බෞද්ධයෙක්ද නැතිනම් බෞද්ධාගමිකයෙක්ද.


මා බෞද්ධයකු වූයේ මා සිංහලයෙක් වූ ආකාරයටමය. මා බුද්ධාගම විෂයයට සම්මාන සාමාර්ථයක් ලබා ගත්තේ සිංහල විෂයයට සම්මාන සාමාර්ථයක් ගත් ආකාරයෙන්මය. වෛද්‍ය විද්‍යලයේදී මෙන්ම රෝහල් තුලදීත් නිරතුරුව සතර පෙර නිමිති වලින් පෙරනිමිති තුනක් දුටිමි.අධිකරණ වෛද්‍ය නිලධාරී වරයෙකු ලෙස මෘත ශරීර 1500 කට අධික ප්‍රමාණයක් කපා පරීක්ෂා කිරීමේදී කිසි විටෙක මා තුල අසුභය නොවැඩුනි.

එහෙත් පසු කාලීනව හොඳින් බුද්ධ ධර්මය අධ්‍යයනය කිරීමට පටන් ගත් විට මා හට නොයෙක් ගැටලු වලට මුහුණ දීමට සිදු වුනි. විශේෂයෙන්ම පටිච්ච සමුප්පාදයේ භව තුනට අයත් වන ලෝක 13න් ලෝක 11 පවතින්නේ කොහිද යන්න තවමත් මා හට ගැටලුවකි. එමෙන්ම නැවත උපදින්නේ මිනිසුන් පමණක් නම් එය පටිච්ච සමුප්පාදයට ගැලපේ.එහෙත් කුහුඹුවන් ගැඩවිලුන් පනුවන් මදුරුවන් ආදී මෙලොව වෙසෙන සිය ගනන් වූ සත්ව විශේෂද නැවත උපදින්නේ නම් ඔවුන් පටිච්ච සමුප්පාදයට ඇතුල් වන්නේ කොතැනින්ද යන්නද ප්‍රශ්ණයකි. ධර්මධර භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුගෙන් අසා සිටියද තවමත් මා හට පිලිතුරක් ලැබුනේ නැත.ඔවුන් පවසා සිටියේ මා තුල මෙම මිත්‍යාදෘෂ්ඨික හැඟීම් ඇත්තේ මා තුල ශ්‍රද්ධාව නොමැති නිසා බවය. එහෙත් මා විශ්වාස කරන ආකාරයට ශ්‍රද්ධාව යනු අන්ධ විශ්වාසය නොව ප්‍රඥ්ඥාව සමග සමව ඇති විය යුක්තකි.බුදුන් වහන්සේ පවා දේශනා කොට ඇත්තේ ධර්මය යමෙකු පැවසූ පමණින් විශ්වාස නොකොට එය විභජනය කොට විමසා බලා ප්‍රශ්න කොට තමාගේ ජීවිතය තුලින් තේරුම් ගන්න ලෙසය.

කෙසේ වූවද ධර්මය අප ජීවිතයට ගලපා ගැනීම තුලින් ඉතා යහපත් ජීවිතයක් ගත කල හැක. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග අට දියුණු කර ගැනීම, පංච සීලය ආරක්ෂා කිරීම, මෛත්‍රිය වැඩීම වැනි දේ තුලින් සිදු වන්නේ තමාට මෙන්ම සෙසු අයටද යහපතකි.එවැනි අකුසලයෙන් තොර යහපත් ජීවිතයක් ගත කරන අයෙකුට නැවත උත්පත්තියක් තිබුනද නොතිබුනද එය ගැටලුවක් නොවේ. වෛද්‍ය ආරියසේන ගමගේ මහතා මෙන් නොව මා නම් නැවත ඉපදීමට කොහෙත්ම කැමැත්තක් නොමැත.නැවත ජීවිතය මුල සිට පටන් ගැනීමට සිතීම පවා බිය උපදවන හෙයිනි.

එබැවින් මා විශ්වාස කරන්නේ අප තුලට පුනරුත්පත්ති සංකල්පය ඇතුල් කොට අපාය පිලිබඳව බිය ඇති කොට දිව්‍ය ලෝක සම්පත් කෙරෙහි ආශාව ඇති කරවා එමගින් මිනිසුන් පවින් ඈත් කොට සුචරිතයේ පිහිටුවා මේ ලෝකය යහපත් එකක් කිරීම බුදුන් වහන්සේගේ අභිලාශය වූ බවයි. මෙසේ විසීමෙන් සිතට ලැබෙන අති මහත් වූ සුවය නිවන ලෙස හැඳින්වෙන බවයි. නිවන යනු අප සිත් තුල යම් මොහොතක ඇති වන එක්තරා සිද්ධියකි. නිවන් දැකීම සිදු වන්නේ ජීවත් වන අතරතුරදීමය. එය මරණින් පසු ඇති වන්නක් නොවේ.එබැවින් අප විසින් යමෙකුට නිවන් ප්‍රාර්ථනා කල යුත්තේ ඔහු ජීවත්ව සිටියදීය. දරුවකු උපන් මොහොතේම ඔබ ඉතා ඉක්මනින් නිවන් දකිත්වා යැයි ප්‍රාර්ථනා කිරීමද ඉන් පසු උදා වන සෑම උපන් දිනයකදීම එසේ කිරීම වටී.

උපතේදී බෞද්ධයකු වූ ආකාරයට නොව දැන් මා පැවැත්මෙන් බෞද්ධයෙකි. එහෙත් බොහෝ අය පවසන ආකාරයට බෞද්ධයකු වීමට පුනරුත්පත්තිය විශ්වාස කල යුතු වන්නේ නම් ඒ අර්ථයෙන් ගත් කල මා බෞද්ධයකු නොවේ.

Comments

Popular posts from this blog

පිරජාතන්තර වාදය

දුක් ගන්නාරාල වූ ලොකු අයියන්ඩී