සුලු ධනේශ්වර සංවෘත ආර්තික ක්‍රමයක් වූ බැවිනි. එකල වර්තමානයේ මෙන් ධන කුවේරයින් මෙරට නොසිටි අතර දේශපාලකයින්ද අවංක නොකැලැල් චරිත ඇත්තවුන් වූහ. මෙහිදී සියල්ලන් හට ඉතා පහසු මිලකට සතියකට සහල් සේරු දෙකක් දුන් අතර එය ප්‍රමාණවත් නොවන අයෙකු හට දෙතුන් ගුණයක් පමණ මුදලක් ගෙවා විවෘත වෙලෙඳ පොලෙන් ඉතිරිය මිලදී ගත හැකි විය. නමුත් එක අයකුට සහල් සේරු දෙක සතියකට වුවමනාවටත් වඩා ප්‍රමාණවත් වුයේ ඔවුන් කොස් දෙල් වැනිවූ එකල සුලබව පැවැති අනිකුත් ආහාර වලට පුරුදු වි සිටි බැවිණි. පසු කලෙක ලෝක සහල් මිල ඉහල යාම හේතුවෙන් එකල අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක මහතා එක් සේරුවක් නොමිලේ දීමට කටයුතු කලේය.මේ පිලිබඳ දිර්ඝ විස්තරයක් මා මෙයට පෙර කර ඇත්තෙමි. එමෙන්ම ළදරු කිරිපිටි බෙදා දීමේදීද මෙම සලාක පොතම යොදා ගැනිණි. තවද උම්බලකඩ, කරවල වැනි දෑ ද සහන මිලකට සහල් පොත් ක්‍රමය මගින් ජනතාව අතර බෙදා දුනි. කුඩා දරුවකු ලෙස එදා මේවා ගෙන ඒමට මා සමුපකාර කඩයට ගිය අයුරුද, එහි මුදලාලි වූ අන්ද්‍රයස් අප්පුහාමි විසින් පෝලිම් පවතින අවස්ථාවල මාහට ඉක්මනින් ඇවැසි දේ ලබා දීමට අනුගමනය කල ක්‍රම සහ විධිත් මා කලින් සඳහන් කර ඇත. ඒ සුන්දර හා විසිතුරු දෙයින් බැඳුනු අතීතය සිහිපත් කරමින් මා දැනුදු දැඩි වින්දනයක් ලබන්නෙමි.
මේ අනුව නැවතත් ඉතා අඩු ආදායම් ලබන අයට එවැනි සලාක ක්‍රමයක් ආරම්භ කර හඳුනා ගන්නා ලද අත්‍යවශ්‍ය ආහාර ඇතුලු අනෙකුත් ද්‍රව්‍ය සාධාරණ ප්‍රමාණයක් බදු රහිත මිලකට ලබාදිය හැකිය. උදාහරණයක් ලෙස එක් අයකු හට මසකට සිනි කිලෝ දෙකක්, සහල් කිලෝ අටක් වැනි ප්‍රමාණයක්........ඊට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නම් එය විවෘත වෙලෙඳ පොලෙන් පවතින මිලට ලබා ගත හැක.එකල සලාක බඩු ලබාදුන්නේ දිවයින පුරා විසිරී පැවැති සමුපකාර කඩ ජාලයක් මගින් වූවද වර්තමානය වන විට ඉතිරිව ඇත්තේ ඉන් ඉතා සුලු පමාණයක් පමණි. එබැවින් යලි සමුපකාර ක්‍රමයක් ඇති කිරිම හෝ දැනට පවතින සුපර් මාකට් ඒ සඳහා උපයෝගී කර ගත හැක. ඒවායින් බදු රහිත මිලට නිකුත් කරණු ලබන ද්‍රව්‍ය සඳහා ඇවැසි ප්‍රතිපූරණය රජයට කල හැකිය. මෙසේ දිලිඳු ජනතාව සඳහා බදු අය නොකිරීමෙන් රජයට වන පාඩුව පියවා ගන්නා අන්දම හෙට දිනයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මා විසින් කරනු ලැබූ මේ යෝජනාව ඔබලා අතරින් යමෙකුට අවශ්‍ය නම් අගමැති තුමා වෙත ඉදිරිපත් ඉදිරිපත් කල හැක. එය තමාගේ අදහසක් ලෙස ඉදිරිපත් කලද එයට කම් නැත. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ආධාර කරුවන් හට එම පක්ෂය වෙතද අදහසක් ලෙස ඉදිරිපත් කල හැක. එවිට සුදුසු යයි හැඟේ නම් ඔවුන්ගේ රට ගොඩ නැගීමේ සැලැස්මට මෙය ඇතුලත් කල හැකි වේ. එය මෙරට පීඩිත පන්ති ජනතාවගේ ආකර්ශනයට බඳුන් වනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.
අද හිමිදිරියේ මා මෙම පෝස්ටුව ලියමින් සිටින අතරවාරයේ මෙයට ප්‍රස්තූත වූ කාන්තාව මා වෙත පැමිණ පෙර සතියේ ඇය හට මා ලබා දුන් ප්‍රතිකාර වලින් ඇය පූර්ණ සුවය ලැබූ බව පවසා මා අභියස වැඳ වැටීමට සූදානම් වූ විට මා එය වැලැක්වීමට උත්සාහ ගත්තද එය අභිබවා ගොස් ඇය මාගේ පාද නමස්කාර කොට ස්තූති කර පිටව ගියාය. මා ඇයට වඩා වයසින් වසර විස්සක් පමණ වැඩිමහල් බැවින් ඇයගේ එම ක්‍රියාව ඇයට අපහාසයක් නොවනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.
මා විසින් ඉහත කරණු ලැබ ඇති යෝජනා කෙරෙහි ඔබ සැමගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි. ඒවා ධනාත්මක හෝ සෘණාත්මක විය හැක. නමුත් ඒවා ශිෂ්ඨ බසින් යුතුවනු ඇතැයි මා උදක්ම බලාපොරොත්තු වෙමි.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී