කාලෝ ෆොන්සේකා යන නම අපේ රටේ ප්‍රචලිත වුනේ මිත්‍යාවට එරෙහි චරිතයක් විදියටයි. මිත්‍යා විශ්වාස වලට නොබියව විරුද්ධ වූ එතුමා එකල නොයෙක් තර්ජන වලටද මුහුණ පෑවා. විශේෂයෙන්ම එකල කතරගම දේවාලයේ පැවැත්වුනු ගිණිපෑගීම දේවබලයක් නිසා කරන හාස් කමක් බවට වූ විශ්වාසයට කෙලින්ම අභියෝග කොට එහි ගොස් ගිණි පෑගීමට සූදානම් වූ එතුමාට පහර දීමට කපුවන් විසින් කටයුතු කර තිබුණු අයුරු මට මතකයි. එකල මෙරට සිටි හේතුවාදියකු වූ ආචාර්ය ඒබ්‍රහම් ටී කොවූර් මහතා සමග එකතු වී මෙරට හේතුවාදී සංගමයක් පිහිටුවීමටද එතුමා එකල කටයුතු කලා. එමෙන්ම තමා විසින් දෙනු ලබන හඳහන් දහයක් ඇතුරෙන් කීයක් ජීවතුන් අතර සිටින අයගේද යන්න පැවැසුවහොත් රු. ලක්ෂ දහයක් දෙන බවට එකල තැබූ ඔට්ටුව ඊයේ එතුමා මිය යන තුරුම විවෘතව තිබුණි. කිසිවකු හෝ එම අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් නොවුනි.
මෙන්න මේ වගේ කාලේක තමයි 1973 පෙබරවාරි 14 දවසේ මම කොලඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වුනේ. එදා අපි ශාලාවක ඉන්න අතරේ අපට ඉගැන්වීමට නියමිත මහාචාර්ය ආචාර්ය වරුන්ව හැඳින්වීමක් කලා. ඔය අතරේ කාලෝ ෆොන්සේකා කියන නමත් කියවුනාම අපි කවුරුත් බැලුවා එයා කොහේද කියා. එතකොට ශාලාවේ පිටිපස්සේම හිටපු එතුමා නැගිටලා අත වනන කොට මුලු ශාලාවම අත්පුඩි සද්දෙන් ගිගුම් දුන්නා. ඒකාලේ සිංහලෙන් ඒ ලෙවල් කරලා එක පාරටම ඉංග්‍රීසියෙන් උගන්නන කොට අපි වගේ කඩ්ඩ හොර එවුන්ට වෙන අමාරු කම් ගැන හිතලා ඉංග්‍රීසියෙන් කරන දේශන දෙමළ හා සිංහල භාෂා වලිනුත් කෙරුවා. ස්වභාෂා දේශන කියලා හැඳින්වුනු ඒවා පලවෙනි අවුරුද්ද පුරාවටම කෙරුණා. භෞතවේදය නැත්නම් Physiology කියන විෂයය සිංහලෙන් උගන්වන්න ආව කාලෝ ඒක කොයි තරම් සරලව ඉගැන්නුවාද කියනවා නම් ඉස්කෝලෙදි කෙමිස්ට්‍රි රස වැටුනා වගේ මෙහේදි මට භෞතවේදය රස වැටුනා. ඒ කාලේ වෛද්‍ය විද්‍යාලයේ උගන්වපු විෂයයන් දොලහෙන් මම කැමතිම එක වුනේ භෞතවේදයයි. ඊලඟට තුන් වැනි හතරවැනි අවුරුදු වල උගන්වපු අධිකරණ නැත්නම් වෝහාරික වෛද්‍ය විද්‍යාවයි Forensic Medicine ඒකට හේතුව වුනේ ඒක ඉගැන්වූයේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්මයා වීමයි. 1974 දී ආචාර්ය කොවූර් මහත්තයාගේ බිරිඳගේ මලකඳ වෛද්‍ය විද්‍යාලයට භාර දුන්න වෙලාවේ කාලෝ මහත්තයා නිසා කැඩිච්ච ඉංග්‍රීසියෙන් කොවුර් එක්ක කතා කරන්නත් මට අවස්ථාවක් ලැබුනා.
තුන්වැනි අවුරුද්දේ ඉඳන් කාලෝ අපට විෂයයන් උගන්වන්න ආවේ නැතත් ඔහු සමග තිබුණු ඇසුර නැවතුනේ නෑ. හැම වෙසක් කාලේකම සති දෙකක් පුරාවට එක එක තැන් වලට ගිහින් වෙසක් භක්ති ගී ගායනා කරපු හැටි මම ඒ කාලේ කිවුවා. ඒ භක්ති ගීත වලින් 4/5 ක්ම කාලෝ ලියපු ඒවා තමයි ගායනා වුනේ. "සසර කතර පැදැකුණු කොට, වසර දෙදදහසකට එපිට, පවර කුමරු බුදු බව ලැබ, මෙලොව එලි කලෝ" කියන ගීතය ඒ කාලේ නැගලා ගියපු එකක් වගේම මට නම් දැනුත් නැගලා යන එකක්. එතුමාට බුදු දහම ගැන ඉතා පුලුල් දැනුමක් තිබුනා වගේම බුදු දහම අනුවම ජීවත් වුනා.ඒ වගේම බුදු දහමට අදාලව වෙනත් රට වල අය ලියපු කෘථි සිංහලට හරවන එකත් එතුමා කලා. ඒ වගේම ගීත පදමාලා ලිවීම වගේම පසු කාලෙක ඒවාට තාල එක් කිරීමත් එතුමා කලා.
දොස්තරෙක් වුනාට පස්සේ එතුමා සමග පැවති සම්බන්ධය තරමක් දුරස් වුනත් පස්සේ කාලේක විජය කුමාරණතුංග ඇතුලු කණ්ඩායම පිහිටුවපු ශ්‍රී ලංකා මහජන පක්ෂයට එකතු වීම නිසා මට එතුමා නැවතත් ලඟින්ම ඇසුරු කරන්න ලැබුනා. පොල්හේන්ගොඩ ගෙදර තිබුණු විජයගේ පාංශුකූලය දෙන වෙලාවේ පවුලේ අයවලුගෙන් පිට කෙනෙක් හැටියට එතන ඉන්න ඉඩ ලැබුනේ මට විතරයි කාලෝගේ අනුග්‍රහය මත.
මම සෞඛ්‍ය් අමාත්‍යාංශයේ ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හැටියට හිටපු අවුරුදු හතේදී එතුමා මෙහෙයවපු රේඩියෝ වැඩ සටහන් රාශියකට සහභාගී වුනා. ඒ බොහෝ අවස්ථා වලදී මම කරුණු පැහැදිලි කරන කොට සුලු මොහොතකට මගේ කතාව නවත්වලා එතුමා කියනවා "මගේම ගෝලයකු මේ තරම් සරල විදියට කරුණු ඉදිරිපත් කරන එක මට ලොකු ආඩම්බරයක් " කියලා. මම එතකොට මට ඒ හැකියාව ලැබුනේ ඔබතුමා නිසායි කියලා ආයෙත් කතාව කරගෙන යනවා. එක් වරක් එතුමා මා සමග දොරමඩලාව වැඩ සටහනකටත් සහභාගී වුනා. මම ඒක යූ ටියුබ් එකේ දාලා තියනවා.
මගේ සමකාලීනයකු වුනු එෆ් බී එකේ කවුරුත් දන්න මීට අවුරුද්දු දෙකකට විතර කලින් මිය ගිය ආරියසේන යූ ගමගේ වෛද්‍යවරයා අවසාන කාලයේ නෙවිල් ෆර්නැන්ඩු රෝහලේ ඉන්න කාලයේ ඔහු සමග මම ගත කරපු කාලය කතා කරපු දේවල් මම මීට කලින් පෝස්ට් දෙක තුනකින්ම කියලා තියනවා. කාලෝ සහ මම වගේම ආරියසේනත් නැවත ඉපදීමක් ගැන විශ්වාස කලේ නෑ. ඒ නිසාම ඔහු ඉතා නුදුරේ එන මරණයට කිසිදු බියකින් තොරව මුහුණ දුන්නා. එයාගේ මරණින් දවස් කීපයකට පස්සේ මම කාලෝ හම්බ වෙලා කිවුවා සර් ආරිත් නැතිවුනානේ කියලා. එතකොට එතුමා කිවුවා ඔවු මමත් දවස් කීපයක්ම ගියා එයා බලන්න කියලා. මම කිවුවාම මම දිගටම ගියා. ඒ නිසා මැරුණාට පස්සේ මලකඳ බලන්න මාවනැල්ලට නම් ගියේ නෑ කියලා එතුමා කිවුවා ඒක හරි. මොකද එතන ආරි කෙනෙක් නැහැ. හිටපු ආරිව බලන්න නිමල් කීප වතාවක් ගිය නිසා ඒක ප්‍රශ්නයක් නෑ කියලා. එදා එතුමා කිවුවා අපේ මරණයත් එක්ක අපේ සියලු දැණුම් හැකියාවන් නැතිවෙලා යනවා. ඉතිරි වෙන ශරීරයෙන් වැඩක් ගන්න නම් එක්කෝ ඉස්සර වගේ සතුන්ට ආහාර වෙන්න කැලේට ගිහින් දාන්න ඕන එහෙම නැත්නම් ඉගෙන ගන්න ළමයින්ට ප්‍රයෝජනවත් වෙන්න වෛද්‍ය විද්‍යාලයට දෙන්න ඕන. මොකද අපි කවුරුත් ඉගෙන ගත්තේ වෙන කෙනෙක්ගේ සිරුරක් කපලානේ, ඒ නිසා මම නම් දැනටමත් ඒ තීරණය අරගෙනයි තියෙන්නේ කියලා.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්තයා ජීවත් වුනේ මගේ ගෙදර ඉඳලා මීටර් තුන්සීයකටත් අඩු දුරක තිබුණු නිවසේ. මම නොයක් වර එතුමා හම්බ වෙලා තියනවා. මීට සති දෙකකට කලින් එතුමා මුන ගැහෙන්න ගියා අර දංකොටුවේ හොර තෙල් වෙදා කරන අහිංසක මිනිසුන්ව රැවටිල්ල ගැන කියන්න. ඒත් එතුමා නිදාගෙන ඉන්නවා කියපු නිසා මම කරදර නොකර ආවා. ඉතින් ඊයේ උදේ එතුමාගේ වියෝවීම ආරංචි වෙලා වැඩ ඉවර වෙලා හවස පහට විතර යන කොට සේරම වැඩ ඉවර කරලා දේහය රාගමටත් ගෙනිහින්. ගේ අවට මරණයක් වුනු බවට කිසිම සලකුණක් තිබුනේ නෑ.
ඉතින් මට එතුමාට නැවත අප අතරම ඉපදේවා කියලා පතන්න බෑ අපි දෙන්නාම නැවත ඉපදීමක් විශ්වාස නොකරන නිසා. නිවන් සැප ලැබේවා කියලා කියන්නත් බෑ මොකද නිවන හෙවත් සිතේ ඇතිවන අසීමිත සතුට ලබා ගන්න ඕන ජීවත්ව සිටියදී නිසයි. මම දන්න විදියට එතුමා ඒක ලබාගෙනයි තිබුනේ.
ඒ නිසා මම මෙහෙම කියනවා. ශ්‍රේෂ්ඨ මිනිසානෙනි, ආදරණීය ගුරුවරයානනි, කලාකරුවානෙනි, සහෘදයානෙනි ඔබ අපට ලබා දුන් සියල්ලටම ස්තුතියි.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී